එජාපය අවුල් කරන තුන්වන බලවේගයක්‌..!

ඉකුත් සතිය

එක්‌සත් ජාතික පක්‍ෂයට නායකත්ව මණ්‌ඩලයක්‌ පත්කර ගැනීම සඳහා වූ මෙහෙයුමේ අවසාන කොටස පසුගිය දින හත අට තුළ ක්‍රියාත්මක වූයේ මුළු රටේම අවධානය එක්‌සත් ජාතික පක්‍ෂය කෙරෙහි යොමුවන අයුරින් යෑයි කීවාට වරදක්‌ නැත.

එක්‌සත් ජාතික පක්‍ෂය නායකත්වය හා නායකත්වයට අදාළ බලතල සංශෝධනය කරන්නට ප්‍රතිසංස්‌කරණ වැඩපිළිවෙළක්‌ ආරම්භ කළේ අද ඊයේ නම් නොවේ. දිගින් දිගටම පක්‍ෂයේ අභ්‍යන්තර අවුල් වියවුල් මැද ක්‍රියාත්මක වෙමින් පැමිණි ඒ වැඩපිළිවෙළ නිසි මගකට යොමුවන ලකුණු පහළ වූයේ එක්‌සත් ජාතික පක්‍ෂයට හිතවත් සංඝයා වහන්සේලා පිරිසක්‌ මැදිහත්ව පක්‍ෂයට ලබාදෙන ලද 8 වැදෑරුම් වැඩපිළිවෙළ මත සිට නායකයෝ තුන්දෙනෙක්‌ සාකච්ඡා කරන්නට ගත්තාට පසුවය.

ඒ අනුව රනිල් - කරු - සජිත් යන නායකයන් තුන්දෙනා ඉදිරිපත් වී සාකච්ඡා කරමින් නායකයා මෙතෙක්‌ කල් භූක්‌ති විඳිමින් සිටි බලතල නායකත්ව මණ්‌ඩලයකට පවරා තුන්දෙනාගෙන්ම නායකත්ව මණ්‌ඩලයට සාමාජිකයන් පත්කරන විසඳුමකට පැමිණියහ. එහි අවසන් සාකච්ඡාව පසුගිය 04 වැනිදාට පෙර දිනක කිරීමටත් එම සාකච්ඡාවේදී මතුවන යෝජනා 04 වැනිදා රැස්‌වන කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාකච්ඡාවට ඉදිරිපත් කර එය සම්මත කරගෙන නායකත්ව මණ්‌ඩලය පත්කර ගැනීමටත් සියල්ල තීන්දු තීරණ ගෙන අවසන් කර තිබිණි.

ඒ අනුව පසුගිය සිකුරාදා හවස කරු - සජිත් - රනිල් අවසන්a සාකච්ඡාව කරනු ලැබුවේ කොළඹ ජාවත්ත විපක්‍ෂ නායක කාර්යාලයේදීය. එයට කරු ජයසූරිය කල් වේලා ඇතිවම පැමිණ සිටි නිසා මුලින් රනිල් හා කරු අතර අදහස්‌ හුවමාරුවක්‌ විය. සජිත් පැමිණියේ ඒ සාකච්ඡාව අතරමැද තිබියදීය. ඉන්පසුව තුන්කොන් සාකච්ඡාව ඇරඹිණි.

"ජාතික භික්‍ෂු පෙරමුණ මැදිහත්වෙලා පක්‍ෂයට ලබාදීපු යෝජනා තුන මුල්කරගෙන අපි අවසන් තීන්දු තීරණවලට එළඹෙමු..." සජිත් කීවේය.

"අපි මුල ඉඳලම කටයුතු කළේ එක්‌සත් භික්‍ෂු පෙරමුණේ ඔක්‌තෝබර් 31 වැනිදා දීපු අට වැදෑරුම් යෝජනා මුල්කරගෙනයි. ඒ ප්‍රඥප්තියෙන් පිට ගිහින් අපිට වැඩ කරන්න විදියක්‌ නැහැ" රනිල් කීවේය.

අපි මේ යෝජනා ටික 04 වැනිදා කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට දානවා. එහිදී ඔයාට ප්‍රශ්නයක්‌ තියෙනවා නම් කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී කතා කරන්න.

රනිල් එම සාකච්ඡාව අවසන් කළේ එබඳු කේවල් කිරීමේ අවස්‌ථාවක්‌ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය තුළ සජිත්ට ඉතිරි කර තබමිණි.

ඉන්පසුව ඉරිදා උදේ එක්‌සත් භික්‍ෂු සංවිධානයේ සභාපති ගිරාඹේ ආනන්ද හිමියන් ඇතුළු සංඝයාවහන්සේලා පිරිසක්‌ කුරුණෑගලදී සජිත් හා කරු හමුවූහ. මේ දෙදෙනා සමඟ සාකච්ඡාවට එක්‌සත් භික්‍ෂු පෙරමුණ තෙවදෑරුම් වැඩපිළිවෙළක්‌ ද යෝජනා කර තිබිණි.

අපි පක්‍ෂය සමඟ අට වැදෑරුම් යෝජනා සහිත ප්‍රඥප්තියක්‌ මුල්කරගෙන සාකච්ඡා කළා. දැන් එම අට වැදෑරුම් යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ විදියටයි මේ තුන් වැදෑරුම් පියවරවල් යෝජනා කරන්නේ. ඔබතුමාලා නායකත්වය සමඟ සාකච්ඡා කරන විට මේ පියවර තුන මත වැඩ කරන්න වගබලාගන්න. ස්‌වාමීන් වහන්සේලා යෝජනා කළහ. ඒ අනුව එම යෝජනා තුන වූයේ

1.පක්‍ෂ නායක යන තනතුර වෙනුවට නායකත්ව මණ්‌ඩලය යන නම ආදේශ කිරීම.

