මේක හරියට දරුවෙකුගේ මංගලයකට
ගෙදර ලෑස්‌ති වෙනවා වගේ

- චොගම් ගැන කබ්රාල් කතාකරයි

* එහි ප්‍රතිලාභ හැම දෙනාටම ලැබෙනවා

මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව හරහා රටේ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට අමතරව විවිධ ක්‌ෂේත්‍රවලට ආර්ථික ප්‍රතිලාභ උපරිම වශයෙන් උදාකර ගැනීමද රජයේ අපේක්‍ෂාවකි. මේ අතරම මේ සමුළුවට දරණ නාස්‌තිකාර වියදම් හරහා මේ රටේ සාමාන්‍ය ජනතාවට ලැබෙන දෙයක්‌ නැති බවටද ඇතැමුන් චෝදනා නගයි. මේ පසුබිම තුළ මෙම සමුළුවේ ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව මෙන්ම සමුළුවට රජය දරන වියදම් සම්බන්ධයෙන් නැඟෙන විවේචන ගැනද අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ "දිවයින ඉරිදා සංග්‍රහය" ඇසූ ප්‍රශ්නවලට මහ බැංකු අධිපතිවරයා ලබාදුන් පිළිතුරුයි.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවෙන් අපට ලබාගත හැකිව තිබෙන ප්‍රතිලාභ ගැන ඔබට ඇති තක්‌සේරුව කුමක්‌ද?

පිළිතුර - මෙහි ආර්ථික ප්‍රතිලාභ ගැන කතා කිරීමේදී අපට කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන වශයෙන් බැලීමට සිදුවෙනවා. ඇතැම් අය හිතනව මේ සඳහා දරන වියදමේ ප්‍රතිලාභ එක රැයකින් ලැබෙයි කියලා. එහෙත් එහෙම නොවෙයි. මේ වගේ දිගුකාලීන ව්‍යාපෘති දෙස බලන්න ඊට අදාළ සියලු අංගයන් හරහා. දැන් අපි පැති කීපයක්‌ බලමු. පළමුවෙන්ම ඕනෑම රටක ආයෝජනය කරන්න පෙර බොහෝ දෙනෙක්‌ ඒ රට දිහා බලනව, රටේ පවතින සාමකාමී වාතාවරණය, යටිතල පහසුකම්වල තත්ත්වය කෙසේද යන්න පිළිබඳව එහිදී බලනවාමයි.

මේ පසුබිම තුළ අපට CHධඨඵ එක නිසා අපේ රටට ආර්ථිකමය වශයෙන් වැදගත් වන යටිතල පහසුකම් ඉහළ මට්‌ටමකට ගේන්න සිදුවී තිබෙනවා. අපි එය සිදුකරල තියෙනවා. ඒ සමගම ඒ ආයෝජනය නිසා අපේ රට ගැන තිබෙන පිළිගැනීම ඉහළ මට්‌ටමකට එනව. එතකොට මේ රටට ඇවිත් බලන අය මේ රටත් එක්‌ක ගනුදෙනු කරන අය අනිවාර්යයෙන්ම රට ගැන පැහැදීමට පත්වෙනවා. ඒක ආර්ථිකමය වශයෙන් විශේෂයෙන් අපට වැදගත්.

දෙවනුව අපට පුළුවන් වෙනව රටේ තියන ඊර්බා එක ඉහළ මට්‌ටමකට ගේන්න. අපි දන්නව හැමෝම තමන්ගෙ ඉර්බා එක වර්ධනය කරගන්න ලොකු වෙහෙසක්‌ දරනව. දැන් සමාගමක්‌ ගතහොත් ඒ අය තම සමාගමේ ඊර්බා එක ඉහළ නංවා ගැනීමට ලොකු උත්සාහයක්‌ දරනවා. සමහරවිට ඒ සඳහා මිලියන ගණන් වියදම් කරනවා. දැන් මෙතනදී අපිට අමතර වියදමක්‌ නැතිව අපේ රටේ ඊර්බා එක ලෝකයට විදහා දක්‌වන්න අපිට හොඳ අවස්‌ථාවක්‌ ලැබිල තියෙනවා. ඒක රටේ ඉදිරි අනාගතයට ඉතා වැදගත් කරුණක්‌ වෙනව.

තුන්වෙනුව රටට එන ජාත්‍යන්තර මට්‌ටමේ නායකයන්ට අමතරව ඒ රටේ ඉන්න ව්‍යාපාරික නායකයනුත් අපේ රටට එනවා. හේතුව මේ CHධඨඵ එකත් එක්‌ක පොදු රාජ්‍ය මණ්‌ඩල ව්‍යාපාර සමුළුවක්‌ පැවැත්වෙනව. ඒ සඳහා පොදු රාජ්‍ය මණ්‌ඩල රටවලට අමතරව ඊට පිට ඇමෙරිකාව, රුසියාව, ජපානය, චීනය වැනි රටවල ආයෝජකයන් සහ ව්‍යාපාරිකයනුත් එනව. ඒ අයටත් අපේ රට ගැන පවතින ආයෝජන අවස්‌ථා ගැන හොඳ අවබෝධයක්‌ ඇති වෙනවා.

