ඉගෙනුමට මුල්තැන ඇමැති නාගෙන

උතුරුමැද අධ්‍යාපන අර්බුදයේ හැන්ද එකතැන

නිස්‌සාර ක්‍රියාදාමයක අරුත් සුන් ප්‍රතිඵල පමණක්‌ ශේෂව තිබේ. ඒ ක්‍රියාදාමයේ නියමුවාණන්ද පෙනෙන්නට නැත. ආණ්‌ඩු මාරු වන විට මාරු කෙරෙන ප්‍රතිපත්ති ඇමැතිවරුන් මාරු වන විටදීත් සිදු වන වාතාවරණයක්‌ තුළ රටක ජාතික ප්‍රතිපත්ති ගැන කවර නම් කතාද? ඒ ප්‍රතිපත්ති මාරුවීමේ කලාව පළාත් සභා දක්‌වා ව්‍යාප්ත වූ කල සිදු විය හැකි ව්‍යසනය සුළුපටු නොවේ. ඒ ව්‍යසනය හමුවේ නන්නත්තාර වන්නේ බලහත්කාරය විසින් පැටවෙන ප්‍රතිපත්තිවලට යටවන්නන්ය. නිස්‌සාර බව දන්නේ වුවද ඒ බව දැන දැනම අකැමැත්තෙන් වුවත් ඒ මත කාල් ගාන්නට සිදුවීමේ අභාග්‍යයට උතුරුමැද පළාතේ සිසු දරු දැරියෝ මුහුණදෙමින් සිටිති. එ මතු නොව ඔවුන්ට සිප් සතර කියා දෙන ගුරු මවුපියවරුද ඒ අභාග්‍යයටම මුහුණ දෙමින් සිටින්නාහ.

උතුරු මැද පළාතේ සිසු දරු දැරියන් සංඛ්‍යාව දෙලක්‍ෂ පනස්‌අට දහසක්‌ පමණය. ගුරුවරු ද දහහතර දහස්‌ පන්සියයක්‌ පමණ වෙති. පාසල් සංඛ්‍යාව හත්සිය පනහකට ආසන්නය. දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනයෙන් අනතුරුව පළාත් සභා පිහිටුවූ දා සිටම උතුරුමැද පළාතේ අධ්‍යාපනය භාර ගත්තේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ජනතා නියෝජිතයන් විසිනි. අනෙක්‌ දිස්‌ත්‍රික්‌කය වන පොළොන්නරුවට ඒ මහඟු අවස්‌ථාව 1989 වසරේ සිටම හිමි නොවීය. නැතහොත් අහිමි කරනු ලැබිණි. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයටම පළාතේ අධ්‍යාපනය භාර කිරීම පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ජනතා නියෝජිතයන්ගේ උදහසට හේතු වුවත් කළ හැක්‌කක්‌ නොවීය. එහෙයින් වසර ගණනක්‌ ඒ පීඩාව දරා ගැනීමට පොළොන්නරුවට සිදු විය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසය පොළොන්නරුවට අතශයින් වැදගත් වී තිබිණි. මන්ද පළාතේ අධ්‍යාපන හැන්ද පොළොන්නරුව අතට පත්වීමය. මහජන සේවයම සිය ඒකායන අභිප්‍රාය වන හෙයින් පළාතේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ බලය අනුරාධපුරයෙන් ගැලවීම එහි ජනතා නියෝජිතයන්ගේ දැඩි විරෝධයට හේතු විය. එහෙත් එදා පොළොන්නරුවේ ජනතා නියෝජිතයන්ට මෙන් මෙදා අනුරාධපුරයේ ජනතා නියෝජිතයන්ට ද කළ හැකි දෙයක්‌ නොවිණි.

අධ්‍යාපන ඇමැති ධුරය පොළොන්නරුවට හිමි වන්නේ ඒ විරෝධතාව ද මධ්‍යයේය.

කෙසේ වුවද පේෂල ජයරත්න මහතා අධ්‍යාපන ඇමැති ධුරය භාර ගන්නා අවස්‌ථාව වන විට මුළුමනින්ම නොවූවත් තරමකින් හෝ පළාතේ අධ්‍යාපනයට යම් නිදහසක්‌ ලැබී තිබිණි. ජයරත්න මහතාගේ සම්ප්‍රාප්තිය බොහෝ පිරිස්‌ අරුණැල්ලක්‌ ලෙස දුටුවේ පසුගිය කාලය පුරාවට වූ අප්‍රසන්න අත්දැකීම් සමුදාය නිසාමය.