2 කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ මූලාසනය නායකත්ව මණ්‌ඩලයේ සභාපතිවරයා විසින් දැරීම.

3. නායකත්ව මණ්‌ඩලයේ සංයුතිය සර්ව සාධාරණ වීම. එනම් කරු ජයසූරියට සාමාජිකයන් දෙදෙනකුත් සජිත් ප්‍රේමදාසට සාමාජිකයන් දෙදෙනකුත් රනිල් වික්‍රමසිංහට තිදෙනකුත් නායකත්ව මණ්‌ඩලයට සාමාජිකයන් පත්කිරීමට හැකියාව ලැබීම.

මේ යෝජනා පියවරවල් 3 ක්‌ හැටියට ඉදිරිපත් කරන ලද යෝජනාවලියට සජිත් හා කරු එකඟ වූහ. දෙදෙනා ඒ සඳහා අත්සන් ද තබා පසුවදා එම යෝජනා මත පිහිටා කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ සාකච්ඡාව අරඹන්නට කතිකා කරගෙන විසිර ගියහ. අශෝක අබේසිංහගේ නිවසේ පැවැති කුරුණෑගල සාකච්ඡාව නිමවූයේ ඔය ආකාරයටය.

ඒ සඳහා ජනාධිපතිවරයා අනුරාධපුරය බලා පිටත්ව ගියේ පසුගිය 03 වැනි ඉරිදා හවසය. පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවට පෙර අටමස්‌ථානය වැඳපුදාගෙන සිරිමා බෝ සමිඳු ආශිර්වාදය ලබාගන්නට ජනපතිට අවශ්‍ය විය. හවස 4.00 ට පමණ හෙලිකොප්ටරයකින් ජනාධිපතිවරයා අනුරාධපුරයෙන් ගොඩබසින විට ඔහු පිළිගන්නට මහ ඇමැති එස්‌. එම්. රංජිත්, එස්‌. එම්. චන්ද්‍රසේන, සේමසිංහත්, ඩබ්ලිව්. බී. ඒකනායක ඇමැතිවරයාත් පැමිණ සිටියහ. ජනාධිපති කෙලින්ම ගියේ ජනාධිපති මන්දිරයටය. මැති ඇමැතිවරු ද ජනාධිපතිවරයා සමඟ මන්දිරයට පැමිණියහ.

රාත්‍රි ආහාරය තමන් සමඟ ගන්නට ද ඇමැතිවරුන්ට ආරාධනා කළේය. ඊට පෙර ජනාධිපතිවරයා ඔවුන් සමඟ අනුරාධපුර ප්‍රදේශයේ වගතුග කතා කරමින් සිටියේය.

මෙහෙට තවම හරියට වහින්න පටන්ගත්තේ නැහැ. ජනාධිපතිතුමා ඒක නිසා මහ කන්නයේ වී වගා කරන එක ගැන අපේ මිනිස්‌සුන්ට ලොකු ප්‍රශ්නයක්‌ තියෙනවා. ඇමැතිවරු කීහ.

වටේටම වහිනවා. මෙහේට විතරයි වැස්‌ස නැහැ කියන්නේ. කෝකටත් මම හෙට ජයසිරිමහ බෝධියෙ උඩමළුවට ගියාම ඒ ගැන ප්‍රාර්ථනාවක්‌ කරල බාරයක්‌ වෙන්නම්. බය වෙන්න එපා. වහීවි. ජනාධිපතිවරයා කීවේය.

ඒ අතර රාත්‍රි ආහාරය ද පිළියල වී තිබුණෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමැතිවරු ආහාර ගන්නට වාඩි වූහ.

හෙට උදේ 6.00 වන විට මම උඩමළුවේ ඉන්න ඕන. ඔයාලා එතනට එන්න නැත්නම් මාත් එක්‌ක යන්න මෙතනට එන්න කියා ජනාධිපතිවරයා විවේක ගන්නට ගියේ නොයෙකුත් වැඩ රාජකාරි නිසා දවසම එක දිගට වෙහෙසව සිටි නිසාය.

පසුවදා උදෙන්ම අටමස්‌ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියෝ හමු වූ ජනාධිපතිතුමා උඩමළුව සිරිමා බෝ සමිඳු වැඳපුදා ගත්තේය. ඉන් පසුව රුවන්මැලි මහා සෑය ද වැඳගත් ජනාධිපතිවරයා උදේ තේ බොන්නට පැමිණියේ මිරිසවැටිය පන්සලටය.

"මම ඉතින් හාමුදුරුවනේ පන්සල්වලින් හොඳට කාපු බීපු කෙනෙක්‌" කියමින් ජනාධිපතිවරයා පන්සලෙන් තේ කෝප්පයක්‌ බීවේය.

මේ අතර ආගම ධර්මයට අද සමාජයේ තරුණ පරපුරේ ඇති ආගන්තුකභාවය පෙන්වමින් හාමුදුරුවෝ ජනාධිපතිවරයාට අපූරු කතාවක්‌ කීවේය.

මේ ඊයේ පෙරේදා මේ පන්සලට මාව හමුවෙන්න තරුණයෙක්‌ ආවා. බෞද්ධ පවුලක හොඳට ඉගෙන ගත්ත යහපත් දරුවෙක්‌. නමුත් ආගම ධර්මය ගැන අවබෝධය හරි අඩුවෙන් තමයි ලැබිල තියෙන්නේ. ඒ දරුවා යන්න ලෑස්‌තිවෙලා සමුඅරගෙන ගියේ ටටා බායි සාදු අන්කල්... මම ආපහු එන්නම් කියලයි.

