ෆන් එකට 'ස්‌ලෑෂර්'
චිත්‍රපටයක්‌ වූ අලුත් ක්‍රිකට්‌ යුගය


'ටෙන් ස්‌පෝට්‌' චන්ද්‍රිකා රූපවාහිනි ජාලාවේ ප්‍රධාන විධායක සයීඩ් නුරානියා 2011 ජනවාරි මස දිනෙක ඩුබායි මාධ්‍ය නගරයේ සිය ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් පිරිසක්‌ අමතා කතාකරමින් සිටියේය. කතාවේ තේමාව ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අනාගතය යන්නයි. අප ආශා කළ, පෙර දින සන්සුන් ලෙස ගලාගිය, බ්‍රිතාන්‍යන් අතින් පාලනය වුණු, 'ටෙස්‌ට්‌ ක්‍රීඩාව' මුල්කරගත් ක්‍රිකට්‌ දැන් ඉතිහාසයට අයිති වී ඇති බව ඔහු කීවේය. 'හෙට දින ලීගයන් ලොව රජකරාවි. ඉන්දියානු ක්‍රිකට්‌ ආධිපත්‍යයට අත තියන්න වෙන කිසිම රටකට පුළුවන්වෙන එකක්‌ නෑ'යි ඔහු කීවේ සිය සංවාදය අවසන් කරමිනි. සම්භාව්‍ය ක්‍රිකට්‌ ක්‍රීඩාව නවමු යුගයකට ප්‍රවිශ්ට වී තිබේ. දැන් ඉතින් හඬන උන් හඬාපල්ලා, සිනාසෙන උන් සිනාසියල්ලා·

විස්‌සයි - විස්‌ස තරග ආකෘතිය හඳුන්වාදී වසර දහයක්‌ යැමට මත්තෙන්ද, අයි පී එල් තරගාවලිය ඇරඹී වසර අටක්‌ යැමට මත්තෙන් ද මෙම නව ක්‍රිකට්‌ ක්‍රීඩාව සිය අක්‌ මුල් සැමතැන විහිදුවා අවසන්කොට ඇතුවා සේය. සමහර ක්‍රීඩා විශ්ලේෂකයන් මෙය ක්‍රිකට්‌ ක්‍රීඩාවේ 'පශ්චාත් නූතන යුගය' ලෙස හඳුන්වති. පිතිකරණයේ සිට ක්‍රීඩක මනසේ සොබාවයත්, තරග නරඹන්නන්ගේ සම්බන්ධයේ සිට ක්‍රීඩා පරිපාලකයන්ගේ කාර්යභාරයත්, රූපවාහිනි විකාශයේ සිට බුකීකරුවාගේ මැදිහත්වීම දක්‌වාත් වූ මේ සියලු පරාසයන් තුළ මේ 'නව යුගයේ' පරාමිතීන් අපට දැකිය හැකි වේ. ජාතිය ඉදිරියට දමා, කෙළින් පිත්ත හසුරුවමින්, තෘප්තිය උදෙසා තරගවැදී බස්‌ එකේ ගෙදර ගිය අර්ජුන රණතුංග දක්‌වා ක්‍රිකට්‌ පරම්පරාවට අනුව නම් මේ ගැයෙන්නේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ හංස ගීතයයි.

සම්භාව්‍ය ක්‍රිකට්‌ රසිකයාට අද අපි දකින පිතිකරණය හොලිවුඩ් අත් - පා කපන 'ස්‌ලෑෂර්' චිත්‍රපටයක්‌ මතකයට නංවයි. ක්‍රීඩකයා ක්‍රීඩකයෙක්‌ නොව ආවේශවූ සටන් නළුවකු සේය. ප්‍රේක්‌ෂකයා 'ෆන්' ගන්න 'සෙට්‌' වී ඇත. සජීව තරග විකාශය බොලිවුඩ් චිත්‍රපටයක්‌ වැනි පෙළක්‌ සහිත නාටකයකි. ක්‍රිකට්‌ ජාතික පාලක මණ්‌ඩල ලාභ උපයන කොම්පැණි කිහිපයක්‌ බවට පත් වී ඇත. රාගධාරී, සම්භාව්‍ය ක්‍රිකට්‌ ගීතයම දැන් මෙටලික්‌, රොක්‌, හිපොප් 'රීමික්‌ස්‌' එකක්‌ කීවාට වරදක්‌ නැත. ක්‍රිකට්‌ නම් 'බඩුව' කාදමා සියලු දෙනා නටපල්ලා, ගයපල්ලා, වයපල්ලා... පසුව ගෙදර පලයල්ලා. ඉතිරිවනු ඇත්තේ හිස්‌කම පමණි.