අධ්‍යාපන ඇමැති ධුරයේ දිවුරුම් දී නොබෝ දිනකින්ම ජයරත්න මහතා සිය හැකියාවන් "ප්‍රදර්ශනය" කළේ හත්සිය පනහකට ආසන්න සියලුම පාසල්වලට රාමු කරන ලද ඡායාරූපය බැගින් බෙදා හරිමිනි. එම ඡායාරූපයෙහි සටහන් වූයේ මෙරට නිදහස්‌ අධ්‍යාපනයේ පියා වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ හෝ වෙනත් කිසිවකුගේ හෝ නොව ජයරත්න මහතාගේම පින්බර මුqහුණය. අහා... කෙතරම් කදිම ආදර්ශයක්‌ද..,? හිමිදිරියේ පාසලට පැමිණෙන දරු දැරියන්ට ගුරු මවුපියවරුන්ට විදුහල්පතිවරුන්ට මන පිනවන ඡායාරූපයක්‌ද? කටුකොහොල් වන ලැහැබ් පසුකර සැතපුම් ගණන් පයින් ගමන් කර දහදියෙන් පෙඟුණු අන්ත දුෂ්කර ප්‍රදේශවල දරු දැරියන්ට ජයරත්න මහතාගේ වත දැකීම ම ප්‍රමාණවත්ය.

දේශපාලනීකරණයෙන් හෙම්බත්ව සිටි උතුරු මැද පළාතේ නව අධ්‍යාපන ඇමැතිවරයාගේ මුහුණත්තහඩුව ප්‍රදර්ශනය කිරීමේ මානසිකත්වය අපේක්‌ෂා සහගත පිරිස්‌වල බලාපොරොත්තු සුන් කළේය. දේශපාලකයා ජනතාවගෙන් ප්‍රතික්‌ෂේප වෙමින් පවතින තත්ත්වයකදී අභිනව අධ්‍යාපන ඇමැතිවරයා මෙලෙසින් සිය "පරිණතභාවය" ප්‍රදර්ශනය කිරීම විශාල පිරිසකගේ දැඩි දෝෂදර්ශනයට හේතු වූවාට සැක නැත. ජයරත්න මහතා වැඩ ආරම්භ කළේ එලෙසිනි.

ඉන් අනතුරුව හෙතෙම පළාතේ සියලුම පාසල්වලට අධ්‍යාපන දින දර්ශනයක්‌ හඳුන්වා දුන්නේය. ඇමැතිවරයාට හෝ ඔහු වටා සිටි නිලධාරීන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් නිවැරදි දැක්‌මක්‌ නොතිබූ බවට කදිම උදාහරණය මෙම දින දර්ශනය බව පළාතේ ගුරු භවතුන්ගේ අදහසය. එම දින දර්ශනයට අනුව සියලුම පාසල්වල නිවාසාන්නතර ක්‍රීඩා තරග පසුගිය ජනවාරි මස 19 වැනිදාට පැවැත්වීම අනිවාර්ය විය. සියලුම පාසල්වල එකම දිනයක නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම කෙතරම් ප්‍රායෝගිකද යන්න ගැන ජයරත්න මහතාට හෝ නිලධාරීන්ට අවබෝධ වී නොතිබිණි. අනෙක්‌ අතට නව වසරේ පාසල් ආරම්භ වී දෙසතියකින් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක්‌ සංවිධානය කිරීමද පහසු නොවේ. තරග සඳහා සිසුන් තෝරා ගැනීම, පුහුණු කිරීම, සංවිධානය කිරීම, ක්‍ෂණිකව කළ හැකි කාර්යයක්‌ නොවේ. ඒ බව සනාථ වී අවසන්ය.

මෙම දින දර්ශනයට අනුව සියලුම පාසල්වල සියලුම කටයුතු එකම වෙලාවට සිදුවිය යුතු විය. පාසල් කාලය සවස තුන දක්‌වා දීර්ඝ කර තිබිණි. දෙමවුපියන්ට විදුහල්පතිවරයා හමුවිය හැකි වේලාව නියමිත දිනවල සවස 1.30 සිට සවස 4.30 දක්‌වාය. විෂය නිර්දේශ උගන්වා අවසන් කිරීම සියලුම පාසල්වල එකම කාලයකදී සිදුවිය යුතු විය.