ජනාධිපතිවරයා ඒ කතාව අහලා කොක්‌හඬලා හිනාවෙන්නට පටන් ගත්තේය. මටත් ඔය වගේ කතා නම් මතක්‌ වෙනවා හාමුදුරුවනේ. ඉන්න වෙලා නෑ. කොළඹ වැඩ වගයක්‌ තියෙනවා කියමින් ජනාධිපතිවරයා ආපසු පැමිණියේය.

සජිත් අස්‌වෙයි

හවස එජාප නායක රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාකච්ඡාවට අසුන් ගත්තේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් හඬ මධ්‍යයේය. තිනියාවල පාලිත හිමියන්, බෝපිටියේ ධම්මිස්‌සර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් කියන්නට පැමිණ සිටියහ.

කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාකච්ඡාවේ සාම්ප්‍රදායික කටයුතුවලින් පසු නායක රනිල් මේ රැස්‌වීමේ අරමුණු පිළිබඳ සවිස්‌තර පැහැදිලි කිරීමක්‌ ද කළේය. දැන් තමන් අරඹන්නට යන්නේ එක්‌සත් භික්‍ෂු පෙරමුණ විසින් පක්‍ෂයට ඉදිරිපත් කළ අට වැදෑරුම් වැඩපිළිවෙළ යටතේ ඇති ඉදිරි යෝජනා ක්‍රියාත්මක කිරීමට බව රනිල් පෙන්වා දුන්නේය.

එහෙමනම් අපි එක්‌සත් භික්‍ෂු පෙරමුණ ලබා දීපු යෝජනා තුන ක්‍රියාත්මක කරමින් වැඩපිළිවෙළ පටන් ගනිමු.

රනිල් සජිත්ගේ ප්‍රකාශය ගණන් ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු කෘත්‍යාධිකාරී මණ්‌ඩලයෙන් තමන් වෙත පවරා තිබෙන බලතල 19 නායකත්ව මණ්‌ඩලයට පවරන ආකාරය විස්‌තර කළේය. නායකත්ව මණ්‌ඩලයේ සභාපති නායකයාය. සභාපතිගේ නමට කරුගේ නම යෝජනා කළේය. එක්‌සත් භික්‍ෂු පෙරමුණේ යෝජනාවට අනුව කරු, සජිත් හා රවී කරුණානායක නායකත්ව මණ්‌ඩලයට නම් කෙරිණි. ඊට අමතරව නායකත්ව මණ්‌ඩලයට නිල බලයෙන් පක්‍ෂයේ තනතුරු 3 ක්‌ දරන තිදෙනකු පත්කෙරිණි.

සභාපති, මහ ලේකම් හා සන්නිවේදන ප්‍රධානී යන තනතුරු වෙනුවෙන් කබීර් හෂීම්, තිස්‌ස අත්තනායක හා මංගල සමරවීර පත්කෙරිණි. ඊට අමතරව කෘත්‍යාධිකාරී මණ්‌ඩලය අනුමැතිය අනුව පත්කිරීමට තලතා අතුකෝරල, රුවන් විඡේවර්ධන හා ලක්‍ෂ්මන් කිරිඇල්ල යන නම් තුන ද යෝජනා විය.

මේ නම් සියල්ල යෝජනා කරන්නටත් ප්‍රථම සජිත් ප්‍රේමදාස සිය නම ඉල්ලා අස්‌කරගන්නට පියවර ගෙන තිබිණි. පෙරදා කුරුණෑගලදී මහා සංඝරත්නය හා එකඟ වූ යෝජනා මෙහිදී සැලකිල්ලට නොගන්නේ නම් තමන් ඉල්ලා අස්‌වන බව ඔහු කියා තිබිණි.

එහෙත් රනිල්, කරු හෝ සෙසු ප්‍රධාන පෙළේ නායකයෝ ඒ ගැන කිසිදු තැකීමක්‌ කළේ නැත. එහෙත් බදුල්ලේ හරීන් ප්‍රනාන්දු ලොකු කතාවක්‌ කරමින් සජිත්ට ආයාචනාවක්‌ කළේය.

පසුගිය දවස්‌වල සමහර අය අපේ දුරකථන අංක පත්තරේ දාල ජනතාවට අවස්‌ථාවක්‌ දීල තියෙනවා අපිට කතා කරන්න. හුඟක්‌ අය අපට කතා කළා. කතා කළේ 10 ක්‌ නම් 7 දෙනෙක්‌ම නායකතුමාට බැන්නා. තුන්දෙනෙක්‌ විතර සජිත්ට බැන්නා. හැබැයි කරු ජයසූරිය මහතාට කවුරුවත් බැන්නේ නැහැ.

මමත් මේ එතුමට සුදු හුණු ගාන්න යනවා නොවෙයි. එතුමා පක්‍ෂයට හොඳ ආදර්ශයක්‌ දීල තියෙනවා. එතුමා අපේ නායකතුමාට අභියෝග කරලා තුන්වතාවක්‌ම කැත විදිහට පරාජය වුණා. හැබැයි පරාජය වෙලා නායකතුමාට බැන බැන ගියේ නැහැ. පුංචි ඔµsස්‌ එකක්‌ තමන්ගේ වියදමින් ඇරල ප්‍රෙස්‌ කම්පරස්‌ තිය තිය රජය විවේචනය කළා මිස පක්‍ෂය විවේචනය කළේ නැහැ. ඒක හොඳ ආදර්ශයක්‌.