ඒ අතරට අපේ රටේ ආයෝජන මණ්‌ඩලයයි, අනිත් ආයතනයි එකතු වෙලා හදල තියනව හොඳ ව්‍යාපෘති එකතුවක්‌. ව්‍යාපෘති 56 ක්‌ පමණ. ඒවා විදහා දක්‌වන්න පුළුවන් වෙනව මේ රටට එන ආයෝජකයන්ට සහ ව්‍යාපාරික නායකයන්ට. ඒවා මේ රටට ආයෝජන ලබා ගැනීම සඳහා ව්‍යාපෘති වශයෙන් ඉදිරිපත් කිරීම සිදුවෙනවා. සමහර අය ඒවට කැමති වෙලා අදාළ ආයෝජන ලබා දෙන්නත් පුළුවන්. ඒ සඳහා ඇවිත් රට ගැන ඒ අය බලන්නත් පුළුවන්. ඒ නිසා අප රටට ලොකු වාසියක්‌ ලැබෙනව. තව දෙයක්‌ තමයි මෙහිදී අපිට අලුත් සම්බන්ධතා ඇති කරගන්න පුළුවන් වෙනව. ඒකත් අපට ඉතාම වැදගත්. තව අපට පෙන්වන්න පුළුවන් වෙනව ඉදිරියේදී මෙවැනි යෝධ සම්මේලනයක්‌ සංවිධානය කරන්න පුළුවන් ශක්‌තියක්‌ අපට තියනව කියන එක. මේ සංවිධාන ශක්‌තිය ලෝකයට ප්‍රදර්ශනය වීමත් ඉතා වැදගත්. හේතුව ඒ අය බලනව අපේ රටට මෙවැනි දේවල් කරන්න පුළුවන්ද කියල. ඒ ශක්‌තිය අපට තියනව කියා පණිවුඩය මේ සමග ලෝකයට යනව. මේ හැම පැත්තකින්ම අපට ආර්ථිකමය වාසි ලැබෙනව. සමහර ඒව කෙටිකාලීන වශයෙන් සහ සමහර ඒව දිගුකාලීන වශයෙන්. ඒ වගේම හැමෝම සමුළුවට සම්බන්ධ වීම තුළින් රටේ ලොකු ජාතික එකමුතුවක්‌ ඇතිවෙනවා.

ප්‍රශ්නය - සමුළුවෙන් රටට ප්‍රතිලාභ ලැබෙන බව සත්‍යයි. එහෙත් මේ ප්‍රතිලාභ උපරිම කරගන්න තිබෙන සැලසුම් හා වැඩපිළිවෙළ කවරේද?

පිළිතුර - දැනටමත් සෑහෙන හොඳ මට්‌ටමක සංවිධානයක්‌ හා සම්බන්ධීකරණයක්‌ සිදුවෙලා තියෙනවා. මුලින්ම මේව අපටත් අලුත් අත්දැකීම්, ඒ නිසා මෙතන අපට අලුත් දේ ඉගෙන ගැනීමටත් අවස්‌ථාවක්‌ තියෙනවා. ඒ සියලු අත්දැකීම් ලබා ගනිමින් මේ සමුළුව සංවිධානය කිරීම අතින් අපි අද ඉහළ මට්‌ටමකට ඇවිත් තියෙනව. මේ ගැන දැන් අපේ රටෙත් ලොකු බලාපොරොත්තුවක්‌ ඇති වෙලා තියෙනව. මේ රටට ලෝක නායකයන් 50 ස්‌ ගණනක්‌ එන්න තියෙනවා. ඒ අය අප රටට ඇවිත් යම් පැහැදීමකින් කටයුතු කරයි කියන හැඟීම තියෙනව. ඒ හැම දෙයක්‌ම අප රටට ආඩම්බරයක්‌. ඒ හැම දෙයක්‌ම අපට අත්දැකීම් සහ ඉගෙනීම්. මට හිතෙන්නෙ මේ අත්දැකීමෙන් අපි සෑහෙන්න ලොකු පන්නරයක්‌ ලබා ගන්නව.

ඒ වගේම අපේ රටේ බොහෝ දෙනෙක්‌ පුරුදු වෙනව නියමිත වෙලාවට වැඩ නිම කරන්න. එය ඉතා වැදගත්. දැන් පුවත්පතක්‌ මුද්‍රණය කරන විට එය සූදානම් කරල දෙන්න ඕන නියමිත වෙලාවට. ඒ වගේ මෙතනත් හොඳ විනයක්‌ රටට ඇති වෙනව. ඇමැතිවරුන්ට වගේම නිලධාරීන්ටත් එහෙමයි.

