සිටගෙන ඉන්න බර අඩු කර ගන්න

"මම දැන් හරි මහතයි අනේ... බොඩි එකේ කිසිම ශේප් (Shape) එකක්‌ නැහැ. ජිම් යනවා. උදේම ඇවිදිනවා එක්‌සසයිස්‌ කරනවා. ඒත් වැඩක්‌ නැහැ අනේ..."

තම සිරුර ටිකක්‌ තරබාරු බොහෝ ගැහැනු මෙන්ම, පිරිමිද මෙසේ කියනු නිතර ඇසේ.

"එහෙත් එකක්‌ කිව යුතුය. මේ මොන ව්‍යායාම් කළත් බඩ ජහරිකම වැඩිනම්, කට පරිස්‌සම් කරගන්නට බැරිනම් කරන්නට දෙයක්‌ ද නැත..."

මෙසේ කියන්නේ මිනිස්‌ සිරුරුවල බර අඩුකර ගැනීම පිළිබඳව අලුත්ම සමීක්‍ෂණයක නියුතු වී සිටින එක්‌සත් රාජධානියේ (එංගලන්තයේ) ලව්බරෝ සරසවියේ මහාචාර්ය ස්‌ටුවට්‌ බිඩ්ල්ය.

එසේම ඔවුන් විසින් මෑතකදී කරන ලද සියලුම සමීක්‍ෂණ අභිභවා එක්‌ අලුත්ම මතයක්‌ දැන් ඉහළටම ඇවිත් තිබේ.

එනම් ජිම් එකට යැම, ව්‍යායාම්වල යෙදීම, බයිසිකල් පැදීම, ඇවිදීම, දිවීම, ජොගින් ආදී සියලුම දෙයට වඩා හුඟ වේලාවක්‌ සිටගෙන සිටීමෙන් සහ සිටගෙන තම රාජකාරි කිරීමෙන් තම සිරුරේ බර වසරකට කිලෝ තුනකින් පමණ අඩු කර ගත හැකි බවයි. මේ බව ඔවුන් විසින් කරන ලද නවතම සමීක්‌ෂණවලින් හෙළි වී ඇත.

ඔහුගේ වාර්තාවේ මෙසේද සඳහන් වේ.

"කොහොමටත් දවසකට හුඟ වේලාවක්‌ වාඩි වෙලා ඉන්නවාට වඩා හුඟ වේලාවක්‌ සිටගෙන සිටීම ශරීරයට හුඟක්‌ සුවදායකයි. කකුල් දෙක ටිකක්‌ රිදෙනවා තමයි. ඒත් සිටගෙන සිටීමේදී ශරීර අභ්‍යයන්තරයේ ලේ ගමන් කිරීම, වාඩි වී සිටිද්දීට වඩා හුඟාක්‌ හොඳින් කෙරෙනවා. අපි හිතමු ඔබ පුටුවේ වාඩි වී රාජකාරි කරන කෙනෙක්‌ කියා. එහෙත් පත්තරයක්‌ කියවද්දි ඔබට පුළුවන් එම පුටුවෙන් නැගිට සිටගෙන සිට ඒ පත්තරය කියවන්නට."

"ස්‌ටෑන්ඩ් අප් එක්‌සර්සයිසස්‌" යනුවෙන් මෙම ව්‍යායාමය ඔවුන් විසින් හඳුන්වා දී ඇත. මෙය තරමක්‌ අමුතු ව්‍යායාමයක්‌ ලෙස ඔබට පෙනුණ ද එය ඉතා ලෙහෙසි එකක්‌ බව ඔවුන්ගේ මතය වේ.

වර්තමානයේ බොහෝ පිරිස්‌ තම රාජකාරි කටයුතු කොම්පියුටර්වලින් කර ගැනීමට පෙලඹී සිටින අතර කොම්පියුටරයෙන් රාජකාරි කිරීමේදී බොහෝ වේලා වාඩි වී සිටීමට සිදු වේ. එම නිසා මෙම "සිටගෙන සිටීමේ ව්‍යායාමය" කොම්පියුටර් ඔපරේටර්වරුන්ට ඉතා සුදුසු බවද ඔවුහු පවසති.

මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන තොරතුරු තාක්‌ෂණ නිලධාරියකු වන එංගලන්තයේ සිටින අයිශ්වර්යා කාත්කාර් සහ දොස්‌තර කෙනකු වන ගනේශ් යාදේව් නම් ඉන්දියානු ජාතිකයෝ මෙසේ පවසති.

"සිටගෙන සිටීමෙන් ඔබ බලා සිටියදීම සිරුරේ බර අඩුවන්නේ නැහැ. නමුත් සිරුරේ ලේ ගමන් කිරීම පහසු වී සිරුරට ඉතාමත් සැහැල්ලු බවක්‌ දැනෙනවා. ඇත්තටම මිනිසුන්ට තම රාජකාරිවලින් යම් කිසි ප්‍රමාණයක්‌ සිටගෙන කිරීමට බැරිකමක්‌ නැහැ."

මෙහිදී තවත් ප්‍රශ්නයක්‌ පැන නගී. එනම් මෙම "සිටගෙන සිටීමේ ව්‍යායාමය" නිසා "ජිම් එකට" යන එක අඩුවේද යන්න එම ප්‍රශ්නයයි.

ඔවුන්ගේ අදහස්‌වලට අනුව එම ප්‍රශ්නයට පිළිතුර "නැත" යන්නයි.

"සිටගෙන සිටීමේ ව්‍යායාමයෙන් සිරුරට දහදිය දමන්නේ නැහැ. තම සිරුරේ බර අඩුකර ගැනීමට සිරුරට දහදිය දැමීම අනිවාර්යයි. ශරීරයේ කැලරි පිටවිය යුතුයි. ඒ සඳහා "ජිම්වලට" යන පිරිස්‌ එම ගමන නැවැත්විය යුතු නැහැ."

මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන තවත් ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවකු වන සචින් ගයික්‌වාද් කියන්නේ මෙහෙම කතාවක්‌.

"සිටගෙන සිටීමේ ව්‍යායාමයෙන්" හොඳ ප්‍රතිඵල ලබන්නට නම් දවසට පැය හත අටක්‌වත් වරින් වර සිටගෙන සිටිය යුතුයි. ඇත්තටම කියනවා නම් දවසකට පැය අටක්‌ වරින් වර සිටගෙන සිටිය හැකි නම් මාසයක්‌ ඇතුළත කිලෝ දෙකකින් ඔබේ බර අඩුකර ගන්නට පුළුවන්. ඒත් එක්‌කම අත් පා දෙපසට විහිදමින් ව්‍යායාම්වල යෙදීමත් ආහාර පාලනයක්‌ තබා ගැනීමත් අවශ්‍යයි.

සිංහලට සකස්‌ කළේ
මෙරිල් පෙරේරා
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.