මම සජිත්ට කියන්නේ මේ විදියට අපිව පාවල දීල අයින් වෙන්න එපා. එන්න මේ වැඩපිළිවෙළට එකතුවෙලා බලන්න. නායකතුමා නිවැරැදි කරගන්න බලමු.

අපේ නායකතුමත් දක්‍ෂයෙක්‌. සජිත් මහත්මයත් දක්‍ෂයෙක්‌. වැඩේ වෙලා තියෙන්නේ මේ දෙන්නගේ දක්‍ෂකම එකට එකතු කරල එක සටනකට අරන් ඉදිරියට යන්න බැරි එකයි. ඒ දෙන්නගේම ජවය අරගෙන හැමෝම එක්‌ක ඉදිරියට යන්න පුළුවන් කෙනා තමයි කරු. ඒක නිසා මේ වුණු දේ හොඳයි. සජිත් එන්න අපිත් එක්‌ක මේ ගමන ගිහින් බලමු. නායකතුමා මොනව කරයිද බලමු. මේ කියපු විදියට එතුමා බලතල ඔක්‌කොම නායකත්වයට දුන්නේ නැත්නම් එදාට අපි ඔක්‌කොම එකතුවෙලා ඔබ සමඟ එන්නම්. එතකන් මේ ගමන යමු.

මංගල සමරවීර මෙහිදී කතා කරමින් තමන්ටද කියන්නට ඇති කරුණක්‌ ගැන කීවේය. ඔහු කතා කළේ එක්‌සත් ජාතික පක්‍ෂය තුළ ඔහුට විරුද්ධව යටිපෙළේ ඇවිලෙන ගින්න ගැන මතක්‌ කරමිනි.

"සමහරු මටත් චෝදනා කරනවා. මම බාගෙට යූ.ඇන්.පී. කියලත් සමහරු කියනවා. මම බාගෙට යූ.එන්.පී. නෙවෙයි. කරන වැඩේ සම්පූර්ණයෙන්ම කරට අරගෙන කරන මිනිහෙක්‌. මගේ ළඟ බාගෙට වැඩ නැහැ. මම ඉන්න තැන එතැනට අවංකව වැඩ කරන කෙනෙක්‌."

රංජිත් මද්දුම බණ්‌ඩාර ද පෙර පැවැති සටන්කාමිත්වයෙන් තොර කතාවක්‌ කළේය. ඔහු කීවේ සජිත්ගේ යෝජනා තුන සලකා බැලුවේ නම් වඩාත් හොඳයි කියා මිස විරෝධාකල්පයක්‌ නොවේ.

එක්‌සත් ජාතික පක්‍ෂයේ හුඟදෙනෙක්‌ කතා කළත් ඒ අය මේ වැඩපිළිවෙළ විවේචනය කළේ නැත. සජිත්ට මේ වැඩපිළිවෙළට දැන් එකතුවෙන්න කියා ආරාධනා කිරීමෙන් පමණක්‌ ඔවුහු සෑහීමකට පත්වූහ.

ඒ අයුරින් එදා රාත්‍රියේ කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාකච්ඡාව ඉවර වන විට රාත්‍රි 8.30 ද පසු වී තිබිණි. රනිල් අවසානයේ පුවත්පත් සාකච්ඡාවක්‌ ද කළේය. එහෙත් ජනමාධ්‍ය හුඟකට මාතෘකාව වී තිබුණේ සජිත් නායකත්ව මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌වීම ගැනය. සමහර මන්ත්‍රීවරු කරු සටන පාවා දී ඇතැයි එළිපිටම චෝදනා කරන්නට ද වූහ.

ජනාධිපතිවරයා 05 වැනිදා මුලින්ම ගියේ ගුවන් මගින් ගාල්ලටය. ඔහු ගිය ගුවන් යානයේ ලලිත් වීරතුංග, ගාමිණී සෙනරත්, සජින් වාස්‌ ගුණවර්ධන, ඩලස්‌ අලහප්පෙරුම, නිර්මල කොතලාවල ආදී නිලධාරීහු හා මැති ඇමැතිවරු සිටියහ. එතනින් පසු ජනාධිපතිවරයා කෙළින්ම ගියේ පින්නදුව පිවිසුම් මාර්ගයටය. දකුණු පළාතේ සියලුම මන්ත්‍රීවරු හා මැති ඇමැතිවරු ජනාධිපතිවරයා සමඟ අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස නිරීක්‍ෂණ චාරිකාවට එක්‌වන්නට සූදානමින් පැමිණ සිටියහ.

හරි... අපි ඔක්‌කොම කාර්වල නෙමෙයි බස්‌ එකක යමු කතා කර කර... ජනාධිපතිවරයා යෝජනා කළේය.

ඒ අනුව ජනාධිපති ප්‍රමුඛ සියලුම මැති ඇමැතිවරු ගාල්ලේ සිට මාතරට යන අධිවේගී මාර්ගයට පිවිසියේ බස්‌ රථයක නැගිලාය.

පින්නදූවේ මිනිස්‌සු විශාල ප්‍රමාණයක්‌ වටවී ජනාධිපතිවරයා පිළිගන්නට බලා සිටියහ. ඔවුන් සමඟ කතා කිරීමෙන් අනතුරුව යළි බසයට පිවිසි ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස එතැන් සිට යළි වැලිගම පිවිසුම් මාර්ගය පිහිටි කොක්‌මාදුවට පැමිණියේය.