මේ නවමු ක්‍රීඩාවට ලංකාව තුළ නම් ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ගත් කල සරලම උදාහරණය සපයන්නේ ලසිත් මාලිංගය. ඔහු දක්‍ෂ ක්‍රීඩකයකු මෙන්ම අති දක්‌ෂ විලාසිතා මවන්නෙකි. ඔහු 'ශ්‍රී ලාංකික' මෙන්ම 'මුම්බායි ඉන්ඩියන්ස්‌' ද වේ. එමෙන්ම ඔහු ජාතික ක්‍රීඩකයකුට වඩා ක්‍රිකට්‌ කර්මාන්තය තුළ රස්‌සාවට ක්‍රිකට්‌ ගසන්නෙකි. 'මුකුත් නැතිකෙනා' 'යමක්‌ - කමක්‌ ඇති කෙනා' බවට පත් කිරීමට ක්‍රිකට්‌ ක්‍රීඩාවට දැන් ඇති ශක්‍යතාවය හේතුවෙන් 'මාලි' 'පොරක්‌' වී ඇත. ඔහු තමන්ගේ මෝඩ කතා නිසා ඇතිවෙන්න බැනුම්ද අසති. මේ අලුත් ක්‍රමයට අවශ්‍ය ඔහු වැනි ක්‍රීඩකයන්ය. ක්‍රීඩාවෙන් ජාතික වීරයන් වනවාට වඩා 'හැකිදා කඳ බඩ වඩා ගැනීම' උතුම් බව මොවුන් අදහන බව පෙනේ.

කුමාර සංගක්‌කාර මීට වඩා සංකීර්ණ උදාහරණයකි. ඔහු රටකට පහළවන දුලබ මැණිකකි. සමහරවිට අපේ යුගයේ ශ්‍රී ලංකාවට ගසන දියුණුම, බුද්ධිමත්ම, උසස්‌ම හා සංවරම මහත්මයා ඔහු වීමට පුළුවන. නමුත් අවාසනාවක මහත· කඩවසම් හා හුරුබුහුටි ලෙස ඔහු කරන්නේත් මාලිංග කරන වැඩේමය. රළු ලෙස කිවහොත් මාලිංග ගහේ යන්නේත්, යවන්නේත් නොදැනයá නමුත් සංගක්‌කාර එය කරන්නේ ඉතා සවිඥනවකය. ඔහු ක්‍රිකට්‌ සාරය ගැන කතා කරමින් අයිපීඑල් ගසයි. ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ උඩ දමා කතාකරමින්ම ලීග් තරග වෙත දිවයයි. ළමුන්ටත් බණ කියන ඔහු විවාදාත්මක, වැරදි සහගත වෙළෙඳ නිපැයුම් රට පුරා ප්‍රචාරණය කරයි. මෙවැනි චරිතවලට අප දන්නා හොඳම නම 'කුහකයා' යන්නයි. ගඳ ගසන ක්‍රමය තුළම වැජඹෙමින් සංගක්‌කාර මල් මල් කතා කියන්නට තැත් කරන බැවින් ඔහු ලසිත්ට වඩා ව්‍යාකූල චරිතයකි.

සමාජ දැනුම අල්ප බව පෙනෙන හා තමාට සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන දුරවබෝධයක්‌ සහිත, ළාමක ඉන්දියානු ක්‍රිකට්‌ රසික වෙළෙඳපොළ තිබෙනතාක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නව යුගය තව තවත් දික්‌වනු ඇති. ක්‍රිකට්‌ හුදු රසවින්දන මාධ්‍යයක්‌ පමණක්‌ ලෙස වැජඹෙනු ඇති. මේ ලසිත්ලාගේත් කුමාරලාගේත් කාලයයි. හොරුන්ගේ, තරග පවා දෙන්නන්ගේ, බුකීකරුවන්ගේ හා දූෂිත පරිපාලකයන්ගේ නිවස තුළ අති දැවැන්ත ක්‍රිකට්‌ ක්‍රීඩාව කුඩා සුරතලකු වන කාලයයි. ක්‍රිකට්‌ හා බැඳුණු අනභිභවනීය ජාතික ව්‍යාපෘති සියල්ල දැන් අවසානය. එය තුළ තවදුරටත් දැන් සුදු - කළු, බටහිර - ආසියානු, පෙරදිග - අපරදිග, ඇති - නැති බේදයන් නොවේ. එනිසාම අපට ආත්මීයව බැඳීමට කිසි රසක්‌ද එහි ඉතිරිව නැත. ක්‍රිකට්‌ 'රීමික්‌ස්‌' එක අසා 'සෙට්‌' වෙලා 'ෆන් එකක්‌' ගැනීම පමණක්‌ මේ යුගයට අයිති කාර්යයයි.

අඩුපාඩු මැද වුව අර්ජුන රණතුංග වැනි ස්‌වල්ප දෙනකු මේ ෙ€දවාචකය හැඳින ඒ ගැන කතා කරනු පෙනේ. ප්‍රශ්නය ඇත්තේ වෙනස්‌වීම තුළ නොවේ. එය නොනවතින ප්‍රවාහයකි. නමුත් මිනිස්‌ සමාජයේ සදාතනික සාරයන් වෙත ක්‍රිකට්‌ මගින් කරනු ලැබූ ආමන්ත්‍රණය දැන් අවසන් බව පෙනේ. අර්ජුනගේ හඬින්ම තව තවත් හොඳ මිනිසුන් හඬගෑ යුතුව ඇත.

රේවත එස්‌. සිල්වා
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.