අපි බස්‌නාහිරින් සටන පටන්ගන්නවා!
- ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත

ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත බස්‌නාහිර පළාත් මහ ඇමැති අපේක්‍ෂකයා වශයෙන් නම් කරන ලද බවට පසුගියදා වාර්තා විණි. ජවිපෙ මැතිවරණ ක්‍රියාදාමය තුළ මෙවැනි නම් කිරීම් සාමාන්‍යයෙන් සිදුනොවෙන්නකි. ඒ හේතුවෙන්ම ඒ ගැන විමසීමට කේ. ඩී. ලාල්කාන්ත මුණගැසුණු විට ඔහු පක්‍ෂය විසින් මේ වන විට ගෙන ඇති තීන්දු තීරණ බොහොමයක සාධනීය බව පෙන්වා දුන්නේය. මේ එම සාකච්ඡාවයි.ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත බස්‌නාහිර පළාත් මහ ඇමැති අපේක්‍ෂකයා වශයෙන් නම් කරන ලද බවට පසුගියදා වාර්තා විණි. ජවිපෙ මැතිවරණ ක්‍රියාදාමය තුළ මෙවැනි නම් කිරීම් සාමාන්‍යයෙන් සිදුනොවෙන්නකි. ඒ හේතුවෙන්ම ඒ ගැන විමසීමට කේ. ඩී. ලාල්කාන්ත මුණගැසුණු විට ඔහු පක්‍ෂය විසින් මේ වන විට ගෙන ඇති තීන්දු තීරණ බොහොමයක සාධනීය බව පෙන්වා දුන්නේය. මේ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය - බස්‌නාහිර පළාතේ පළාත් සභා ඡන්දයේ මහ ඇමැති අපේක්‍ෂකයා වශයෙන් ඔබේ නම යෝජනා වී ඇති බව දැනගන්නට ලැබෙනවා. අනුරාධපුරය නියෝජනය කරන ඔබ එක්‌වරම 'බස්‌නාහිර'ට එන්නේ ඇයි?

පිළිතුර - අපේ පක්‍ෂය මීට අවුරුදු තුනකට කලින් වෙනස්‌වීම් ගණනාවක්‌ ගැන තීරණයක හිටියා. විශේෂයෙන්ම සෝමවංශ අමරසිංහ සහෝදරයාට ඕන වුණා පක්‍ෂයේ නායකත්වය වෙන කෙනකුට දීලා පක්‍ෂයේ සාමාජිකයෙක්‌ විදියට දිගටම වැඩ කරන්න. නමුත් මේ තීන්දු තීරණ අපිට පස්‌සට ගන්න සිද්ධ වුණේ පක්‍ෂයෙන් කණ්‌ඩායමක්‌ කැඩිලා යනකොටමයි. දැන් අපි සූදානම් වෙන්නේ පක්‍ෂයේ සම්පූර්ණ වෙනස්‌කම් සිද්ධ කරමින් දේශපාලන භූමියට පිවිසෙන්න. එහි එක්‌ පියවරක්‌ තමයි මාව අනුරාධපුරයෙන් කොළඹට සම්බන්ධ කරගැනීම. නමුත් මේක පරණ තීරණයක්‌. ක්‍රියාත්මක කිරීම පමා වුණා. ඉතිං මම ඒක සතුටින් බාරගත්තා. කොහොමත් මගේ වැඩි කාලයක්‌ ගත වෙන්නේ කොළඹ, ඒ නිසා වඩාත් සාධනීය වැඩ කොටසක්‌ කරන්න හැකියාව ලැබේ යෑයි මමත් විශ්වාස කරනවා. 1994 දී අපි කලින් දේශපාලනය වෙනස්‌ කරලා අලුත් ප්‍රවේශයක්‌ ගත්තා. 94 සිට මෑතක්‌ වනතුරු යුද්ධය තිබුණා. අපිත් විශ්වාස කළේ මේ යුද්ධය අවසන් කරන එක තමයි අංක එක කියලා. අපේ පාලකයෝ යුද්ධය පාවිච්චි කරමින් රටේ අනෙක්‌ ප්‍රශ්න යටපත් කරලා තිබ්බේ. යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් අප වැඩ කළා. කැප කිරීම් කළා. ජයග්‍රහණ ලැබුවා. මේ මොහොත වෙනකොට අපි විශ්වාස කරනවා මේ රටේ තිබෙන්නේ අලුත් දේශපාලන වටපිටාවක්‌ කියලා. ඒ නිසා අපිත් අලුත් ප්‍රවේශයක්‌ ගන්න ඕන කියන තැන ඉඳලා තමයි අපි මේ අලුත් "ඉනිමකට" සූදානම් වෙන්නේ.