කොක්‌මාදුවේ තේ පැන් සංග්‍රහයක්‌ නිර්මල කොතලාවල සූදානම් කර තිබිණි. එතැනින් තේ බිව් ජනාධිපතිවරයා ඩලස්‌ ඇතුළු මාතර මැති ඇමැතිවරු සමඟ මාතර දෙසට හැරුණහ. සෙසු පිරිස යළි බසයෙන් ගාල්ල බලා ආහ.

අධිවේගයෙන් මාතර ගිය ජනාධිපතිවරයා කෙළින්ම ගියේ ඉසදීන් නගරයේ තිබූ එච්. ජී. සිරිසේන මහතාගේ නිවසටය. අකුරැස්‌ස ආසනයේ සංවිධායකව සිටි සිරිසේන මහතා ජනාධිපතිවරයාගේ පැරණි කුළුපග මිතුරකු විය.

මතකද මම ඒ කාලේ ඡේ. වී. පී. කලබලවලින් බේරෙන්නත් ටික කලක්‌ මෙහෙ ඇවිත් හිටපු හැටි ජනාධිපතිවරයා මතක්‌ කළේය.

ඔව් මොකද නැත්තේ. ඒ කාලේ මේ නාමල් පුතාලා ජනෙල් කම්බි දිගේ උඩට නගින පුංචි දරුවෝ... සිරිසේන මහතා දෑසේ කඳුළු පුරෝගෙන අතීතය මතක්‌ කරමින් කීවේය.

ඒ ගෙදරින් තේ කෝප්පයක්‌ බිව් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊළඟට අපරැක්‌ක ප්‍රදේශයේ විශේෂ ස්‌ථානයක්‌ බලා පිටත්ව ගියහ. එය මනරම් පරිසර වටපිටාවක පිහිටා තිබූ නිස්‌කලංක අසපුවකි. කිරිබත්ගොඩ Æණානන්ද හිමියන් විසින් පවත්වාගෙන ගිය එම අසපුවේ ස්‌වාමීන්වහන්සේලා 300 ක්‌ නමක්‌ ජනාධිපතිවරයා වෙනුවෙන් සෙත් පිරිත් කියන්නට ද සූදානමින් සිටියහ.

ජනාධිපතිවරයා ඒ සියල්ලටම සහභාගි වී උඩ අපරැක්‌කේ සේපාලිකාරාමයට ද ගොඩ වී එහි ස්‌වාමීන්වහන්සේලා මුණගැසී කතාබහ කිරීමෙන් අනතුරුව තංගල්ල බලා පිටත්ව ගියේය.

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයෝ බොහෝ දෙනෙක්‌ මැදමුලන ගෙදරට එක්‌රැස්‌ කළ අවස්‌ථාවක්‌ තිබිණි. ඒ වූකලී ඩී. ඒ. රාජපක්‍ෂයන් වෙනුවෙන් වසරක්‌ පාසා මැදමුලන නිවසේ පැවැත්වෙන ගුණානුස්‌මරණ පින්කම් මාලාවයි. පසුගිය සතිය පුරාම තංගල්ලේ සහ මැදමුලන නිවසේත් එම පිංකම් මාලාව සහ උත්සව පැවැති අතර ප්‍රධාන පිරිත් සඡ්ජායනාව පැවැත්වුණේ 06 වැනිදා රාත්‍රියේ මැදමුලන නිවසේය. එම නිවසට එදා රාත්‍රියේ ඒ වෙනුවෙන් මහාචාර්ය ජී. එල්., නිමල් සිරිපාල, මෛත්‍රිපාල සිරිසේන, එස්‌. එම්. චන්ද්‍රසේන, චන්දිම වීරක්‌කොඩි ඇතුළු ලොකු පිරිසක්‌ සහභාගි වී සිටියහ. ජනාධිපතිතුමා එදින හවස සිටම නිවසට වී කාලය ගතකළේ පිරිත් පිංකමට පැමිණෙන සියලුම දෙනා සමග සුහදව කතාබහ කරමිනි.

පිරිත් පිංකම රාත්‍රියේ ඇරැඹිණි. පැමිණ සිටි අමුත්තන් වෙනුවෙන් සහ ආරාධිතයන් මෙන්ම ගමේ ජනතාව වෙනුවෙන් මැදමුලන නිවසේ රාත්‍රී ආහාරයද පිළියෙල වී තිබිණි. ජනාධිපතිවරයා ආහාර ගත්තේ මැති ඇමැතිවරු සමග කතාබහ කරමිනි. ඒ අතරතුර ඔහු හරි රසවත් කතාවක්‌ කීවේය.

"මම ගියා ඊයෙ උදේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉතිරි ටික බලන්න. ඔය යන අතරෙදි පින්නදූවෙදි මට හම්බවුණා පාසල් ළමයි ආපු බසයක්‌. මම නැවතිලා ළමයි එක්‌ක කතා කළා. එක ළමයෙක්‌ මට කතාකරපු හැටි දන්නවද... මමත් උඩගියා..." ජනාධිපති කීවේය.

"ඇයි සර් පොඩි එකා මොනවාද කීවේ..." ඇමැතිවරයෙක්‌ ඇසීය.

"මේ කණ්‌ඩායමේ හිටපු පොඩිම එකා. අඹ ඇටයක්‌ විතර ඇති... මගෙන් ඇහුවනේ එකපාරටම ආ... ජනාධිපති කොහොමද ජීවිතේ කියලා... මම පුදුම වුණා. මම කිව්වා හරි හොඳින් ඉන්නවා කියලා... වෙන මොනවා කියන්නද. හරි හුරුබුහුටි කොල්ලෙක්‌."

"සර්ට කතා කරන්න ඕන විදිය ද=න්නෙ නැතිව ඇතිනෙ."

