වන්දි ගෙව්වත් හිරේ

කලින් කලට අපූරු නඩු හා නඩු තීන්දු අපට අසන්නට ලැබේ. සාධාරණ අසාධාරණ භාවය හෝ හරි වැරැද්ද කෙසේ වෙතත් එවැනි දේ පිළිබඳව බොහෝ දෙනාගේ වැඩි අවධානය යොමුවන්නේ මෙවැනි නඩු හෝ නඩු තීන්දුවල පවතින යම් විශේෂතා නිසාය.

පහරදී තුවාල සිදු කිරීමක්‌ සම්බන්ධයෙන් දෙපාර්ශවයක්‌ අතර තිබූ නඩුවක්‌ වන්දි මුදලක්‌ ලබාදී සමථයකට පත්කර ගැනීමට යැමේදී සිදුවූ අපූරු පුවතක්‌ පසුගියදා අසන්නට ලැබිණි. සාමාන්‍යයෙන් අප දැක තිබෙන්නේ මෙවැනි නඩු විභාගයන් වලදී අදාළ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුණොත් හෝ වෙනත් හේතූන් මත වැරදිකරුවන් නැවතත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන අයුරු වුවත් මෙම නඩුවේදී සිදු වූ යේ ඊට හාත්පසින්ම වෙනස්‌ වූ සිදුවීමකි. එම නිසාම පසුගියදා මාරවිල දිසා අධිකරණයේදී විභාගයට ගැනුණු මෙම නඩුව කාගේත් විමතියටත් කතාබහටත් ලක්‌වන්නක්‌ විය.

2009 වර්ෂයේ දිනෙක පස්‌ කැපීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් දෙපාර්ශවයක්‌ අතර කඩු පොලු ආදිය භාවිත කරමින් ඇතිවූ ගැටුමකින් අනතු=රුව එය අවසන් වූයේ ගැටුමට සම්බන්ධ දෙපාර්ශවයේ හතර දෙනෙක්‌ රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. එහිදී තරමක්‌ බරපතල ලෙස තුවාල ලැබූ පාරංගොඩ, නාත්තණ්‌ඩිය ප්‍රදේශයේ පදිංචි සමරසිංහ ආරච්චිගේ දුමින්ද කමලසිරි යන අය තමන්ට මෙහිදී අසාධාරණයක්‌ සිදු වූවා යෑයි පවසමින් අධිකරණයේ නඩුවක්‌ ගොනුකර තිබේ. අප මුලින් කී අපූරු සිදු වීම වන්නේ මෙම නඩුව දෙපාර්ශවයේ කැමැත්ත මත වන්දි මුදලක්‌ දී සමථයකට පත්කර ගැනීමට යැමේදීය.

මුලදී පැමිණිලි පාර්ශවය විසින් මෙම නඩුව සමථයකට පත්කර ගැනීමට නම් තමන්ට ලක්‍ෂ විස්‌සක වන්දි මුදලක්‌ අවශ්‍ය බව ප්‍රකාශ කර සිටියද පසුව එය නීතිඥවරුන්ගේ මාර්ගයෙන් ලක්‍ෂ දෙක දක්‌වා අඩුකර ගැනීමටත් ඔවුන් එකඟ වී තිබේ.

පසුගිය හතරවැනිදා මාරවිල දිසා අධිකරණයේදී අදාළ වන්දි මුදල ගෙවා නඩුව ඉවත්කර ගැනීමට යැමේදී නැවතත් ගැටලු සහගත තත්ත්වයක්‌ මතුවූයේ විත්තිකරුවන් විසින් රුපියල් ලක්‍ෂ දෙකක මුදලක්‌ රුපියල් විස්‌සේ කොළවලින් රැගෙන ඒමත් සමඟය. මෙහිදී විත්තිකරුවන් වූ අසංක සංජීව කරුණාරත්න, මල්ලව තන්ත්‍රිගේ ආනන්ද පෙරේරා, මල්ලව තන්ත්‍රිගේ කුමාරසිරි පෙරේරා සහ අයගෙන් දෙදෙනෙක්‌ උසාවි භාරයේ සිටියදී එක්‌ අයෙකුට ගොස්‌ මෙම රුපියල් ලක්‍ෂ දෙකක්‌ වන වන්දි මුදල ගණන් කිරීමට පහසු අයුරින් රුපියල් පන්දහස වැනි ඉහළ අගයකින් යුතු නෝට්‌ටු වලින් රැගෙන ඒමට මාරවිල දිසා විනිසුරු මහෙස්‌ත්‍රාත් ධම්මිකා ඉලංගසිංහ මහත්මිය දන්වා සිටි අතර නඩුව එදින පස්‌වරුවේ විභාගයට ගැනීමට නියම කරන ලදී. නැවතත් පස්‌වරුවේ මෙම නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදීද ගැටළු සහගත තත්ත්වයක්‌ මතු වුණේ මුදල් රැගෙන ඒමට ගිය පුද්ගලයා එම මුදල රුපියල් සියයේ හා පනහේ නෝට්‌ටු වලින් රැගෙන ඒම නිසාය. ලක්‍ෂ දෙකක්‌ වැනි මුදලක්‌ මෙවැනි කාර්ය බහුල වේලාවක පනහේ හෝ සියයේ නෝට්‌ටුවලින් ගණන් කර බැලීමද ගැටලු සහගතය.

එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් උසාවියට අපහාස කිරීම හා අපහසුතාවට පත්කිරීම යන චෝදනා මත මෙම නඩුවේ විත්තිකරුවන් තිදෙනාම රිමාන්ඩ් භාරයේ තැබීමට විනිසුරුවරිය නියෝග කරන ලදී. එහිදී නැවතත් නීතිඥවරුන්ගේ මැදිහත් වීමෙන් කරුණු පැහැදිලි කිරීමක්‌ සිදු වූ අතර මෙම විත්තිකරුවන් ප්‍රදේශයේ පලතුරු වෙළෙ¹මේ යෙදී සිටින අය බවත් ඔවුන්ගේ වෙළෙඳ සල්වල හා මේ ව්‍යාපාරයේදී භාවිත වන්නේ මෙවැනි කුඩා ප්‍රමාණයේ මුදල් නෝට්‌ටු බවත් පෙන්වා දී තිබේ. එම තොරතුරු සැලකිල්ලට ගනිමින් විත්තිකරුවන්ගෙන් දෙදෙනකු මුදාහැර මල්ලව තන්ත්‍රිගේ ආනන්ද පෙරේරා නමැත්තා පමණක්‌ නොවැම්බර් දහඅට වැනිදා වන තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

රංග

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.