ප්‍රශ්නය - මේ අලුත් ඉනිමේදී ජවිපෙ පසුගිය මැතිවරණවලදී අත්පත් කරගත් පසුබෑමත් එක්‌ක හොඳ සටනක්‌ දෙන්න පුළුවන් වේවි කියන විශ්වාසය තිබෙනවද? විශේෂයෙන් සරත් ෙµdන්සේකා මහතාගේ පක්‍ෂයත් යම් ස්‌ථාවරයක්‌ අත්පත් කරගෙන සිටින මොහොතක.

පිළිතුර - ඇත්තටම අපිට සටන තියෙන්නේ ආණ්‌ඩුව එක්‌ක මිස වෙනත් පක්‍ෂ සමඟ නොවෙයි. ඔබේ ප්‍රශ්නයට තවත් ආකාරයකින් උත්තර දෙනවනම් අපි අලුත් ඉනිමක්‌ සෙල්ලම් කරද්දී ඒකට සූදානම් වෙන්නේ නිකම්ම නොවෙයි. අපි ළඟදීම අලුත් වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කරනවා. එහි තිබෙනවා ඊළඟ ජනපතිවරණය ඉලක්‌ක කරගත් අපේ ඉදිරි වැඩපිළිවෙළ. අපි විශ්වාස කරනවා ආණ්‌ඩුවේ න්‍යාය පත්‍රය සැලකිය යුතු මට්‌ටමෙන් අභියෝගයට ලක්‌කරන්න ඊට පුළුවන් වේය කියලා. ඊළඟට අපි අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකුත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටේ ජනතාව වෙනුවෙන් පුළුල් සටන් පෙරමුණක්‌ ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අයවැය ඉලක්‌ක කරගෙන එය ආරම්භ කරන්නට අපි ප්‍රවේශයක්‌ අරගෙන තිබෙන්නේ. ඊළඟට අපි අපේ පක්‍ෂය මූලික කරගෙන ස්‌ථාවර මැතිවරණ පෙරමුණක්‌ හැදිමේ ක්‍රියාවලියකටත් සූදානම්. එතකොට අපි බස්‌නාහිර පළාත් සභා ඡන්දයට එන්නේ, ජාතික දේශපාලනයේ ඒ කියපු කරුණු කාරණාත් අත්පත් කරගෙන.

ප්‍රශ්නය - එතකොට පහුගිය කාලයේ ජාතික දේශපාලනයේ ජවිපෙ භූමිකාව ඊට වෙනස්‌ද?

පිළිතුර - පහුගිය කාලයේ ජාතික දේශපාලනය තුළ අපේ භූමිකාව එතරම් ප්‍රමාණවත් නෑ. අපේ අභ්‍යන්තරයේ බරපතළ බෙදීම් දෙකකට මුහුණ දුන්නා. ඒවා හදාගෙන අලුත් සංවිධායකයෝ අලුත් නායකයෝ සකස්‌ කරගෙන ඒ ගමන පටන්ගන්නවා. බස්‌නාහිර කියන්නේ ජාතික දේශපාලනයේ තීරණාත්මක තැනක්‌. ඒ වෙනස්‌කම් කරමින් අපි බස්‌නාහිරින් සටන පටන්ගන්නයි මේ සූදානම් වෙන්නේ.

