කළු තොප්පිකාරයන් වැඩ කාරයන්ය. ඒ රග්බි පිටියේදීය. ක්‍රිකට්‌ පිටියේදීත් කළු තොප්පිකාරයන් යලට මහට මෙන් වැඩදමන්නේය. මේ දිනවල ක්‍රිකට්‌ ගසන කළු තොප්පිකාරයන් බංග්ලාදේශයේදී නන්නත්තාර විය. එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් ඔවුන් සිංහ කටට රිංගා තිබේ. මේ ගොදුර සිංහයන්ට පහසුවෙන් අනුභව කිරීමට හැකිවේද?

සුදු හම ඇති නවසීලන්ත ක්‍රීඩකයෝ කළු තොප්පිය හිස මත දරා ගෙන අද (10 දා) සිට ශ්‍රී ලංකාව සමග ගැටෙති. ඒ සටන එක්‌දින තරග තුනකින් සහ විස්‌සයි විස්‌ස තරග දෙකකින් සමන්විතය. සටන ඇරඹීමත් සමග මාස කිහිපයක ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ විවේකය ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළිත් සුපුරුදු කාර්ය බහුල ජාත්‍යන්තර තරග පිටියට පිවිසෙනු ඇත.

නවසීලන්ත කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ බංග්ලාදේශය සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් සහ එක්‌දින තරගාවලිය 3-0 ක්‌ ලෙස පරාජය වීමෙන් අනතුරුවය. අදාළ ජයග්‍රහණයත් සමග බංග්ලාදේශය (83) ජාත්‍යන්තර එක්‌දින ශ්‍රේණියේ නවසීලන්තයට (84) වඩා ලකුණක්‌ පමණක්‌ පසුපසින් සිටියි. බංග්ලාදේශ සංචාරයේදී විස්‌සයි විස්‌ස තරගය පමණක්‌ ජය ගැනීමට නවසීලන්තය සමත් වීම නියගයට පොඳ වැස්‌සක්‌ බඳු විය.

ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි (111) ස්‌ථානයේ සිට නවසීලන්තය සමග එක්‌දින තරගාවලියට මුහුණ දෙන අතර මෙම තරගාවලිය 3-0 ක්‌ ලෙස ජය ගතහොත් ශ්‍රී ලංකාවට එම ශ්‍රේණියේ තෙවැනි ස්‌ථානය හෝ දෙවැනි ස්‌ථානයට ළඟා වීමට වැඩි අවස්‌ථාවක්‌ පවතී. මේ වන විට එංගලන්ත කණ්‌ඩායමද ලකුණු 111 ක්‌ ලබා ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්‌ථානයට පත්ව තිබේ. ශ්‍රී ලංකාව ජය ගතහොත් නවසීලන්තය පළමු වරට බංග්ලාදේශයට වඩා එක්‌දින ශ්‍රේණියේ පල්ලම් බසිනු ඇත.

බංග්ලාදේශයේදී පරාජය වූ නවසීලන්ත කණ්‌ඩායම ශ්‍රී ලංකාව සමග තරගාවලියේදී ශක්‌තිමත් කණ්‌ඩායමක්‌ නිර්මාණය කරනවා වෙනුවට ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් ගෙදර හිඳවා ශ්‍රී ලංකා සටනට සහභාගි වීම එක්‌තරා හාස්‍ය උපදවන කරුණකි. එළැඹෙන නවසීලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්‌ට්‌ තරගවලිය ඉලක්‌ක කරමින් නිත්‍ය නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ හිටපු නායක රෝස්‌ ටේලර් එසේ විවේක ගන්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉකුත් සති කිහිපයේදී ලැබුණු විවේකය ක්‍රිකට්‌ වලින් ඈත් වීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන් දෙකට බෙදා පුහුණු තරග දෙකක්‌ පැවැත්වීය. එම පුහුණුවෙන් සන්නද්ධව ජාත්‍යන්තර ශ්‍රේණියේ ඉහළ නැගීම සහ තරගාවලිය ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායම සටන අවතීර්ණ වන්නේ නවසීලන්තයට වඩා කායික සහ මානසික වාසියද සමගිනි.

