මරණවා යෑයි කියූ නිසා වාස්‌ මොරිසන්ගේ අත කඩයි

උඹගෙ කකුල්a දෙක කඩනවා, ඊළඟ බෝලෙ ඔළුවට දානවා කියල වසී අක්‍රම් හැම තිස්‌සෙම පිතිකරුවන්ට බනිනවා


ඔහුගේ වමත ශ්‍රී ලංකාවේ අංක එකේ වේග පන්දු යවන්නාගේ වමත බවට පත්විය. ටෙස්‌ට්‌ තරග 111 කදී කඩුලු 355 ක්‌ද ලකුණු 3089 ක්‌ ලබා ඇති මොහු එක්‌දින තරග 322 කදී කඩුලු 400 ක්‌ බිඳ දමා ලකුණු 2025 ක්‌ ලබා ඇති තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඒ ඔහුගේ ක්‍රිකට්‌ ඉතිහාසයයි. මේ සුපිරි තුන්ඉරියව් හපනා චමින්ද වාස්‌ය.

වසර 18 ක්‌ පුරා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම වෙනුවෙන් ඔහු කළ මෙහෙවර කොතෙකුදැයි කියා නිම කළ නොහැක. ඒ අතීතයේදී ක්‍රිකට්‌ පිටියේත් ඉන් එහාත් චමින්ද වාස්‌ අපූරු සිදුවීම් රාශියකට මුහුණ පාන්නට ඇත. ක්‍රිකට්‌ පිටියේ ආවේගශීලින්ගෙන් ඔහුට විටෙක මරණ තර්ජන පැමිණියේය. එය ක්‍රිකට්‌ පිටියට පමණක්‌ සීමා විය. අපි නොදන්න ක්‍රිකට්‌ ඔස්‌සේ චමින්ද වාස්‌ ඒ අතීතය නැවත සිහිපත් කළේ මෙසේය.

"මම මුලින්ම ජාතික කණ්‌ඩායමට එක්‌ වුණේ 1993 දී. එතකොට අපේ කණ්‌ඩායම ඉන්දියාව සමග ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලියකට සහභාගි වෙමින් හිටිය. නමුත් ඒ සංචිතයේ පළමු 15 දෙනා අතරට මම හිටියෙ නැහැ. පස්‌සෙ දුලිප් ලියනගේ ආබාධයකට ලක්‌ වුණ හින්ද මාව සංචාරයට නම් කළා කියල ක්‍රිකට්‌ ආයතනයෙන් දුරකථන ඇමතුමක්‌ දීල කිව්ව. ඒ වෙලාවෙ මට ගොඩක්‌ සතුටක්‌ දැනුනා ජාතික කණ්‌ඩායමට එක්‌වීමට ලැබීම ගැන."

"මගේ පළමු ජාත්‍යන්තර තරගය ඉන්දියාව සමග ක්‍රීඩා කරන්න ලැබුණා. ඒ තරගයට මාව නම් කළා කියල තරගයට පෙර දිනයේදීම දැන ගන්න ලැබුණා. ඇත්තටම මම කල්පනා කළා කොහොමද මේකට මුහුණ දෙන්නෙ කියල. එදා තරගය තිබ්බෙ නාග්පූර්වල. මම හිතන්නෙ 75000 ක්‌ විතර ඒ මැච් එක බලන්න ඇවිල්ල හිටියා. එක පාරටම මේ වගේ සෙනඟක්‌ ඉන්න තැනක ගිහිල්ල ක්‍රීඩා කරන්නෙ කොහොමද කියල මට පොඩි චකිතයක්‌ තිබ්බා. පස්‌සෙ කොහොම හරි මගේ පළමු තරගය නිසා මට තිබෙන පීඩනය අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට තේරුම් ගියා.

මැච් එක පටන් ගන්න ඉස්‌සෙල්ල අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම මට කිව්ව මල්ලි බය වෙන්න එපා ඔයා ඔයාගෙ රිදම් එකට සෙල්ලම් කරන්න කියල. ඒ ගොල්ලන් මාව දිරිමත් කරල පිට්‌ටනියට එක්‌කගෙන ගියා. හැත්තෑ පන්දහසක්‌ ක්‍රීඩාංගණයට ඇවිල්ල කෑ කෝ ගහනවා. එක එක සද්ද දානවා. මේ වගේ අත්දැකීමකට මම මුහුණ දුන්නෙ පළමු වතාවට. කොහොම හරි මම පළමු පන්දුව යෑවීමෙන් පසු ඒ පීඩනය නැති වුණා. ඊට පස්‌සෙ මම පන්දු ඕවර අටක්‌ යවල ලකුණු 40 කට එක්‌ කඩුල්ලක්‌ දවා ගත්තා.