ප්‍රශ්නය - ඔබට පක්‍ෂය තුළ වෙනත් තනතුරක්‌ තිබෙනවාද?

පිළිතුර - දැනට මම කම්කරු ව්‍යාපාරය මූලික කරගෙන වැඩ කරනවා. ඊට අමතරව දේශපාලන මණ්‌ඩලයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මම සඳහන් කරපු "වෙනස්‌කම්" මා ඉලක්‌ක කරගත් ඒවා පමණක්‌ නොවේ. පක්‍ෂයේ සියලු දේ සමග බැඳුණු දෙයක්‌.

ප්‍රශ්නය - ඔබ මේක අලුත් ඉනිමක්‌ ලෙස හැඳින්වූවා. මේ වගේ ඉනිම් ගණනාවක්‌ ජවිපෙ ක්‍රීඩා කළා. සන්ධානගත වීමේ, අවස්‌ථා කිහිපයක්‌ම අපි දැක්‌කා. හැබැයි ඒ එක වතාවක හෝ මේ ගැන ජනතාව තුළ නිශ්චිත විශ්වාසයක්‌ ගොඩනැගුණේ නෑ, මොකක්‌ද මේ වතාවේ අලුත් ඉනිම ගැන තිබෙන විශ්වාසය.

ප්‍රශ්නය - 94 සිට යුද්ධය නිමවන තෙක්‌ කාලය අපි සලකන්නේ එක කාලපරිච්ඡේදයක්‌ හැටියටයි. ඒ තුළ අපි විවිධ දේවල් කරලා තියෙනවා. ඒක ඒ මොහොතේ අවශ්‍ය වූ දෙයක්‌. නමුත් දැන් තියෙන්නේ අලුත් දේශපාලන තත්ත්වයක්‌. මහින්ද රාජපක්‍ෂ මහත්තයත් ඒකට සූදානම් වෙනවා. දැන් එතුමා හිතනවා යුද්ධය විතරක්‌ ඊළඟ ගේමට මදි කියලා. ඒකත් ටිකක්‌ මාර්කට්‌ කරනවා. නමුත් එයින් කොටසක්‌ ෙµdන්සේකා මහත්තයටත් යනවා. අලුත් ඉනිමක කලින් ඒවා අලෙවි කරන්න අමාරුයි. අලුත් එකේ තියෙන්නේ ජනතා ප්‍රශ්න. මහින්ද රාජපක්‍ෂ මහත්තයා වගේම අපිත් මේකට අලුත් ප්‍රවේශයක්‌ ගන්න ඕන. දැන් මහින්ද මහත්තයා කියනවනම් පොදු රාජ්‍ය මණ්‌ඩලය ආශ්චර්යයක්‌ කියලා, අපි කියනවා නෑ... ඒක රැජිනගේ අත ඉඹලා සභාපතිකම ගන්න එකක්‌ කියලා. මහින්ද මහත්තයා පෙනී හිටපු විදියට අපි පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් ඉවත් වෙනවා කිව්වනම්, අන්න මහින්ද වීරයා. අද තිබෙන්නේ අධිරාජ්‍යවාදී ගුලට රිංගමින් ඔවුන්ගේ වුවමනාවල් ඉටුකරන මාවතක්‌. දැන් ආණ්‌ඩුවට පැහැදිලි දැක්‌මක්‌ තිබුණ නම් මුලින්ම හදන්න ඕන පෑලියගොඩ කටුනායක පාරනේ. කොට්‌ටාව - පින්නදූව පාර නෙවෙයිනෙ. දැන් ආණ්‌ඩුවට ප්‍රමුඛතාවත් මාරුවෙලා තියෙන්නේ. ඒක හලාවතට යනකං හදන්න තිබුණ මුදලත් කටුනායක දක්‌වා වැය කරපු එක විතරයි අපිට තිබෙන විවේචනය. අපි කියනවා අපි 88-89 බලය ගත්තනම් අද රටේ අධිවේගී මාර්ග පද්ධතියකින් සම්බන්ධ කරලා ඉවරයි කියලා. රටක භෞතික සංවර්ධනය වගේම මානව සංවර්ධනයත් අවශ්‍යයි. දැන් රටේ භෞතික සම්පත් සංවර්ධනයේ යම් යම් දේවල් වෙනවා. අපි ඒක අගය කරන ගමන් කියනවා, රුපියල් සීයකින් රුපියල් 30 ක වැඩ කරන එක, අපේ පාලනයක්‌ යටතේ ඉතිරි හැත්තෑවෙත් වැඩ කරනවා කියලා. එතකොට විවේචනය තියෙන්නේ නාස්‌තිය දූෂණය ගැනයි.