නවසීලන්ත නඩයට රෝස්‌ ටේලර් සහ බ්‍රෙන්ඩන් මැකලම් නොමැති වුවද ඕනෑම අවස්‌ථාවක සටන් කර ජයග්‍රහණ ලබාගත හැකි කණ්‌ඩායමක්‌ බැවින් කිසිදු විටක ඔවුන්ව අවතක්‌සේරුවට ලක්‌ නොකරන බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ අවධාරණය කර සිටියි.

නවසීලන්ත ක්‍රීඩක දක්‍ෂතාවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකා බලඇණිය හොඳට පදම් වී ඇති අතර එහිදී දෙරට අතර එක්‌දින තරගවලදී ලකුණු දහස ඉක්‌මවා සිටින පිතිකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු වන මහේල සහ සංගක්‌කාර නවසීලන්ත කණ්‌ඩායමට හිසරදයක්‌ වනු ඇත. මහේල මේ වන විට නවසීලන්තයට එරෙහිව තරග 39 කදී ලකුණු 1001 ක්‌ද සංගක්‌කාර තරග 36 කදී ලකුණු 1058 ක්‌ද ලබා සිටියි.

ඉකුත් ශ්‍රී ලංකා 'ඒ' තරගාවලි කිහිපයේදී දක්‍ෂතා දැක්‌වූ දිමුත් කරුණාරත්න සහ අශාන් ප්‍රියංජන ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌කර ඇති අතර ඔවුන්ගේ ස්‌ථානය තහවුරු කර ගැනීම සඳහා නවසීලන්ත තරගාවලිය වැදගත් තෝතැන්නක්‌ වී තිබේ.

මෙම වසරේදී එක්‌දින තරග 22 කට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව ඉන් 11 ක්‌ ජය ගෙන 9 ක්‌ පරාජය වී තරග දෙකක්‌ නොවිසඳුම් තරග ලෙස අවසන් කර ගෙන තිබේ. නවසීලන්ත කණ්‌ඩායම ඉකුත් මාස 10 ක කාලයේදී සහභාගි වූ එක්‌දින තරග 15 කදී ජය ගෙන ඇත්තේ තරග හයක්‌ පමණි. අටක්‌ පරාජය වී තිබේ. ගෙවී ගිය මාස 10 තුළදී ලොව වැඩිම එක්‌දින තරග සංඛ්‍යාවකට සහභාගි වී ඇති ඉන්දියාව තරග 28 කදී ජයග්‍රහණ 20 ක්‌ ලබා තිබීම විශේෂත්වයකි.

දෙරට අතර මෙතෙක්‌ පැවැති එක්‌දින තරගාවලි පහකදී ශ්‍රී ලංකාව තෙවරක්‌ ජය ගෙන ඇති අතර නවසීලන්තය දෙවරක්‌ ජය ගෙන තිබේ. අතීත දක්‍ෂතා කෙසේ වාර්තා පොත්වල ලියවුණද මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ ප්‍රබල අභියෝගයක්‌ තිබේ. ඒ බංග්ලාදේශයේදී නන්නත්තාර වූ නවසීලන්තය කණ්‌ඩායම ශ්‍රී ලංකාවේදීද නන්නත්තාර කර දැමීමේ අභියෝගය වේ. නවසීලන්තය හමුවේද අභියෝගයක්‌ නිර්මාණය වී තිබේ. ඒ බංග්ලාදේශයේදී ලද අවමානය ශ්‍රී ලංකාවේදී ගලවා ගැනීමටය. අදාළ අභියෝග ජය ගන්නේ කවුරුන්ද යන්න තවත් දින කිහිපයකින් තීරණය වනු ඇත.

අසේල විතාන
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.