"ඒවා වැඩිහිටියො කියල දෙන්න ඕන. මට නෙවෙයි වැඩිහිටියෙකුට මාමෙ නැන්දෙ කියල කතා කරන්න මේ රටේ ළමයි ඉගෙන ගන්න ඕන" ජනාධිපති කීවේය.

පසුවදා උදේ මැදමුලන නිවසේ දානමය පිංකම පැවැත්විණි. එම පිංකමටද මැති ඇමැතිවරු විශාල පිරිසක්‌ සහභාගිව සිටියහ. දහවල් වන තුරුම ජනාධිපතිවරයා සිටියේ මැදමුලන නිවසේ ඒ සියලු දෙනා සමග කතාබහ කරමිනි.

මේ ආකාරයෙන් ජනාධිපති මහින්ද පසුගිය මුළු සතියම කාලය ගතකළේ දකුණු පළාතේ යෑයි කීවාට වරදක්‌ නැත. රාජපක්‍ෂ සැමරුම් පිංකම් හැරුණු විට හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ චොගම් වෙනුවෙන් ඉදිකෙරුණු නව ඉදිකිරීම්වලද තත්ත්වය සොයා බැලීමට ඔහු අමතක නොකළේය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධානත්වයෙන් "සමගි බලවේගය" විසින් සංවිධානය කළ රජයට එරෙහි මහා උද්ඝෝෂණය 07 වැනිදා සවස කොටුව දුම්රියපළ ඉදිරියේ පැවැත්විණි. ඒ සඳහා විපක්‍ෂයේ පක්‍ෂ නායකයෝ තුන්පැත්තකින් පෙළපාලිවලින් පැමිණ කොටුවේදී එකට එකතු වූහ. සෙසු සංවිධානවල නායකයෝද පැමිණ සිටියහ.

මෙහිදී උද්ඝෝෂණයේ නිරතව සිටි නායකයෝ බිම වාඩිවී එක්‌තරා අන්දමක විරෝධතාවයක ද නිරතව සිටියහ. එහෙත් එජාපයේ බොහෝ නායකයන්ට එක ඉරියව්වෙන් බිම වාඩිවී සිටීම අපහසුවක්‌ වූහ.

කරු ජයසූරිය මුලින්ම නැගිට්‌ටේ කකුලේ වූ තුවාලයක වේදනාව ඉවසාගත නොහැකිවය. ඔහු ඒ බව කියමින්ම නැගිට්‌ටේය. මංගල සමරවීරටද දැන් එකතැන වාඩිවී සිටීමට නොහැකිය. ඔහුද හරි අමාරුවෙන් නැගී සිටියේය. සෙසු නායකයෝද වාඩිවී සිට නැගිට්‌ටේ තරමක්‌ අපහසුවෙනි. මේ සියල්ල බලා සිටි රනිල් හරි අපූරු කතාවක්‌ කියමින් සරදමක්‌ කර නැගී සිටියේ ඉතාම සැහැල්ලුවෙනි.

"දැක්‌ක නේද ඔයාල... මම ඉන්න සැහැල්ලුව... මට දැන් බිම ඉඳගන්නත් පුළුවන්... ඉඳගෙන එකපාර නැගිටින්නත් පුළුවන්. මේ නායකත්වයේ බර බිමින් තිබ්බට පසුව මගේ ඇඟ දැන් පුළුන් රොදක්‌ වගේ සැහැල්ලු වෙලා. හිතත් එහෙමයි" කියමින් රනිල් විහිළුවක්‌ කර සිනහසුණේය.

හම්බන්තොට මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණේ 07 වැනි බ්‍රහස්‌පතින්දා උදයේය.

විවෘත කරන විටත් මෙම ශාලාවට නිසි නමක්‌ යොදා නොතිබිණි. එම නිසා සමහර අය යෝජනා කළේ මෙම ශාලාව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්‌ථානය කියා නම් කරන ලෙසය.

මේ හම්බන්තොට වැඩවලට මගේ නම දාල වැඩක්‌ නැහැ. අර ඩලස්‌ලා, ලලිත්ලා, ගාමිණිලා ඉන්නවා. එයලත් එක්‌ක කතාකරල හොඳ නමක්‌ දැන් හදන්න. නාමල් ගිහින් ලියාගෙන බලන්න.... කියා ජනාධිපති කීවේය.

ඒ අනුව ගාමිණි සෙනරත් යෝජනා කළේ මෙම සම්මන්ත්‍රණ ශාලාව තුළ පළාතේ අනන්‍යතාව කියෑවෙන නමක්‌ අවශ්‍ය බවය. එහෙනම් අපි මේකට මාගම් රුහුණුපුර ඉන්ටර්නැෂනල් කන්µරන්ස්‌ සෙන්ටර් කියලා නම දාගමු.. ලලිත් වීරතුංග යෝජනා කළේය. හරි... ඕක.. ඉංග්‍රීසියෙන් ලියලා වචනවල මුල් අකුරු ටික අරන් බලන්න.

නාමල් කොළ කෑල්ලක නම ලියා එම්. ආර්. අයි. සී. සී. කියල අකුරු එන බව කීවේය.

ෂහ්... මරු නමක්‌ එනවනේ... අපි කියමු මේකට කෙටියෙන්. "එම්රික්‌" කියලා. බී. එම්. අයි. සී. එච්. කියල නේ කොළඹ එකට කියන්නේ අපි මේකට එම්රික්‌ කියමු... ජනාධිපති යෝජනා කළේය. හරි නූතන නමක්‌ කියමින් ලලිත්, ගාමිණි, ඩලස්‌, නාමල් ඒ නම අනුමත කළහ.