ප්‍රශ්නය - අයවැය ඉලක්‌ක කරගත් සටන් පෙරමුණක්‌ ගොඩනගන බව ඔබ කිව්වා... මොකක්‌ද ඒ වැඩපිළිවෙළ.

පිළිතුර - අපි මේ වෙනකොට ඉල්ලීම් 21 ක්‌ ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය, පෞද්ගලික, ධීවර, ගොවි, වතු සහ අධ්‍යාපනය ඊට සම්බන්ධයි. ගොවි විශ්‍රාම වැටුප, අලි වැට ඉදිකිරීම්, බීජ ගොවිපළවල් ඉදිකිරීමට අදාළ ප්‍රතිපාදන වෙන් කිරීම ආදී වශයෙන් ගොවි සංවිධාන ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා මම දැක්‌කා. තවත් ඉල්ලීම් ගණනාවක්‌ දැන් ඇවිල්ලත් තියෙනවා. දැන් මේවා දෙන්න පුළුවන්ද බැරිද? කියන කාරණයට ගියොත්, අපේ රටේ අති බහුතර පවුල් සංඛ්‍යාවකට මසකට යෑපෙන්න ඕන මුදල් ප්‍රමාණය ලැබෙන්නේ නෑ. එහෙම නම් ඒ මුදල කොහේ හරි තියෙන්න ඕන. කොහේ හරි යෙදවෙන්න ඕන. එක්‌කෝ කොන්ක්‍රීට්‌ ගල් බවට පත්වෙලා පාරේ අතුරන්නේ ඒ මුදල. ඒ පාරේම පිඩලි, මල් පාත්ති බවට පත්වෙන්නේ ඒ මුදල... ඇමැති මණ්‌ඩලයේ 105 කට ගන්නෙත් ඒවා. අපි නාස්‌තිය වංචා දූෂණය කියලා හඳුන්වන්නෙත් ඒවා. එතකොට අපි අහන්නේ මේ ආදායම් ලැබීම තුළ තියෙන දැවැන්ත විෂමතාවය නැති කිරීම කෙසේ වෙතත්, අවම කිරීමට අදාළ අයවැය යෝජනා මාලාවක්‌ ඉදිරිපත් කරන්න බැරිද කියලයි. අපි අහන්නේ යම් සහනයක්‌ හෝ දෙන්න බැරිද කියලයි. මෙන්න මේ වෙනුවෙන් තමයි ඒ වැඩපිළිවෙළ ඉදිරිපත් වෙන්නේ.

ප්‍රශ්නය - නමුත් ජවිපෙ කියන මේ කාරණා ජනතාව විශ්වාස කරන බවක්‌ පේන්නේ නැහැනේ. පහුගිය ඡන්දවලදීත් පෙනුණේ ඒ කාරණයමයි.

