බර්ලින් තාප්පය බිඳ දමා වසර 25 යි

"බර්ලින්" පවුර බිඳ දමා වසර 25 යි.... මෙය බොහෝ දෙනෙකුගේ මතක පොතට එක්‌වූ එක්‌ සිද්ධියක්‌ පමණක්‌ වන්නට පිළිවන. තවත් බොහෝ දෙනකුට එය "මතකයේවත්" නැති සිදුවීමක්‌ වන්නට පුළුවන. අලුත් පරම්පරාවකට ඒ ගැන "වගේ වගක්‌" නැතිවන්නට ද පිළිවන. එහෙත් "ජර්මනිය දෙකඩ කළ මහා තාප්පය" එසේත්a නැතිනම් "බර්ලින් පවුරේ" කතාව බොහෝ දේ ගැන බොහෝ දේ කියෑවෙන කතාවකි.

දේශ සීමා බොහෝ රටවලට අරුමයක්‌ නොවේ. එහෙත් "බර්ලින් පවුර" දේශ සීමා යන්නට වැඩිමනත් අර්ථ සපයන තීරයක්‌ ව තිබිණි.

එහෙයින්ම බර්ලින් තාප්පය හා ඒ නිසාම දෙපසට වෙන්වූ මිනිසුන් ගැනත් සංවේදී කතාව නැවත සිහිපත් කළ යුතුය.

"බර්ලින් පවුරේ" සරල කතාව ලෙස ගත හැක්‌කේ බටහිර ජර්මනියත්, නැගෙනහිර ජර්මනියත් දෙකට බෙදා වෙන් කළ තාප්පය ලෙසයි. එහෙත් ඒ සමගම ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය යන සංකල්පයන් ද මායිම් ලෙස බෙදා වෙන් කෙරිණි.

බර්ලින් පවුරේ ඉතිහාසය 1961 අගෝස්‌තු 13 සිට 1989 නොවැම්බර් 09 වැනිදා දක්‌වා දිගු එකකි. එහිදී නැගෙනහිර ජර්මානුවන්ට හෝ බටහිරට හෝ බටහිර ජර්මානුවන්ට නැගෙනහිරට කෙසේවත් යාම් ඊම් කළ නොහැකි විය. ඒ කාලය තුළ හොර රහසේ නැගෙනහිර ජර්මනියෙන් බටහිර ජර්මනියට පළා ඒමට උත්සාහ කළ පුද්ගලයන් 135 දෙනකු මරණයට පත්ව ඇති බව පසුව කරන ලද සමීක්‍ෂණවලදී හෙළිවී තිබිණි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එකට එකමුතුව කටයුතු කළ බලවත් ජාතීන් ජයග්‍රාහී ලෙස අත්පත් කර ගත් ජර්මනිය කලාප හතරකට බෙදා වෙන් කරනු ලැබීය. ඒ "පෝස්‌ට්‌ඩෑම්" සමුළුවේ (Postdam Conference) එකඟතාවන්ට අනුවය. බෙදනු ලැබූ කලාප හතරෙහි පදිංචි වූයේ ඇමරිකා එක්‌සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා සෝවියට්‌ සංගමයයි. ජර්මන් අගනගරය වූ බර්ලිනයේ තත්ත්වය ද එලෙසම විය.

එහෙත් මේ මිත්‍ර රටවල් අතර තිබූ බැඳීම ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටෙන තත්ත්වයක්‌ උදාවිණි. ජර්මනියේ පදිංචි කිරීම් පිළිබඳව තිබූ එකඟතාවන් ඉතා ශීඝ්‍රයෙන් බිඳ වැටෙන ලකුණු පහළ විය. සෝවියට්‌ සංගමයද ඇතුළුව මේ සියලු ජාතීන් එක්‌ව සිටියේ ජර්මනිය සමගි සම්පන්න කිරීමේ අරමුණින් වුවද, බලවත් රටවල් අතර ඇති වූ මතබේද එවැන්නකට ඇති ඉඩ කඩ අවුරාලීය. අවසානයේ ඒ ජාතීන්ම එක්‌ව ජර්මනිය නැගෙනහිර සහ බටහිර වශයෙන් දෙකඩ කළේය. මේ බෙදීම ප්‍රජාතන්ත්‍රවාදය හා කොමියුනිස්‌ට්‌වාදය අතර බෙදීමක්‌ ලෙස ගත හැකි දේශපාලන සීමාවක්‌ බවට පත් විය.