ඉන්දියාවට එරෙහිව සිය පළමු ජාත්‍යන්තර තරගයට සහභාගි වීමෙන් පසු චමින්ද වාස්‌ ශ්‍රී ලංකාවට නැතිවම බැරි ක්‍රීඩකයෙක්‌ බවට පත්විය. ඔහු දිනෙන් දින පරිණත භාවයට පැමිණියේය. ලෝක ක්‍රිකට්‌ පිටියේ සුපිරි පන්දු යවන්නෙක්‌ බවට පත්විය. සෙසු රටවල ක්‍රීඩකයන් චමින්ද වාස්‌ කෙරෙහි නිරන්තරයෙන් ඇස යොමු කළහ. එහිදී චමින්ද වාස්‌ට පළමු තරග වලට කට කැඩිච්ච කතා නොකියූ ඇතැම් ක්‍රීඩකයෝ ඔහුව පසුකාලීනව කතාවෙන් මානසිකව වැට්‌ටවීමට උත්සාහ කළහ. එහෙත් වාස්‌ සිය මනස තරගය කෙරෙහිම යොදවා ගනිමින් සිය කාර්යයේ නියෑළී සිටීමට දක්‍ෂයෙක්‌ විය.

"මම හොඳින් පන්දු යවන විට පිතිකරුවන්ට බැට්‌ එකෙන් ගහගන්න බැරි පාර වාචිකව ප්‍රහාර එල්ල කිරීමට ගත්තා. ඒ සමහර දේවල් සඳහන් කරන්නත් බැහැ. කොහොමත් තරගවලදී ඒවා සාමාන්‍ය දේවල්. කෙන් රදෆර්ඩ් සහ නවසීලන්තයේ ෂේන් තොම්සන් කියන පිතිකරුවන් මට නිතරම බණින්න ගත්තා. මට ඉතිං තේරුම් ගියා මේ අය කොච්චර පීඩනයකින්ද මට මුහුණ දෙන්නෙ කියල."

"දවසක්‌ හරි අපූරු සිදුවීමක්‌ වුණා නවසීලන්තය සමග තරගයකදී. ඒ නවසීලන්තයේ ඩැනී මොරිසන් සමග. ඒ වෙලාවෙ මම පන්දුවට පහර දෙමින් සිටියේ. පන්දු යෑව්වේ මොරිසන්. ඔහු මට බවුන්සර් පන්දු දෙකක්‌ එක ලඟ දැම්මා. ඊට පස්‌සෙ මම ඔහුගෙ මූණ බලාගෙන ඉන්න කොට ඔහු ලඟට ඇවිල්ල කිව්වා මම උඹව අද මරණවා කියලා. පස්‌සෙ මම හිනා වෙලා නිකන් හිටියා. ඊට පස්‌සෙ ආයිත් ඇවිල්ල කිව්ව ඊළඟ බෝලෙ උඹගෙ ඔළුවට දාල අනිවාර්යෙන්ම මරණවා කියලා. මම කිව්වා උඹට පුළුවන්නම් කරල පෙන්නපන්, හැබැයි උඹ බැට්‌ කරන්න වරෙන් එතකොට මම උඹට කරන දේ කරලම පෙන්වන්නම් කියලා. මම හිතන්නෙ ඒ තරගය 1995 දී අපේ නවසීලන්තය සංචාරය. අපි විදේශයකදී දිනාගත්තු පළමු ටෙස්‌ට්‌ ජයග්‍රහණය වාර්තා වූ තරගය තමයි මේක.

