පිළිකාවේ අවසානය පටන් ගනී...
නිට්‌ටාවටම සුව කරන ඔසුව සොයාගනී


දුකට මුල හරියාකාරව හඳුනාගත හැකි ප්‍රඥවන්තයන්ට දුක ජය ගැනීමේ මාර්ගයට අවතීර්ණ විය හැකිය. සියලු රෝග අතර යමපල්ලා වූ පිළිකාව නමැති දුක බිහි කරන මරණීය ජානය ජයගැනීමට, ඇමරිකන් විද්‍යාඥයන්ට හැකිව ඇතැයි පසුගියදා බ්‍රිතාන්‍යයේ Daily Mail පුවත්පත හෙළි කළාය. ඉතාම භයානක පිළිකා සහ ශරීර පටකවල අසාමාන්‍ය වර්ධන හෙවත් අර්බුද (Tumour) ඇති කරන එම ජානයට ක්‍රියාත්මක වීමට ඉඩ නොදී අගුළුලා තැබිය හැකි ක්‍රමයක්‌ විද්‍යාඥයන් සොයා ගැනීම මේ ජයග්‍රහණයයි.

වෛද්‍ය විද්‍යාව දියුණුවේ සියලු මායිම් පසුකරගෙන ගියද අදටත් පිළිකා නිසා මරණයට පත්වන බ්‍රිතාන්‍ය ජනගහනය අවුරුද්දකට 150,000 කි. ලොව පුරා නම් මේ ගණන දෙකෝටිය ඉක්‌මවයි. වැඩිවන ජනගහනය අඩු කිරීම සඳහා ස්‌වභාව ධර්මයා විසින් කාලයෙන් කාලයට ස්‌වභාවික උපද්‍රව, වසංගත යනාදිය එවන බව 1766 - 1839 කාලය අතරතුර බ්‍රිතාන්‍යයේ ජීවත් වූ අසහාය අර්ථ ශාස්‌ත්‍රඥයකු වූ දේවගැති Thomas Malthus úiska විසින් පවසනු ලැබ ඇත. එහෙත් පිළිකාව වැනි දුෂ්ඨ ව්‍යසනයකින් කිසිදු මනුෂ්‍යයකු හෝ කිසිදු තිsරිසන් සතකු මිය යා යුතු නැත. පිළිකාවට අගුල් දැමීමේ ප්‍රඥව ලැබූ විද්‍යාඥයන්ට ස්‌තුති වේවා. නව සොයා ගැනීමෙහි ඇති වැදගත්ම කාරණය වන්නේ පිළිකාවට නොව පිළිකා ජානයට පහරදී එය වසා තැබීමේදී රෝගීන්ට හටගන්නා අතුරු ආබාධ ඉතාම අඩු වීමය.

පිළිකාව ඇති කරන ජානයේ නම Ras ය. මෙය විකෘති වූ විට ශරීරයේ පඨක වර්ධනයට බාධා ඇති වී අර්බුද (Tumour) හටගනී. එමතුද නොව සුවපත් වීමට ඉඩ නොදී පිළිකාව නඩත්තු කරගෙන ඉදිරියට යැමට මේ ජානයට පුළුවන.

පිළිකාව යනු ජය ගැනීමට බැරි රෝගයක්‌ බව මේතාක්‌ තිබූ පිළිගැනීම විය. මෙය ප්‍රසිද්ධ පිළිගැනීමක්‌ නොව කොයි කාගේත් උප විඥණය තුල නැණවත්ව තිබූ පිළිගැනීමකි. පිළිකා ජානය අගුළු දැමීමේ ක්‍රමය සොයාගත් විද්‍යාඥයන් පිරිස ඉහත සඳහන් ස්‌ථාපිතයට පහරදී එය බිමට ඇද දැමීමට පුරා වසර 30 ක්‌ ගතකළ බව වාර්තා විය.