රනිල් අවිශ්වාසය

නායකත්ව මණ්‌ඩලයට රනිල්ගේ බලතල සියල්ල පවරා දෙනවා කීවාට එක්‌සත් ජාතික පක්‍ෂයේ කිසිවකු තුළ ඒ ගැන ලොකු විශ්වාසයක්‌ ගොඩනැඟී තිබුණේ නැත. රනිල්ට ළඟම දේශපාලනඥයෝ පවා ඒ පිළිබඳ බැලුවේ මඳක්‌ වපර ඇසිනි.

පසුගිය සතියේ සිකුරාදා උදේ එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ මේ ගැන කතා කරන්නට රනිල් හමුවන්නට ගියහ. ගොස්‌ කතා කළේ නායකත්වයේ බලතල පැවරීම ගැන සමාජයේ පොදුවේ ඇති අවිශ්වාසය ගැනය. මේ අය අතර හර්ෂ ද සිල්වා, හරීන් ප්‍රනාන්දු, රුවන් විඡේවර්ධන වැන්නන් සිටීමද විශේෂත්වයකි.

සර්... අපි කවුරුත් තවම ඔබතුමාට කතා කරන්නේ නායකතුමා කියලා. ඉතින් ඔබ බලය නායකත්ව මණ්‌ඩලයට පවරනවාය කියන එක තාම අපටත් පැහැදිලි මදි. මේ ජනතාවට තේරෙන්නේම නැහැ...

හරි... හෙට අනිද්දම මම වැඩ කරන විදිය අනුවත් නායකත්ව මණ්‌ඩලය වැඩ කරන විදිය අනුවත් මිනිස්‌සු තේරුම් ගනීවි... රනිල් කීවේය.

හරීන් රටේ ඇති අවිශ්වාසය හා පක්‍ෂය ඇතුළේම ඇති විචිකිත්චාව පක්‍ෂ නායකයාට තේරුම්කර දෙද්දී රනිල් කළේ සුපුරුදු පරිදි සිනාසී නිහඬවීම පමණි.

පස්‌වැනිදා උදේ එජාප නායකත්ව මණ්‌ඩලයේ සාමාජිකයෝ සියල්ල කොල්ලුපිටියේ පොල්වත්ත පන්සලට පැමිණ සිටියහ. පොල්වත්ත පන්සල වූ කලී එජාපයට විශේෂ පන්සලකි. එජාපය සලකන්නේ එය ඩී.එස්‌. සේනානායක මැතිඳුන් විසින් පක්‍ෂයේ මූලික සාකච්ඡා කරනු ලැබූ මධ්‍යස්‌ථානය ලෙසය. එමනිසා එම පන්සලෙන් දේශපාලනය පටන් ගන්නට නව සභාපති කරු ජයසූරියට අවශ්‍ය විය. එහෙයින් ඔහු ඊට පෙරදා රාත්‍රියේ පුද්ගලිකවම නායකත්ව මණ්‌ඩලයට කතා කර ඒ සඳහා ආරාධනා කළේය.

මේ අනුව විහාරාධිපති ගිරාඹේ ආනන්ද හිමියන් විසින් සෙත් පිරිත් සඡ්ජායනා කිරීමෙන් අනතුරුව පසුදා උදෑසන එජාපයේ වැඩ කටයුතු ආරම්භ කෙරිණ. නායකයන් විසින් ඩී.එස්‌. සේනානායක පිළිරුවට මල්දමක්‌ පළඳවා වැඩ කටයුතුවලට මුල පිරීය.

මේ අතරතුර නායකත්ව මණ්‌ඩලයට අදාළ නොවුණත් තවත් එජාපයේ පිරිස්‌ ගණනාවක්‌ම එතැනට පැමිණ සිටියහ. එජාප මන්ත්‍රී සුජීව සේනසිංහ එහි පැමිණ සිටියේ සුමංගල හිමියන්ද සමගය.

"ඩී. එස්‌. සේනානායක මැතිතුමා අපි ගැන බලා ගනීවි. දැන් තියෙන්නේ එක එක පැත්තට කකුල්වලින් අදින්නෙ නැතිව කවුරුත් එකතුවෙලා වැඩ කරන එකයි. එජාපයේ පිල් අදින් ඉවරයි..." කරු කීවේය.

සුජීව සේනසිංහද කතා කරන්නට පටන් ගත්තේය. ඔහු කරු ගෙන් ප්‍රශ්නයක්‌ ඇසීය.

"ඔබතුමා අපිව පාවල දුන්නා. ඉරිදා කුරුණෑගලදී එකඟ වුණා සංඝයා වහන්සේලාගේ යෝජනා තුන ක්‍රියාවට නඟන්න. නමුත් සඳුදා පාවල දුන්නා. ඔබතුමා කරන්නෙ බොහොම නරක වැඩක්‌."

"මම කාවවත් පාවල දුන්නෙ නෑ."

"මොකද නැත්තෙ... මහනුවර සාකච්ඡාවේදී ඔබතුමා මොනවද කිව්වෙ... එතැනදි කියපු කතාද දැන් කියන්නෙ. ඔබතුමා පාවල දුන්නා. ඔක්‌කොම කියන්නෙ බොරු..." සුජීව කීවේය.

"මම කොතැනකවත් බොරු කියලා නැහැ. බොරු කරන්නෙත් නැහැ..." කරු කීවේය. ඒ අයුරින් දෙදෙනා අතර බහින් බස්‌වීමක්‌ ඇති විය. සුමංගල හිමියෝද කතා කරමින් කරුට සහයෝගය දීමෙන් වළකින මෙන් මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියේය.

