ශ්‍රී ලංකාවේ රොඩී ජනයා

සුනිල් කුමාරසිංහ අතුකෝරල

athukorala128@gmail.com

සමාජ - ජීව විද්‍යාත්මක මානව විද්‍යාව (sociobiological Anthropology) ජීවවිද්‍යාව, ජාන වැනි දෘෂ්ඨීන් පදනම් කර ගෙන මිනිසාගේ චර්යා රටාව විශ්ලේෂණය කිරීම සිදු කරයි. මිනිසා විසින් හුවමාරු කරගත් සමාජ චර්යා සඳහා සමාජ මානව විද්‍යාඥයෝ වැඩිපුර උනන්දු වේ. නිදර්ශන වශයෙන් සෑම මිනිසෙකුම සන්නිවේදන කටයුතු සඳහා භාෂාවක්‌ යොදා ගන්නා නමුදු විවිධ සංස්‌කෘතීන්වල කේවල පුද්ගලයන් විවිධ භාෂාවන් භාවිතා කිරීමට පුළුවන.

රොඩී ජනයා සම්බන්ධව අධ්‍යයනය කළ දෙස්‌ විදෙස්‌ විද්වත්හු වෙනම ජීවත් වුණු කණ්‌ඩායමක්‌ හැටියට ඔවුන්ගේ සමාජ ආර්ථීක කරුණු රාශියක්‌ සමාජයට දායාද කර ඇත. ඇම්. ඩී. රාඝවාන් මහතා "Handsome beggars" The story of the Ceylon Rodiya" කෘතිය රචනා කරමින් රොඩී ජනයා ගේ ප්‍රභවය, කණ්‌ඩායම් වශයෙන් විසිරීම හා එහි ස්‌වභාවය, සමාජ ජීවිතයේ ස්‌වභාවය, ලිංගික ජීවිතය, කලාව, ආගම සහ රොඩී සමාජයේ වෙනස්‌කම් පිළිබඳ සමාජාවධානයට ලක්‌ කර ඇත. එච්. පාකර් මහතා, ‘Ancient Ceylon' කෘතිය මඟින් සහ එච්. නෙවිල් මහතා Taprobanian The Janavansa - April - 1886. Vol- I කෘතියෙහි රොඩී කුලයේ ප්‍රභවය, සාමාජික රටාව පිළිබඳවත් භාෂාවේ ලක්‌ෂණ පිළිබඳවත් දීර්ඝ විස්‌තරයක්‌ ඉදිරිපත් කර ඇත. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් රචිත," Sarvodaya and The Rodiys"කෘතිය විශේෂත්වයක්‌ ගන්නේ, බිංගිරිය ඡන්ද කොට්‌ඨාසයේ, කනතොලුව ගම ආශ්‍රිතව ලියන ලද පර්යේෂණ ග්‍රන්ථයක්‌ නිසා ය. මෙම රොඩී ගම මුල් කරගෙන මානාව, වඳුරැස්‌ස මාඑළිය, යන රොඩී ගම්මාන පිළිබඳව ද සිය කෘතියෙන් විමසනු ලබයි.

මෙහි අවධානය යොමු කරන්නේ, සර්වෝදය ව්‍යාපාරය හා රොඩී ගම්මානය, රොඩී ජනයා ගේ ජීවන පද්ධතිය, සමාජ ආර්ථීක ජීවිතය, හා කනතොලුව ගමේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන කටයුතු ආදිය පිළිබඳවයි. කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්ද්‍රසිරි රාජපක්‌ෂ සූරීන්, රොඩී ජනයා පිළිබඳ නූතන විෂය ධාරාවට ගැනෙන ජනමාධ්‍ය විෂය ක්‌ෂේත්‍රයට අදාළ වන පරිදි රොඩී ජනයා කුඩා කණ්‌ඩායමක්‌ වශයෙන් සංවර්ධනයක්‌ ඇති කිරීම පිණිස ජනමාධ්‍ය භාවිත කළ හැකි ආකාරය පර්යේෂණයට භාජනය කර ඇත.