පිළිතුර - අපි ඡන්ද වකවානුවකදී යම් ප්‍රකාශයක්‌ කළොත්, කවුරුත් ඒ අදහස ප්‍රතික්‍ෂේප කරන්නෙත් නෑ. "ජවිපෙ කාරයෝ කියන්නේ ඇත්ත තමයි" කියලයි කියන්නේ. ඒත් ඡන්දෙකදී මිනිස්‌සු බලාපොරොත්තු වෙන දේවල් ගොඩක්‌ තියෙනවා. හැමෝටම ඕන තමන් දෙන ඡන්දයට ජයග්‍රහණයක්‌. මේ වෙලාවේ ජනතාව කල්පනා කරනවා ජවිපෙට ඡන්දෙ දුන්නට තමන්ට ජයග්‍රහණයක්‌ එන්නේ නෑ කියලා. ඉතිං ඒ අය ජයග්‍රහණය ලැබෙන තැනකට ඡන්දෙ දෙනවා. එහෙමනම් අපිට සිද්ධවෙනවා ටිකක්‌ මහන්සිවෙලා දිනන තැනකට මේක ගේන්න. අපේ ඡන්දදායකයෝ හුරුවෙලා ඉන්නේ අදුරන මිනිහෙකුට ඡන්දේ දෙන්න. ජනතාවට ඕන පුද්ගලයා. මම ඡන්දෙ දුන්නේ ලාල්කාන්තට, එයා තමයි මගේ කෙනා.. නමුත් අපේ ඡන්දේ දෙන්නේ පක්‍ෂයට. එතකොට දුන්නේ කාටද කියන එක ගැන විශ්වාසය බිඳීමක්‌ ඡන්දදායකයාට තියෙනවා. අපි ඒවා වෙනස්‌ කරන්න ඕන. පුද්ගලයාට ඡන්දේ ඉල්ලන්න දෙන්න ඕන. දැන් කොළඹින් ඡන්දේ ඉල්ලනකොට මගේ ඡන්දේ මට නැතිවෙනවා. මොකද මගේ ඡන්දේ තියෙන්නේ අනුරාධපුරේ... හැබැයි ඒක නැතිවුණාට, මගේ ඥති මිත්‍රාදීන් වැඩිදෙනෙක්‌ ඉන්නේ කොළඹ. ඒ අය කැමතියි මට ඡන්දෙ දෙන්න සීනුවට දෙනවට වඩා. ඒ කියන්නේ දේශපාලන ප්‍රතිපත්ති ගැන කතා කරද්දී එන එකඟතාවන් හා ඡන්දය භාවිත කරද්දී එන වෙනස්‌කම් අපි ලාංකීය සමාජයට හරියට ගැළපුවේ නෑ කියලයි මම විශ්වාස කරන්නේ.

ප්‍රශ්නය - "අපි" කියන්නේ ජවිපෙද?

පිළිතුර - ඔව්... අපි කියන්නේ මාත් ඇතුළුව. ඡන්ද ව්‍යාපාරයේදී අපි මීට වඩා සමාජය ඉන්න තැනත් එක්‌ක ඊට සමාන්තරව ඒ සංස්‌කෘතිය ඇතුළේ තමයි මේ ගේම ගහන්න ඕන. අනික්‌ පක්‍ෂ මෙවැනි සාධක ඡන්ද ව්‍යාපාරවලදී සැලකිල්ලට ගන්නවා. අපි හිතුවේ "පොල්පිති" දැම්මත් කමක්‌ නෑ පක්‍ෂයේ ප්‍රතිපත්තියට ඡන්දේ දෙයි කියන එකයි. අපි මේ වෙනස්‌කම් හඳුනාගෙන ඒවාට ඉඩදිය යුතුයි. අපි සැලකුවේ සටන... හැබැයි ඒ සටනේ අපි උඩ ඉන්නවා. ලාංකීය සමාජයේ කෙසේ හෝ සටනක්‌ තිබුණොත් "ඕක ජවිපෙ වැඩක්‌" කියන තැනට අපි ගෙනල්ලා තියෙනවා. එතැන අපි දිනලා තියෙනවා.