නව ක්‍රමවේදය මගින් පෙනහළු පිළිකා සෛල මරා දැමීමට ඇමරිකන් විද්‍යාඥ පිරිස දැනටමත් සමත්ව තිබේ. එම ජයග්‍රහණය අත්පත් කරගත් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (Harward Hughes) වෛද්‍ය විද්‍යාගාරයේ පර්යේෂක දොස්‌තර (Kevan Shokat) කියන පරිදි පිළිකා ඇතිකරන ජානය ජය ගැනීම එවරස්‌ට්‌ කන්ද ජයගන්නා හා සමාන දුෂ්කර ව්‍යායාමයකි. Ras ජානය මගින් හටගන්නා පිළිකා රෝග ඉතා වේගයෙන් පැතිර යන අතර සුව කිරීමට කෙසේවත් නොහැකි විය. මේ ජානයට පහර දෙමින් එහි සෑම කොටසක්‌ම ඝාතනය කිරීමට තැත් කරමින් නූතන වෛද්‍ය විද්‍යාඥයෝ දසක 3 ක්‌ සටන් කළහ. ඔවුන් ජානය බිම දැමීමට මුල්වරට සමත්ව ඇත්තේ ඉකුත් සතියේය. දොස්‌තර Kevan Shokat කියන පරිදි අග්න්‍යාශය, බඩවැල්, පෙනහළු යනාදියෙන් පිළිකාව හටගන්වන Ras ජානය බ්‍රිතාන්‍යයේ වාර්ෂික පිළිකා රෝගී ප්‍රමාණයෙන් 60,000 ක්‌ මැරීමට ඉවහල් වෙයි. අග්න්‍යාශ පිළිකාව යුරෝපීයයන් වැඩි දෙනකු තුළ පවත්නා පිළිකා වර්ගයකි. එය වැළඳෙන අය ලෙස හඳුනාගත් අයගෙන් 80% ක්‌ ඉතා ඉක්‌මනින් මියයති. ඉතිරි 20% න්ද වසර 5 ක්‌ දක්‌වා කාලයක්‌ ජීවත් වීමේ වාසනාව ලබන්නේ 4% කි.

පෙනහළු පිළිකාව මගින් වසරකට මියයන බ්‍රිතාන්‍ය ජාතිකයන් ගණන 35,000 ක්‌ වන අතර ලොව පුරා සිදුවන පෙනහළු පිළිකා මරණ සංඛ්‍යාව කෝටිය ඉක්‌මවන්නේය. බඩවැල්වල හටගන්නා පිළිකාව නිසා වාර්ෂිකව මියයන බ්‍රිතාන්‍ය ජාතිකයන් ගණන 16,000 කි.

Ras ජානය අගුළු දැමීම මගින් පිළිකාව තවදුරටත් ව්‍යාප්ත වීම නවත්වා ගත හැකි අතර එතැන් සිට සිදුවන්නේ පිළිකාව ක්‍රමයෙන් හැකිලී යැමය.

සාමාන්‍ය පිළිකා ප්‍රතිකාර මගින් ආහාර අරුචිය සහ වමනය (Nausea) නිතර අසනීප වීම සහ හිසකෙස්‌ ගැලවී යැම සිදුවෙයි. එහෙත් Ras ජානයට පහරදී බිම දැමීමෙන් පසු කරන ප්‍රතිකාරවලදී මේ කිසිවක්‌ සිදුවන්නේ නැත.

දොස්‌තර Kevan Shokat (කෙවන් ෂොකට්‌) සිය නව පිළිකා ප්‍රතිකාරය සමාජගත කිරීම සඳහා සමාගමක්‌ ආරම්භ කර ඇත. නව ප්‍රතිකාර ක්‍රමය කොතරම් සුවිශේෂද යත් එය ක්‍රියාත්මක වන්නේ Ras ජානයක්‌ දුටුවිට පමණි. මෙම ප්‍රතිකාරය සොයා ගැනීමට මග පෙන්වූ පර්යේෂක කණ්‌ඩායමේ ප්‍රධානියා වූ Frank Mcsormic කියන පරිදි ඇමරිකන් ආණ්‌ඩුව ස්‌ටර්ලින් පවුම් හැට දෙලක්‍ෂයක්‌ (ලංකාවේ මුදලින් රුපියල් දස ලක්‍ෂ 15,000 ක්‌ පමණ) මෙකී පර්යේෂණ මාලාව සඳහා ප්‍රදානය කළේය. නව ඖෂධය තවත් වසර 3 කට පසු පිළිකා රෝගීන්ට ලබා දී තවදුරටත් අත්හදා බැලීම් කරන බවත් වසර 2021 දී (තව වසර 8 කින්) එය විවෘත වෙළෙඳපොළට නිකුත් කරන බවත් වාර්තා විය.

අනුර සොලමන්ස්‌

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.