වර්තමාන ලංකාවේ, චණ්‌ඩාලයින්ගේ තැන රොඩී මිනිසුන් ගෙන ඇත. (එච්. නෙවිල්, The Taprobanian, ජූනි 1886. පි.88, 1887, අගෝස්‌තු, පි. 108) රොඩී මිනිසුන් පිළිබඳව අප දන්නා දෙය ඉතා සිත් ගන්නා සුලුය. මොවුහු දිවයිනේ සෑම පළාත්වල ම වෙන් වූ ගම්වල වෙසෙති. කලින් චණ්‌ඩාලයින් විසින් කරන ලද අපිරිසිදු වැඩපලම කරන්ට මොවුන්ට සිදුවී ඇත. ඉහල පන්තිවල සිංහලයෝ ඔවුන් හා ගණුදෙනු කිරීමෙන් තදින්ම වැළකෙති. පරම්පරාගත සිරිත අනුව ඔවුහු යාචකයන් වෙනවා මෙන්ම සොරුද වන්නාහ. ජර්මනියේ සොරුන්ගේ භාෂාවට සමාන කළ හැකි සම්මත රහස්‌ භාෂාවක්‌ මොවුහු ද කතා කරති. මෙය විදේශීය වචනවලින් මිශ්‍ර වූ දූෂිත සිංහලයකි. මෙහි මූලාරම්භය සමහර විටක නොපැහැදිලිය. බොහෝවිට සිංහලයින්ගේ සිරිත් විරිත්වලට වඩා වෙනස්‌ වූ අමුතු සිරිත් විරිත් ඔවුන් සතුව ඇත. එහෙත් ඔවුහු කිසිසේත් පිරිහුණු ජාතියක්‌ නොවූහ. ඔවුහු ශාරීරික අතින් ශක්‌ති සම්පන්න වෙති. ස්‌ත්‍රී පක්‌ෂය බොහෝවිට රූපශ්‍රීයෙන් හොබනා හුය. මොවුන්ගේ ප්‍රභවය හා ලංකාවට මුලින්ම පැමිණීම ගැන බලන කල අපගේ දැනීම මොවුන්ගේම අරුම පුදුම කාල්පනික පුරාවෘ තයනටම සීමා වී ඇත. කෙසේ වුව ද ඔවුන්ගේ ප්‍රභවය, මේ පුරාවෘත්තයන්හි පරක්‌කමබාහු සහ ඔහුගේ දියණියක හා සම්බන්ධ වී තිබීම වැදගත්ය. මොවුන් පරාක්‍රමබාහු රාජ්‍ය සමයේදී, එනම් 12 වැනි ශත වර්ෂයේ දී, ලංකාවට ගොඩ වැදුණු සිංහල නොවූ පිරිසක්‌ යෑයි විශ්වාස කිරීමට මා පෙළඹී ඇත. (මධ්‍යකාලීන ලංකා සංස්‌කෘතිය, විල්හෙල්ම් ගයිගර්, පරිවර්තනය, ආචාර්ය, ඇම්.බී. ආරියපාල, පි.50)

මානව වංශ කතාවේ හමුවන සාලිය අශෝකමාලා පුවතේ අශෝකමාලා ගාඬි ළඳක්‌ ලෙස සැලකෙයි. කුලයක්‌ නොතිබුණු මිනිසුන් ගැන සලකා බැලීමෙන් පසු චණ්‌ඩාල වශයෙන් භාරත දේශයෙන් හඳුනාගත් ජන කොටසක්‌ පුරාණ ලංකාවේද එම තත්ත්වයෙන්ම සිටි බවත් ලංකාවෙහි දී ඔවුන්ගේ තැන රොඩී ජනයා ගෙන ඇති බවත් හ්‍යqනෙවිල් උපුටා දක්‌වමින් ගයිගර් සඳහන් කරයි. එසේම ඔවුන්ට වෘත්තීන් අනුව ලැබුණ සමාජ තැන පිළිබඳව නිගමනයකට එළඹ ඇති බවත් ඉතිහාස සටහන් ප්‍රකට කරනු ලබයි.