ප්‍රශ්නය - මීට පස්‌සේ ජවිපෙ ඡන්දේ දිනපු කෙනා වෙනුවට වෙන කෙනෙක්‌ පත් කිරිම සිද්ධ වෙන්නේ නැද්ද?

පිළිතුර - වෙන්නේ නෑ... පක්‍ෂය එවැනි බොහෝ දේ වෙනස්‌ කරන්න ඕන. අපේ මූලික ප්‍රතිපත්ති ආරක්‍ෂා කරන ගමන් සමාජයට පොදු බවක්‌ හැදිය යුතුයි. සංකල්පවලට මිනිස්‌සු ගේන්න ඕන ටික ටික... ආමිස පූජාවත් ඕන ප්‍රතිපත්ති පූජාවට මිනිස්‌සු අරගෙන එන්න. ඒ නිසා අපිත් ආමිස පූජාව ටිකක්‌ කරන්න ඕන.

ප්‍රශ්නය - ජවිපෙ ප්‍රතිපත්ති ගැන කතාකරන කොට මේ ප්‍රතිපත්ති තුළම ඉන්න වෙනත් රටවල් සමග සංසන්දනය කළොත් එහි යම් වාසි අවාසි සහගත තත්ත්වයක්‌ මතුවෙනවා නේද?

පිළිතුර - අනිවාර්යයෙන්ම ජනතාව එහෙම තක්‌සේරුවකට යන එක අපිට බැහැර කරන්න බෑ. ඒත් විඡේවීර සහෝදරයා අපිට ඉගැන්නුවේ සහ ලාංකීය සමාජයට කිව්වේ අපි ලාංකීය සමාජය කියුබාව, චීනය, වියට්‌නාමය හෝ සෝවියට්‌ දේශය කරන්නේ නෑ කියලයි. මොකද අපිට අදාළ සංස්‌කෘතියක්‌, හර පද්ධතියක්‌ අපිට තියෙනවා. ඒ නිසා අපේ හර පද්ධතිය ආකල්ප මත පදනම් වෙලයි සාධාරණ සමාජය ගොඩනැගිය යුත්තේ. අපි ඉන්නේ එතැන. ඒ නිසාම අපි ජනතාවට කියනවා. ලෝකයේ රටවල් අරගෙන ඒවා සංසන්දනය කරමින්ම ජවිපෙ දිහා බලන්න එපා. අපිට ඕන අපේ මොඩ්ල් එකක්‌. ඕකට මම නිදසුනක්‌ දෙන්නම්. දැන් අපේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය "නිදහස්‌ අධ්‍යාපනය" නොවෙයි. තමන් කැමති පාසලකට ළමයා දාගන්න එකයි. එහෙමනම් මම දැන් කල්පනා කරනවා පක්‍ෂයට යෝජනා කරනවා රටට කියනවා තමන් කැමැති පාසලකට ළමයා දාගන්න ඕන කියන සංකල්පයට එකඟ විය යුතුයි කියලා. නිදහස්‌ අධ්‍යාපනය කියන පොදු සංකල්පය වෙනුවට අපි දැන් ගන්න ඕන තමන් කැමති පාසලකට ළමයා දාගන්න වැඩපිළිවෙළක්‌ අපි හදලා දෙනවා කියන එකටයි. අරක දිගුකාලීන උත්තරය... හැබැයි ඒ උත්තරය ඡන්දදායකයාට දැනෙන්නේ නෑ, ඒ නිසා දිගුකාලීන උත්තරය අපි ළඟ තියාගෙන ජනතාව දැන් ඉල්ලන දේ දෙන්න ඕන.

සාකච්ඡා කළේ
උදේශ සංජීව ගමගේ
එරික්‌ ගාමිණි ජිනප්‍රිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.