මේ සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන් නොවිමසා වීම ගැටලුව තවත් උග්‍ර කිරීමට හේතු විය. උතුරු මැද පළාත් පාසල්වල ගණිත, විද්‍යා, ඉංග්‍රීසි, ශාරීරික, අධ්‍යාපනය, සෞන්දර්ය වැනි විෂයයන් සඳහා ගුරු ඌනතා පවතී. එවන් තත්ත්වයකදීත් සියලුම පාසල්වල එකම දින දර්ශනයක්‌ එකම කාලසටහනක්‌ ක්‍රියාවට නැගීමට ඇති ඉඩකඩ සීමාසහිතය.

"ඉගෙනුමට මුල්තැන" පාඨය පාසල්වල අලුතින් ලියෑවෙන්නට පටන් ගත්තද උගන්වන ගුරුවරයා සමඟ සාකච්ඡාවෙන් සම්මුතියෙන් තොරව ජයරත්න මහතා කටයුතු කිරීමට පෙළඹීමද මතභේදයට හේතු වී තිබිණි.

අධ්‍යාපන ඇමැතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කළේ අධ්‍යාපනය සඳහා මුදල් වෙන්කර නොමැති බවය. එසේ නමුත් සිය ඡායාරූපයද සමඟ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ පළාත් ප්‍රධාන ඇමැති එස්‌.එම්. රංජිත් මහතාගේ ඡායාරූප පාසල්වලට බෙදා හැරීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ ගණනක්‌ වැය කිරීමට කටයුතු කර තිබිණි. වෙනත් කිසිදු පළාතක නොවූ තරමේ පාසල් වාර විභාග අවුල් ජාලාවක්‌ වූ අතර දෝෂ සහිත ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා ද වැය කර තිබූ මුදල අතිවිශාලය.

එමෙන්ම ගුරුවරුන්ට ස්‌ථාන මාරු කිරීම් නිර්දේශ කරන ගුරු මාරු මණ්‌ඩල පිළිබඳ තැකීමකින් තොරව ගුරුවරුන් මාරු කිරීම හා නිලධාරීන්ට ස්‌ථාන මාරු ලබාදීමද අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු මතු කිරීමට සමත්ව තිබිණි. ගුරුවරුන්ගේ සේවාස්‌ථ සැසි වෙනුවෙන් වැය කළ යුතු මුදල්ද වෙනත් කාර්යයන් සඳහා යොදවන ලද බවට ගුරු වෘත්තීය සමිති ද පෙන්වා දෙයි. ජයරත්න මහතා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්වී මාස පහක්‌ වැනි කෙටි කාලයකින් ගුරු විරෝධතා උද්ගත වූයේ මෙවැනි වටපිටාවකය. ගුරු විරෝධය කෙතරම් උග්‍ර වූයේද යත් පසුගිය ජුලි මාසයේ පැවැති විරෝධතාව අවසන් වූයේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ගේට්‌ටුවද ඉවතට විසි කර අමාත්‍යාංශ පරිශ්‍රයම එකම හිස්‌ ගොඩක්‌ බවට පරිවර්තනය වීමෙනි.

ජයරත්න මහතා සද්භාවයෙන් යමක්‌ කිරීමට උත්සාහ ගත්තේ වී නමුදු සාකච්ඡාවෙන් තොර විසම්මුතික මාර්ගයට පිවිසීමේ අවසානය වසරකුත් මාස දෙකක්‌ ඉක්‌ම යන විට අධ්‍යාපන ඇමැති ධුරයද අහිමි වීමය.

දැන් කේ.එච්. නන්දසේන මහතා පළාත් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස වැඩභාරගෙන සිටියි. අධ්‍යාපන හැන්ද යළිත් අනුරාධපුරයටය. පළාතේ ගුරුවරුන්, සිසුන් දෙමවුපියන් දැන් බලා සිටින්නේ ඒ හැන්දෙන් බෙදෙනායුරුය.

නිලන්ත මදුරාවල
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.