පිරිමින් ශාරීරික අතින් ශක්‌ති සම්පන්න වූත් ස්‌ත්‍රීන් රූප සොභාව අතින් ඉහළ තැනක්‌ ගන්නා ලද අතර සිංහල සමාජය සමඟ ගනු දෙනු කිරීමෙන් වැළකී සිටියේ ඔවුන් අන්ත පහත් තත්ත්aවයේ ජන කොටසක්‌ ලෙස (රොඩී) සම්මතව සිටි බැවිනි. වර්තමානයේ පවා ඌව පළාතේ, කැන්දගොල්ල, කන්දෙඅරාව, වයඹ පළාතේ, තේක්‌කවත්ත, කනතොළුව වැනි ගම්මාන දෙස විමසීමේදී ද පෙනෙන්නේ, අතීතයේ දී, ඔවුන් බාහිර සබඳතා ඉතා අඩුවෙන් පවත්වාගන ගිය සමූහ වන නමුදු කාලීනව එම තත්ත්වය වෙනස්‌ වී ඇති බවයි. ඊට හේතු වශයෙන් ඔවුන්ගේ දරුවන් නගරයේ පාසල්වලට ඇතුළුවීම නිසා නාගරික සමාජ සංස්‌කෘතිය සමඟ මුසුවීම, ළමුන් මෙන්ම රැකියාවන්වල නියෑලී සිටින අය හා ඇසුර නිසා මිතුරන් ඇතිවීම, අවමංගල අවස්‌ථාවලට සහභාගි වීම, (යාබද ගමේ අවමංගල අවස්‌ථාවනට සහභාගි වීමේදී ඉතා සුළු නියෝජනයක්‌ සිදුවන අතර ඔවුන් මිදුළට පමණක්‌ ගොස්‌ මඳ වේලාවකින් ආපසු පිටත් වෙයි.) එසේම ඔවුන්ගේ අවමංගල කටයුතු තවම පවත්වනුයේ ඔවුන් සඳහාම වෙන් වූ සුසාන භූමිවල පමණය.

සිංහල රජ දවස රාජ උදහසට ලක්‌වූවන් හට, කිසිම වෘත්තියක නියෑලීම තහනම් කොට, පදිංචි ප්‍රදේශයෙන් ඉවත් කර, සදාකාලිකවම හිඟමනින් දිවි ගෙවිය යුතු බවට, නියම කළ දඬුවම් අතර විය. රොබට්‌ නොක්‌ස්‌ වාර්තා කරන්නේ, තත්කාලීන සමාජයේ කුඩා සමූහ වශයෙන් සමාජයෙන් දුරස්‌ව දිවි ගෙවූවන් ගේ සංස්‌කෘතික ලක්‌ෂණ හා ක්‍රියාකාරකම් පිළිබඳවත් සමාජ තහංචි පිළිබඳවත් පැවති කුතුහලය නිසා මෙම ජනයා පිළිබඳව තොරතුරු විමසීමේ දී, රජවාසලට මස්‌ සැපයූ දඩ වැද්දා විසින් මුවමස්‌ කියා මිනීමස්‌ සැපයීමේ වරදට උදහස්‌ වූ රජ ඔහු හා ඔවුන් ගේ පිරිස හෙවත් වර්ගයා පදිංචි ප්‍රදේශවලින් ඉවත් කර වෙනම ස්‌ථානගත කර කිසිම වෘත්තියක නියෑලීම තහනම් කර සදාකාලිකවම හිඟමනිsන් දිවි ගෙවිය යුතු බවට රාජ නියෝග පැනවීම නිසා සමාජයෙන් කොන් වූ පිරිසකගෙන් රොඩී ජනයා පැවත එන ජන කොටසක්‌ වශයෙන් පුරාවෘත්ත ගතව ඇති බව ය.

ලාංකීය සමාජ ව්‍යqහය පිළිබඳ නිපුණත්වයක්‌ ඉසිලු, කෝඩිනර්, ඩී.සේරම්, ආර්මර යන විද්වතුන් සමඟ නීති නිඝණ්‌ඩුව විසින් රොඩී ගෝත්‍රිකයින් සමාජ පද්ධතියෙහි පතුලට ඇද දමා ඇත්තේ, කින්නර ජනයන්ට ද වඩා පහළිනි. (රාඝවන්) HAND SOME BEGGARS THE OF THE STORY OF CEYLON RODIYA කෘතියේ පරිවර්තනය චන්ද්‍රශ්‍රී රණසිංහ)

රොඩී ජනයා ගේ ප්‍රභවය පිළිබඳ ඒ ඒ පළාත්වල පුරාවෘත්ත මඟින් එකිනෙකට වෙනස්‌ තොරතුරු සමාජ ගතව ඇත. ඔවුනට උසස්‌ පෙළපතක්‌ බිහි වීමට මඟ පෑදුන ආකාරය මෙන්ම උසස්‌ ජන්මයකට උරුමකම් කියන ජන කොටසක්‌ ලෙසත් ප්‍රවාදගතව ඇත.

"පරාක්‍රමබාහු රජුගේ දූ කුමරියක්‌ වන රත්නවල්ලි ට වැද්දෙකුට දාව ලැබෙන දරුවෙකු මඟින් ප්‍රභවය වන රත්නවල්ලි පෙළපත ද, රාජ ලෙය මිශ්‍ර වූ ජන සමූහයක්‌ ලෙස ද සමාජගත ප්‍රවාද අතර වෙයි. "



කොතැනක සිටන් එන්නේ ඇල්ලි මැල්ලියේ

රුහුණ සිටන් එන්නේ ඇල්ලි මැල්ලියේ

දෙපයේ ලාපු ගිගිරිත් සෙල්ලි සෙල් ලියේ

පැරකුම් රජුගෙ දුව නව රත්න වල්ලියේ




(රාඝවන්, චන්ද්‍රස්‌ ශ්‍රී පරිවර්තනය)

ඔවුන්ගේ පෙළපත් නාම අනුව වර්ගීකරණයට ලක්‌ව ඇති බවට සාක්‌ෂි වෙයි. 15 වැනි සියවස හා තදාසන්න සමාජය පිළිබඳ වාර්තාවන්ට අනුව, ඔවුන්ගේ වෘත්තීන් අනුව පෙළපත් නාම පටබැඳී ඇත.

වෘත්තීන් වශයෙන් කසල ඉවත් කිරීම, සොහොන් මුර කිරීම වැනි සේවාවන් භාරතීය චණ්‌ඩාල ජනයා ගේ වෘත්තීන්වලට අනුව සකස්‌ වී ඇති බව නිරීක්‌ෂණය කරන අතර ලාංකීය සමාජය තුළ එවැනි පහත් ලෙස සලකන වෘත්තීන් මෙන්ම රජුගේ යටත් නිලයන් විසින් පනවන සියලු පැවරීම් ඔවුන් විසින් ඉටු කළ යුතු විය. එනම් අදිකාරම් ගේ ප්‍රයෝජනය සඳහා 'කස්‌ ද, 'ධජ පතාක' ආදියට ඇල්ලීම සඳහා 'නියද'වලින් කළ 'කොඩි සවරන්' සහ අලින් ඇල්ලීම සඳහා සම් පටින් නිමැවූ රැහැන් සැපයීම ද, ඔවුන් වෙත පැවරුණි (රාඝවන්)

තිරිංග රොඩී, හල්පගේ රොඩී, නාහල්ලේ හෝ උඩකටුව කාණ්‌ඩය, නුවර රොඩී, නවරත්නවල්ලි, වන්නි කාණ්‌ඩය ආදි වශයෙන් වර්ගීකරණය වුවද, පසුකාලීනව භූමි ප්‍රදේශ පදනම් කර ගෙන වන්නි රොඩීන් සහ මධ්‍යම සබරගමුව හා ඌව ප්‍රදේශවල වසන උඩරට රොඩීන් වශයෙන් කලාපීය ප්‍රභේද වශයෙන් දැක්‌වෙයි. (රාඝවන්)

ඒ ඒ පළාත්වලට අයත්වන ගම්මාන කිපයක්‌ දැක්‌වුවහොත්, උතුරු මැද පළාතේ, පාළු ආඬිගම, කන්තලාව, වටුවෑය, ලෝකුරුගම, මාඑළිය, මානෑව, ආදි වශයෙන් ද, මධ්‍යම පළාතේ උඩුගල්පිටිය, කූරගල, කුරුගන්දෙණිය, කොස්‌කොටේ, මා/කලල්පිටිය, එගොඩකන්ද, කළුගල්පතන, සබරගමුව තලාපිටිය, පොල්හේන්ගොඩ, දිප්පිටිගල, හකමුව, කැටේතැන්න, ගැටන්ගම, වැල්ලඳුර, බංගිරිය, පේරකැටිය, මැද උඩගම, කිවුලේවෙල, හුණුවල, ගොන්දෙණිය, මෙන්ම ඌව පළාතේ, සොරණාතොට, උඩ අරාව, මැටිහක්‌කන්දර, කැන්දගොල්ල, දඬුඅරාව, කන්දෙඅරාව, කහටවෙල ආදී වශයෙන් ගම්මාන රැසක්‌ විවිධ පර්යේෂකයින්ගේ නිරීක්‌ෂණයන්ට ලක්‌ව ඇත. (මේ පිළිබඳ වැඩි විස්‌තර සඳහා කියවන්න, රාඝවන්ගේ පර්යේෂණ කෘතියේ පරිවර්තනයක්‌ වූ, චන්ද්‍රශ්‍රී රණසිංහගේ 'රොඩී ජන පුරාණය'කෘතිය) (බස්‌නාහිර සහ දකුණු පළාතේ රොඩී ජන ව්‍යාප්තිය පිළිබඳව ලේඛනගත වාර්තා දැක්‌වෙයි)

" වර්ෂ 1886 දී ගෝර්ඩන් ආණ්‌ඩුකාරවරයා විසින් මුලින් මධ්‍යම පළාතට අයත්ව තිබූ බින්තැන්න, වියලුව, වෙල්ලස්‌ස, උඩුකිඳ හා යටිකිඳ යන ප්‍රදේශ සහ දකුණු පළාත ලෙස හැඳින්වූ වැල්ලවායසහ බුත්තල යන ප්‍රදේශ සමඟ ඒකාබද්ධ කොට අභිනව ඌව පළාත ඇති කළේය. සිංහල රජ සමයේ කුමාරසිංහ නම් ප්‍රාදේශීය රජෙකු වාසය කළ බදුලු පුරය අභිනව ඌවේ අගනුවර විය.

"බදුල්ල කැන්දගොල්ල ගමේ මුලින්ම පවුල් කිහිපයක්‌ 50 දශකයේ අග භාගයේ සිටි බවත් පසු කාලයේ කන්දෙඅරාව, කන්දෙගෙදර යන රොඩී ගම්මාන ආරම්භ වී ඇති බවත්, ඌවේ මෙම ජනයාගෙන් වල් කණ්‌ඩිය, කටුගල්ල, රතඹ, නිල්මල් පොත, අම්පිටිය, මැටි ගහ කන්ද, එළ මහ වත්ත, දිවි තොටවෙල ආදි ගම්මාන රැසක ජනාවාස වී ඇති බවත් ජන ව්‍යාප්ති වාර්තා අනුව නිරීක්‌ෂණය වෙයි."

මුල් කාලීන රොඩී ජනයා කදක්‌ කරේ එල්ලා ගෙන හිඟමනේ යෙදුන අතර පසුව කෝටුවකට බැඳ ගත් රවුමට කැපූ කොලපත් කැබැල්ලක්‌ අතැතිව, ඔලගුවක්‌ කරේ ලා ගෙන නිවෙස්‌ ආසන්නයේ වැට කඩුල්ල අසල රැඳී, යෑදීම අරඹයි. යම් විධියක තමා අවට පරිසරය පිරිසිදු කර තිබුණ හොත් එසේ නොකළ ස්‌ථානයක්‌ ඊට තෝරා ගෙන ඇමතීම සිදු කිරීම ද විශේෂ ලක්‌ෂණයකි.

පරිසරය අවනත කර ගැනීමේ උත්සාහයත් සමඟ ප්‍රගතිය කරා පිය නැගූ මානව සමූහ අතර රොඩී ජනයා ද සිය පෙළපතේ ගෞරවය රැක ගැනීමට දැරූ තැත අත් නොහැරියහ. සබරගමු වර්ගයා හෙවත් උඩරට රොඩී ජනයා අතර පෙළපත් 07 ක්‌ ජනප්‍රියව පැවත ඇත. වර්තමානයේ එම තත්ත්වය නොසලකා හැර ආවාහ විවාහ සිරිත් පවත්වනු ලබයි. එකල කුඩා තනි පලයට බාන ලද ගෙවල් වෙනුවට විශාල ගෙවල් ඉදිකර ගනු ලැබුවත්, මොවුන්ගේ ජනාවාස ළං ළං ව පිහිටීම එකල මෙන් ම වෙයි. කෘෂිකාර්මික ඉඩම් භුක්‌තියකට උරුමකම් කියන වත්මන් රොඩී ජනයා සිය නිවාස එම වපසරිවලම ඉදි කර ගෙන දිවි ගෙවයි.

ලක්‌දිව පැවති සෑම කුලයකටම සහ සෑම ප්‍රාථමික ජන කොටසකටකම පාහේ ගරු සරු ඇතිව හැසිරුණ රොඩී ජනයා ගේ වර්තමාන ජන ජීවිතය අධ්‍යාපනය, මූල්‍යමය තත්ත්වයන්, උසස්‌ කුල විවාහ, මහා සමාජයේ ඇතැම් ලක්‌ෂණ අනුකරණය කිරීම, ආදී කරුණු හේතුවෙන් වෙනසකට භාජනය වී ඇති නමුදු කුලය හෝ ගෝත්‍රය වෙනස්‌ කිරීමට ඉන් නොහැකි වී ඇති බව සමාජ විද්‍යාත්මකව නිරීක්‌ෂණය වෙයි.

මුල් කාලීන රොඩී පරිශ්‍රයන් හැඳින්වූයේ, කුප්පායම ලෙසයි. එහි පාලනය හුලවාලියා විසින් සිදු කෙරිණි. හිඟමනේ යැම, රබන් කරකැවීම, වේවැල් නිෂ්පාදන, පැදුරු, හවරි, මුස්‌නා, ඉදල්, කොහු, ආදී දැ නිපදවමින් සිය ආර්ථීක උපාය මාර්ග සකස්‌ කර ගෙන ඇති බව ද පැහැදිලිය.

අභිචාර විධි සහ කලාකාමී ජීවිතය

වන්නි වර්ගයා මුල් අවදියේ, ගෝත්‍රික ලක්‌ෂණවලට අනුව දඩයම් කරමින් හා ගොවිතැන් කරමින් ජීවත් වූ අතර ඒ සෑම කටයුත්තකදී මෙන්ම අභිචාර විධි අනුගමනය කරද්දී ද, ඒකාබද්ධව පිළිවෙත් ඉටු කළ බවත් සමූහය එකාවන්ව කටයුතු කිêමෙන් බාහිරින් පැමිණෙන උපද්‍රව ජය ගැනීම මෙන්ම ජීවිතය පවත්වා ගැනීමට ද, ශක්‌තියක්‌ විය. නායකයෙකු සැම සමූහයකම වූ අතර, ඔහු හැඳින්වූයේ, 'හුලවාලි' යන නමිනි. අභිචාර විධි අතර, ඔවුන්ගේ අපේක්‌ෂාවන් මෙන්ම ආරක්‌ෂාව පිළිබඳ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා 'කඩවර' දෙවියන්ට පුද පූජා පැවැත්වූ අතර ලෞකික ජීවිතයේ මානසික ප්‍රීතිය සඳහා ඇතැම් බෞද්ධ චාරිත්‍ර විධි වලට ද අනුගතවීමක්‌ ප්‍රකට කර ඇත. විෂ්ණු භවනෙහි වසන මුල් කඩවර, තෙද කඩවර හෙවත් ගිනි කඩවර, ලක්‌දිවට එවන ලද්දේ, මලය රජු විසින් බවත් ඔවුන් ගේ දෙතිස්‌ කඩවර අතුරින් ඉතා බලවතා දළ කඩවර ලෙසිනුත් රොඩී ජනයාගේ විශ්වාස පද්ධතියට අයත් වෙති.

සිංහල රජ මාළිගා සහ දේවාලවල පැවති නැටුම් කලාව මෙන්ම කොහොඹා කංකාරියේ එන රංගනයන් ඇතුළු දේවාගමික නර්තන විලාශයන් සමඟ ලාංකීය නර්තන කලාවේ ඇතැම් ආභාෂයන් කාලාන්තරයක්‌ තිස්‌සේ ඔවුනට බලපාන්නට ඇති බව පර්යේෂකයින් ගේ අදහස වෙයි.

සියලු ජාතීන් අතර ප්‍රචලිත විශ්ව ව්‍යාප්ත වුවක්‌ වන ගැහැනුන් හා පිරිමින් එක්‌ ව පැද්දි පැද්දී කරන රංගනය කිසියම් ජන කොටසක සංස්‌කෘතිය පිළිබිඹු කෙරෙමින් ඒ ජන සමූහයාට අයත් සියලු දෙන වටේට සෑදී කරන්නකි. තම ප්‍රීති ප්‍රමෝද්‍යය මතු කරන අවස්‌ථාවන්හි දී රොඩී ගම්මානවල ජනයා ගැට බෙරයේ, රිද්මයානුකූල තාලයට අනුව නටමින් මෙකල විනෝද වෙති. උඩරට රොඩී ජනයා උඩරට නැටුම සරලාකාරයෙන් සාම්ප්‍රදායිකව කර ගෙන එනු ලබන අතර මෙම සමූහ අතරට පිටමං කරන ලද ජනයා පැමිණීමෙන් මේ සංස්‌කෘතික විසරණය සිදුවන්නට ඇති බවත් ඒ මඟින් නව ජීවනෝපායක්‌ ලැබීමත් සිය දොම්නස්‌ සහගත දිවියට අරුතක්‌ එක්‌ කර ගැනීමටත් හේතු වන්නට ඇති බව ඉතිහාස සටහන් විශද කරයි.

රොඩී ජනයා කෙරෙහි අන්‍ය කුල ජනයා ගෙන් ඇතැමෙකු අතර සිත් ඇද බැඳ ගත් කරුණක්‌ වූයේ, ඔවුන් ගේ වශී ගුරුකම් නිසාය. අතීතයේ මෙන්ම වර්තමානයේ ද ඇතැමෙකු ඔවුන් ලවා විවිධ ආකාරයෙන් වශී ගුරුකම් කරවා ගන්නා බව සමාජ තොරතුරු සනාථ කරයි. විශේෂයෙන් සුදුසුකම් නොමැතිවීම, අප්‍රිය ජනක පුරුෂයින් රූමත් කාන්තාවන් පොළඹවා ගැනීම, අකමැති භාවය තුරන් කරවා සිත් ගැනීමට රොඩියා ගේ වශී ගුරුකම අත්දුටු ප්‍රත්‍යක්‌ෂ යෑයි මතයක්‌ මෙකල ද සමාජගතව පවතින බව නොරහසකි. වර්තමානයේ අන්‍ය කුලිකයන් පවා දෑවැන්ත නාම පුවරු ප්‍රදර්ශනය කරමින් 'රොඩී ගුරුකම්' වෘත්තියක්‌ වශයෙන් සිදු කරයි.

ගෝත්‍රික සංස්‌කෘතියේ ලක්‌ෂණ යටපත්ව ඔවුන් වාසය කළ ප්‍රදේශයන්හි පැවති ජන සංස්‌කෘතියේ ආභාෂය ඔවුන්ගේ චර්යාවන් ක්‍රමිකව වෙනස්‌ වීමට බලපා ඇත. ආර්ථීක සමාජයීය මෙන්ම අභිචාර විධිවල ද එලෙස සිදුව ඇති බව අධ්‍යයනයේදී මනාව අවබෝධ විය. දේව, යක්‌ෂ, භූතාදී ඇදහිලි වෙනුවට පන්සල, භික්‌ෂූන් වහන්සේ ගේ ඇසුර, පංච ශීල ප්‍රතිපත්තිය ට යොමු වීම, ආදිය පෙරදැරි කර ගෙන ඔවුන් සිය දෛනික චර්යාවල මෙන්ම සංස්‌කෘතිකමය වශයෙන් ද ක්‍රමික වෙනස්‌කම් සිදු වෙමින් වර්තමානය වන විට මහා සමාජයට අනුකලනය වී ඇති ආකාරයක්‌ විශද කරයි.



නවීනත්වය කරා පිය නගන සාම්ප්‍රදායික සමාජයේ වැඩි බර පැවරී ඇත්තේ. ජනමාධ්‍ය වෙතය. සංවර්ධනය අපේක්‌ෂාවෙන් ගමන් කරන රටක වගකිවයුත්තන් රට තුළ ජීවත්වෙන මෙවැනි කුඩා සමූහයන් වෙත ගොස්‌ ඔවුන් සංවර්ධනයේ හවුල් කරුවන් කර ගැනීමට ඇවැසි ආකාරයට සිතන්නට පෙළඹවීම, විද්යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය හරහා නව දැනුම සම්ප්‍රේෂණය කරවීම මඟින් ජාතික සංවර්ධනයේ කොටස්‌කරුවන් බවට ඔවුන් පත් කර ගැනීමේ අභිලාෂය මාධ්‍යයන් සතු වගකීම වෙයි.


පාදක සටහන් :-


* තෝරාගත් ලිපි සංග්‍රහය, ආචාර්ය නන්දදේව විඡේසේකර

* මධ්‍ය කාලීන ලංකා සංස්‌කෘතිය, (ගයිගර්) පරිවර්තනය, ආචාර්ය ඇම්. බී. ආරියපාල

* කුඩා කණ්‌ඩායම් සන්නිවේදනය, ආචාර්ය චන්ද්‍රසිරි රාජපක්‌ෂ

* ලංකාවේ නැගෙනහිර පළාත, වයි.ඩබ්. ගුණවර්ධන

* මානව විද්‍යාව හැඳින්වීම, ප්‍රිශාන්ත ගුණවර්ධන, ගාමිණී අධිකාරි

* ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ජනතාව, සේපාල ධර්මසේකර

* රත්නවල්ලිය ගේ දරුවෝ, රොඩී ජන පුරාණය, චන්ද්‍රශ්‍රී රණසිංහ

* සමාජ විද්‍යාව හා මානව විද්‍යාව, මහාචාර්ය නන්දසේන රත්නපාල

* පුල්එළිය, ඊ.ආර්.ලීච්, අනුවාදය, එම්.ඩී.එච්.සෙනෙවිරත්න


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.