ඒ අනුව 1949 දී නව මිත්‍ර සන්ධානයක්‌ ලෙස කලාප තුනක්‌ ගොඩනගාගෙන සිටි ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය එක්‌ව බටහිර ජර්මනිය පිහිටුවා ගත්තේය. එය ෙµඩරල් ජර්මන් සමූහාණ්‌ඩුව (FRG) ලෙස හැඳින්විණි. සෝවියට්‌ සංගමය පිහිටුවා ගත්තේ නැගෙනහිර ජර්මනියයි. එය ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (GDR) ලෙස නම් කෙරිණි. කෙසේ හෝ මේ බෙදීම නිසාම මතු වූ අර්බුදකාරී තත්ත්වය මත බර්ලින් නගරය අත්පත් කර ගත්තේ සෝවියට්‌ කලාපයයි. එහෙත් අපූර්වතම සිදුවීම වූයේ කොමියුනිස්‌ට්‌වාදී නැගෙනහිර ජර්මනිය තුළ බර්ලිනය ප්‍රජාතන්ත්‍රවාදී දිවයිනක්‌ ලෙස නම් කිරීමය.

ඉතා කෙටි කාලයක්‌ තුළ දෙපසට පත්a පාර්ශ්වයක්‌ තුළ විශාල වෙනස්‌කම් දක්‌නට ලැබිණි. බටහිර ජර්මනිය ගොඩනැඟුණේ පූර්ණ වශයෙන් ධනවාදී සමාජයක්‌ පාදම කර ගනිමිනි. ඒ බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ඇමරිකාවේ උදව් ඇතුවය. බටහිර ජර්මනිය බලා සිටියදී දියුණු වීම එවකට "ඉන්ද්‍රජාලික ආර්ථිකය" ලෙස අපූරු යෙදුමකින් හැඳින්විණි. බටහිර ජර්මන් ජනයා එතෙක්‌ තමන් ගත කළ ජීවිත වෙනුවට අතිශය සුඛෝපභෝගී සුපිරි ජීවන රටාවකට හුරුවෙමින් සිටියහ.

එහෙත් නැගෙනහිර ජර්මනියේ සිදුවූයේ ඊට ඉඳුරාම වෙනස්‌ තත්ත්වයකි. තමන්ට අයත් කලාපය ගැන සෝවියට්‌ සංගමයට තිබුණේ වෙනස්‌ ආකාරයේ කියෑවීමකි. යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශයක්‌ ලෙස නැගෙනහිර ජර්මනිය කෙරෙහි සෝවියට්‌ සංගමයේ උනන්දුව උදාසීන එකක්‌ විය. කොමියුනිස්‌ට්‌ වාදයට එකඟ සමාජයක්‌ බවට පරිවර්තනය වෙමින් සිටි නැගෙනහිර ජර්මන් ජනයා 1950 දශකය වනවිට බටහිර ජර්මනියට පැන යන්නට වූයේ අන්ත දිළින්දන් ලෙසිනි. ඊට වැටකඩොලු බඳින විටත් විශාල පිරිසක්‌ බටහිර ජර්මනියට පැනගොස්‌ තිබූ අතර, පැන ගිය අය අතර නැගෙහිර ජර්මනියේ බුද්ධිමතුන් හා ඉහළ වෘත්තිකයන් රැසක්‌ විය. විවිධ වෘත්තීන් හි නියෑලී පිරිස ද පැනගොස්‌ තිබිණි 1961 වර්ෂය වනවිට නැගෙනහිර ජර්මනියෙන් පැන ගිය පිරිස විසිපන්ලක්‍ෂය ද ඉක්‌මවා තිබිණි. ඒ වනවිට නැගෙනහිර ජර්මනියේ ඉතිරි වී සිsටියේ, ඉතා සුළු පිරිසකි.

1961 අගෝස්‌තු 13 වැනිදා රාත්‍රිය එළිවනවිට බටහිරත් නැගෙනහිරත් විසූ ජනතාව විමතියට පත් වන සිදුවීමක්‌ දකින්නට ලැබිණි. ඒ කිලෝමීටර් 1380 ක්‌ වූ දේශසීමා වටකරමින් කටුකම්බි වැටක්‌ ඉදිකර තිබීමය.

ඊට පෙර දින රාත්‍රියේ දහස්‌ ගණනින් වූ සොල්දාදුවