තවත් තිදරු පියෙක්‌ මරුට
අලි පහරේ වේදනාව කියන්න මහවැලි වැසියෝ මහ පාරේ


කරුණාරත්න ගමගේ, මනම්පිටිය ඡේ. ඒ. ජයකොඩි


වැලිකන්ද, මඟුල්පොකුණ ප්‍රදේශයේදී පෙරේදා (26 දා) දහවල් වල් අලියකු පහරදීමෙන් තිදරු පියකු මිය යැමෙන් අනතුරුව අලි ගම්මානවලට කඩා වැදීමේ ප්‍ර්‍රශ්නයට අදාළ බලධාරීන් විසින් විසඳුම් නොදෙතැයි විරෝධය පළකරමින් මහවැලි ගම්මාන රැසක ජනයා පෙරේදා (26 දා) පස්‌වරුවේ උද්ඝෝෂණයක නිරත වූහ.

මඩකලපුව පොලොන්නරුව මාර්ගය අවහිර කරමින් මහවැසි නොතකා ගම්මුන් විසින් පැවැත්වූ මෙම විරෝධතාව පැය 03 ක පමණ කාලයක්‌ තිස්‌සේ පැවැති අතර ඊට මහජනතාව 500 ක අධික පිරිසක්‌ එක්‌ව සිටියහ.

අලින්ගේ වාසභූමි ලෙස මෙතෙක්‌ පැවැති කැලෑ බිම් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සමාගම්වලට බදුදීමෙන් පසුව එම කැලෑ හෙළි පෙහෙළි කිරීම හේතුවෙන් අලි ගම්වැදීම සිදුවන බවට උද්ඝෝෂණකරුවෝ මෙහිදී චෝදනා කළහ.

වල් අලියාගේ පහරකෑමට ලක්‌ව පෙරේදා (26 දා) දහවල් මිය ගියේ වැලිකන්ද මගුල්පොකුණ මහවැලි ගම්මානයේ පදිංචි පී. ඩී. අමරසිංහ නමැති 44 හැවිරිදි තිදරු පියකු වන අතර හෙතෙම සිවිල් ආරක්‍ෂක බළකායේ නියාමකවරයකු ලෙස රිදීපොකුණ සිවිල් ආරක්‍ෂක බළකා කඳවුරට අනුයුක්‌තව රාජකාරි කළේය.

පාසල් ගොස්‌ සිටි තම දරුවන් ආපසු නිවෙස වෙත කැඳවාගෙන ඒම සඳහා යමින් සිටියදී ඔහු අලියාගේ පහරකෑමට ලක්‌වී ඇති බව පරීක්‍ෂණ මෙහෙයවන වැලිකන්ද පොලිසිය සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.