නවසීලන්තය පරාජය වෙමින් ඉන්න එක වාවගන්න බැරිව තමයි ඩැනී මොරිසන් ඒ වගේ ආරවුලකට පැටලුනේ. පස්‌සෙ කොහොම හරි මොරිසන් බැට්‌ කරන්න එන කොටම පන්දු යවමින් හිටියෙ මම. මම පළමු පන්දුවම දැම්ම ඔහුගෙ අතේ වදින්න. ඔහු ඉතාමත් වේදනාවෙන් ක්‍රීඩාගාරයට ගියා. කොහොම හරි මට පස්‌සෙ දැන ගන්න ලැබුණා ඒ බෝලෙ වැදුන එකෙන් මොරිසන්ගෙ අතේ පිපිරීමක්‌ සිදුවෙලා මොරිසන්ට තරගාවලියෙන් ඉවත් වෙන්න සිදු වුණා කියලා. මේ වගේ දෙවල් ගොඩක්‌ වෙලා තියෙනවා. පාකිස්‌තානයේ වසීම් අක්‍රම් නිතරම ආවේගශීලි පන්දු යවන්නෙක්‌. ඔහු හැම වෙලාවෙම පිතිකරුවන්ට බණිනවා. ඔහු හැම තිස්‌සෙම කියනවා උඹගෙ කකුල් දෙක කඩනවා. ඊළඟ එක ඔළුවට දානවා කියලා. එක බෝලයක්‌ ඇඟේ වැදුණොත් තව එකක්‌ දානවා වගේ වචන ඔහු කියනවා."

1996 දී චමින්ද වාස්‌ සහභාගි වූ පළමු ලෝක කුසලාන තරගාවලියම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නව මාවතට ගෙන ගිය එම ජයග්‍රාහී තරගාවලියට ප්‍රවිශ්ට වීමේ ආරම්භය වාස්‌ගේ මතකය අනුව යමින්,

"මම හිතන විදිහට අපේ ලෝක කුසලාන ජයග්‍රහණයේ ආරම්භය ඇතිවුණේ 1995 දී ඔස්‌ටේ්‍රලියානු සංචාරයේදී. එම සංචාරයේදී මුරලිදරන් පන්දුව දමා ගසන්නෙක්‌ බවට ඩැරල් හෙයාර් විනිසුරු සංඥ කළා. එතනදී අපේ නායක අර්ජුන රණතුංග ඉතාමත් නොබියව ක්‍රියා කරපු ආකාරය සහ කණ්‌ඩායමක්‌ ලෙස අපි ගොඩක්‌ එකට හිටියා. ඒ සංචාරය අපි හොඳට ක්‍රීඩා කළේ නැති වුණත් අපේ කෙනෙකුට නිර පරාදෙ චෝදනා කරන්නේ ඇයි ඒ වෙනුවෙන් අපි එකට ඉන්නවා කියන මානසිකත්වය හැමෝ ලඟම තිබ්බා. එතනින් ආපු පන්නරය තමයි 96 ලෝක කුසලාන ජය ගැනීමේ ආරම්භය වුණේ."

"අපිට ඇත්තටම 96 ලෝක කුසලාන තරගාවලියට යන කොට මේ යන්නෙ ලෝක කුසලාන තරගාවලිය දිනන්නම ඕන කියල පීඩනයක්‌ තිබ්බෙ නැහැ. අපි කණ්‌ඩායමක්‌ ලෙස උත්සාහ කළේ තරගයෙන් තරගයට සැලසුම් සකස්‌ කිරීම විතරයි. අපි ඒ තරගාවලියම ඉතාමත් සැහැල්ලුවෙන් තමයි අවසන් තරගය තෙක්‌ ක්‍රීඩා කළේ. ක්‍රීඩකයන් එකිනෙකා අතර විශ්වාස උපරිමය තිබ්බා. ලෝක කුසලාන අවසන් තරගයට ඉස්‌සල්ල තිබුණ කණ්‌ඩායම් හමුවේදීත් අර්ජුන අයියා කිව්වෙ හැමෝම සාමාන්‍ය ක්‍රීඩා කරන විදිහට ක්‍රීඩා කරන්න, අනවශ්‍ය කලබලයක්‌ ඇති කරගන්න ඕන නැහැ කියලා. ඒ ගහපු එකළොස්‌ දෙනා අතර හොඳ අවබෝධයක්‌ තිබ්බා. කොයිම වෙලාවකවත් මෙයාගෙ ඩියුටිය කළේ නැහැ කියල කවුරුවත් කාටවත් ඇඟිල්ල දිගු කළේ නැහැ. අපිටත් අවසන් තරගය කියල කිසිම පීඩනයක්‌ තිබ්බෙ නැහැ. කොහොම හරි අවසන් තරගයේදී ෂේන් වෝන් අර්ජුන අයියත් එක්‌ක පොඩි වචන හුවමාරුවක පැටලුණා. ඒකත් වෝන්ට පරාජය දරා ගන්න බැරිව තමයි එහෙම වුණේ. ඇත්තටම අපි ලෝක කුසලාන දිනල ලංකාවට ආවහම තමයි මේ මොකක්‌ද අපි කළේ කියල තේරුණෙ. ලංකාවට ඇවිල්ල ගුවන් තොටුපොළට බැහැල එද්දි හිටපු සෙනඟ දැක්‌කහම අපි ලොකු දෙයක්‌ කරල ආව කියන හැඟීම දැනුණා. "