ප්‍රශ්නය - සමුළුවේ ආර්ථික ප්‍රතිලාභ ගත් විට සංචාරක ආයෝජන සහ වෙළෙඳ අංශවලට ප්‍රමුඛත්වයක්‌ හිමි වන බව පැවසෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්‌ද?

පිළිතුර - ඔබ කියන දේ හරියටම හරි. ඕනෑම ආර්ථිකමය සම්බන්ධීකරණයක්‌ දවසකින් දෙකකින් සිදුවන දෙයක්‌ නොවෙයි. අපි දන්නව සාමාන්‍ය වෙළෙඳසලක්‌ පටන් ගන්න වුණත් සූදානමක්‌ අවශ්‍යයි. සංචාරක පැත්තෙන් ගත්තොත් මේ හරහා රටට ලොකු ප්‍රචාරයක්‌ ලැබෙනවා. රටේ සංචාරක ආකර්ෂණවලට මේ හරහා ලොකු ප්‍රසිද්ධියක්‌ ලබා ගන්න පුළුවන්. මේ හරහා අපේ රටේ සංචාරක ක්‌ෂේත්‍රයටත් දිගුකාලීනව හොඳ පදනමක්‌ මේ තුළින් ලැබෙයි. එකවර රටවල් 50 ගණනක අප රට පිළිබඳ පුවත් ප්‍රචාරය වෙනව. ඒ රටවල මිනිස්‌සු ඒව දකිනව. ඒ හරහා තවත් අය අප රටේ සංචාරයට පෙළඹෙනව. ඒක මුදල් වියදම් කරලවත් ලබාගත නොහැකි අවස්‌ථාවක්‌.

ප්‍රශ්නය - මේ සමුළුවට දරණ අති විශාල වියදම සාමාන්‍ය මහජනතාවට ලැබෙන කිsසිවක්‌ නැති බවටත්, මේ තුළින් මහජනයා මත තවතවත් බර පැටවෙන බවටත් චෝදනාවක්‌ තියෙනවා. ඒ සඳහා ඔබ ලබා දෙන පිළිතුර කුමක්‌ද?

පිළිතුර - ඒක හරිම අසාධාරණ කතාවක්‌. දැන් මේ රටට විශේෂ අමුත්තන් එන විට අපි ඒ අය බලාගන්න ඕන. හොඳින් සලකන්න ඕන. ඔය කතා කරන අයගෙ දුවෙකුගෙ මංගල උත්සවයක්‌ ගෙදර තිබුණොත් ඒ අය හොඳ ඇඳුමක්‌ අඳින්නෙ නැද්ද? ගෙදර තීන්ත ගාල ලස්‌සන කරන්නෙ නැද්ද? ගෙදරට එන අමුත්තන්ට හොඳින් සලකන්නෙ නැද්ද? ඔය කියන හැම දෙනාම හොඳ ඇඳුමක්‌ ඇඳල ගෙදර තීන්ත ගාල ලස්‌සන කරල ගෙදරට එන අමුත්තන්ට හොඳින් සලකනවනෙ.

තමන්ගෙ දරුවගෙ මංගල උත්සවයට එහෙම කරනව වගේ රටකුත් එහෙමයි. රටේ තිබෙන උත්සවයක්‌ වෙනුවෙන් විශේෂ අමුත්තන් එන විටත් අපි එහෙම ලෑස්‌ති වෙලා ඒ අයට හොඳින් සලකන්න ඕන. රට ගැන ලෝකයට හොඳ ප්‍රතිරූපයක්‌, චිත්‍රයක්‌ ඇති වෙන්නේ එවිටයි. ඒ එන රාජ්‍ය නායකයන්ට ගමන් කරන්න අපට පරණ ඩක්‌කුවක්‌ දෙන්න බැහැනෙ. අපේ රට ගැන අප්‍රසන්න ප්‍රතිරූපයක්‌ ඇති නොවන්න අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා මේක රටේ දෙයක්‌ ලෙස සිතල මේකට සහයෝගය දෙන්න කියල මම හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. එවිට මිනිස්‌සුත් ආශිර්වාද කරයි. ඒ ප්‍රශ්නය ඔබ මගෙන් අසපු එකට මම කැමතියි. ඒ නිසා මම කියන්නෙ මේ ගැන පටු දේශපාලන කෝණවලින් බලන්නෙ නැතුව, මෙය රටට ලැබුණු මහඟු අවස්‌ථාවක්‌ ලෙස සිතල මෙයට සහයෝගය දීල කටයුතු කළොත් මේ සමුළුව තවත් සාර්ථක වේවි. එහි ප්‍රතිලාභ භුක්‌ති විඳින්න ඒ අයටත් හැකි වෙනව.

සාකච්ඡා කළේ -
ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.