"අපි දැන් බොහොම අමාරුවෙන් බාරහාර වෙලා මහන්සිවෙලා දරුවෙක්‌ හදාගෙන තියෙනවා. මේ කට්‌ටියක්‌ එකතුවෙලා ඒ දරුවා ගැහැනුද පිරිමිද කියලා ප්‍රශ්න කර කර බාධා කරනවා. දරුවා කවුරු වුණත් ඇති දැඩි කරගන්න එකයි අපට තියෙන කාර්යය..." ගිරාඹේ ආනන්ද හිමියෝ කීහ.

"ඒ දරුවා අවජාතකයි. ඒකයි අපිට තියෙන ප්‍රශ්නය..." සුජීව කීවේය.

මේ අයුරින් තර්ක විතර්ක ඇදී ගිය අතර සුජීව අවසානයේ මෙසේද කීවේය.

"හොඳයි හාමුදුරුවනේ... අපේ නායකතුමාට කියන්න දැන් ඉස්‌සරහට ඡන්ද එනවා බස්‌නාහිරට. අපි අපේ සහයෝගය උපරිමයෙන් දෙන්නම්. ඒත් ඔය විදියට ගිහිල්ල පුළුවන් නම් දිනල පෙන්නන්න කියන්න... අපි කරුට සහය දෙන්නම්. ඒත් ජනතාවගේ සහය ගන්න බැරි වේවි..." සුජීව ඒ ටික කීවේ එක්‌තරා අභියෝගයක්‌ කරන්නාක්‌ මෙනි.

මේ අයුරින් එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රශ්න කෙළවරක්‌ වේය කියා සිතුවාට පසුගිය සතියේත් ප්‍රශ්නවල ඉවරයක්‌ තිබෙන බවක්‌ නම් නොපෙනුණි. පක්‍ෂයේ එක්‌ එක්‌ මත දරන විවිධ පිරිස්‌ තවමත් සිටියේ තීරණයක්‌ ගැනීමට බැරිවය. බොහෝ දෙනෙක්‌ කරුගේ පාවාදීම පිටුපස ඇති සංකීර්ණ ප්‍රශ්න ගැන කතා කළහ. තවත් පිරිසක්‌ දැනට මතුපිටින් නොපෙනෙන එහෙත් පැහැදිලිවම හැඟෙන අපැහැදිලි චිත්‍රයක්‌ ගැන අනාවැකි කියන්නට වූහ.

මේ සියලුම දෙනාගේ අපවාදය සහ අකමැත්ත එක එල්ලේම යොමුවූ පුද්ගලයෙක්‌ද සිටියේය. ඒ වූකලී මංගල සමරවීරයි. එජාපයේ දැඩි මතධාරී ඇතැම් පිරිස්‌ එක එල්ලේම ඔහුට චෝදනා කළේ ඔහු රනිල්වත්, ක්‍රිශාන්ත කුරේ නම් පුද්ගලයෙක්‌ හරහා කරුවත් හොඳින් රවට්‌ටාගෙන ලොකු දේශපාලන පෙරළියකට අර අඳින බවය. එය පිටුපස සිටින්නේ අන් කවුරුවත් නොව, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වර්තමානයේ තැනක්‌ නැති, එහෙත් අනාගතයේ කුමන අයුරකින් හෝ බලයට ඒමට අර අඳිමින් සිටින නායිකාවක්‌ බවය. ඒ සියල්ල ඈ ක්‍රියාත්මක කරන්නේ එජාපයේ තිබෙන අවුල් වියවුල් මුල් කරගෙන මංගල නමැති සිය අග්‍ර දේශපාලන සහායකයා හරහා බව එජාපයේ කලකිරුණු පිරිස්‌ කියන්නට පටන් ගත්හ.

එජාපයේ වැඩ කටයුතු ගැන එළිපිටම කලකිරී කටයුතු කරන අය අතර කැපී පෙනෙන තැනක සිටියේ සජිත්ගේ කණ්‌ඩායමයි. සජිත්, සුජීව, තලතා ඇතුළු තවත් නායක නායිකාවන් ගණනාවක්‌ම ඒ කණ්‌ඩායම තුළ සිටී. ඊට අමතරව එම කණ්‌ඩායමට නෑකම් නොකියන තවත් බලවතුන්ද එජාපයේ සිටීම විශේෂත්වයකි. ඒ අතර ප්‍රධානත්වයේ සිටින්නේ රවි කරුණානායකයි. රවි කරුණානායක පසුගිය 07 වැනිදා කොටුව දුම්රිය පොළේ පැවැති සමගි බලවේගයේ උද්ඝෝෂණයටද පැමිණියේ නැත. ඊට හේතුව වී තිබුණේද එය මංගලලාගේ, තිස්‌සලාගේ නායකත්වයෙන් කෙරුණ එකක්‌ නිසාය.

රවි මේ දිනවල පක්‍ෂයේ තනතුරු සම්බන්ධයෙන්ද තව තර්කයක්‌ ඉදිරිපත් කරමින් සිටිති. ඔහු කියන්නේ ඔහුට නියෝජ්‍ය නායක මට්‌ටමේ තනතුරක්‌ ඉදිරියේ දී හිමිවිය යුතු බවය. ඒ සඳහා වසරක්‌ පාසා තනතුරු අලුත් කරන, නොබෝ දිනකින් එළැඹෙන අවස්‌ථාවේදීම පියවරක්‌ ගත යුතු බව ඔහු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුටම කියා තිබිSම කැපී පෙනිණි.

නාගසේන
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.