"මම ගොඩක්‌ ලෝක කුසලාන තරගාවලි සෙල්ලම් කරල තියෙනවා. හැබැයි 96 තරගාවලියට වැඩිය අනිත් තරගාවලි වෙනස්‌. මොකද අපි ආපු අනිකුත් ලෝක කුසලාන අවසන් මහා තරගවලදී ක්‍රීඩකයන්ට ගොඩක්‌ පීඩනයක්‌ තිබ්බා. මේක දිනන්නම ඕන කියල. යාළුව එස්‌.එම්.එස්‌. කරනවා. පාරට බැහැල යනකොට ආ ඔයගොල්ලන් දිනන්නද යන්නෙ කියල අහනවා. හැමෝටම දිනන්නම ඕන කියන පීඩනය ඇතිවෙනවා. ඒ වගේ නොයෙකුත් පීඩන තියෙනවා. නමුත් 96 දී එහෙම කිසිම පීඩනයක්‌ තිබුණෙ නැහැ."

පළමු පන්දුවෙන් කඩුලු දවා ගන්නා රුසියෙක්‌ බව බොහෝ දෙනා පවසනවා.,

"මම මොකක්‌ හරි වාර්තාවක්‌ තිබ්බහම කට්‌ටිය ඇවිල්ල කියනවා ආ වාසි නියම වැඩක්‌ කළා කියලා. මම කියන්නෙ ඒ වාර්තා තියන්න ශක්‌තිය දෙවියන්ගෙන් ලැබුණ දෙයක්‌ කියලා. මම කොහොමත් නිතරම එක එල්ලයට පන්දු යවන්න කැමැතියි. ඒකෙ ප්‍රතිඵලයක්‌ උඩ ගොඩක්‌ වෙලාවට පළමු පන්දුවාරයේදීම කඩුලු ලබාගන්න පුළුවන් වුණා."

"මම හිතන්නෙ අපි කවුරුවත් ලෝක වාර්තා බලාගෙන ක්‍රීඩා කරන්නෙ නැහැ. මට මතකයි අස්‌ගිරියෙ තිබුණ ටෙස්‌ට්‌ තරගයකදී මුරලිදරන්ට එක ඉනිමක කඩුලු 10 ම ලබා ගන්න අවස්‌ථාවක්‌ උදා වුණා. ඔහු ඒ වෙනකොට කඩුලු 9 ක්‌ අරගෙන තිබුණෙ. ඒත් අවසන් කඩුල්ල මුරලිට ගන්න බැරි වුණා. පස්‌සෙ නායකයා මට කිව්වා බෝල් කරන්න කියල. මම කිව්වා මට බැහැ වෙන කෙනෙකුට දෙන්න කියලා. පස්‌සෙ මුරලි කිව්වා මට විකට්‌ දහය ගන්න ඕන නැහැ උඹ බෝල් කරල කොහොම හරි ඉක්‌මනට විකට්‌ එක අර ගන්න කියල. මම පන්දුව පිතිකරුවට ගොඩක්‌ එළියෙන් පතිත කළේ. ඒත් වෙලාවටම පිතිකරුවා එළියෙන් යවපු පන්දුවකට බැට්‌ එක දාල උඩපන්දුවක්‌ දීල අවුට්‌ වුණා. කොහොමත් මුරලිදරන් පන්දු යවන විට ඔහු ඉල්ලන්නෙ අනිත් පැත්තෙන් බෝල් කරන්න මාව. එතකොට මුරලිට කඩුලු ලබාගන්න පහසුයිලු."

ලබන සතියට....

සනත් ජයසූරිය ඩැරල් හාපර්ට කරපු විහිළුවට අවුට්‌ එක ලැබුණෙ නැති හැටිත් වාස්‌ගේ ක්‍රිකට්‌ දිවියේ දුක්‌ බරම අවස්‌ථාව .....

අසේල විතාන
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.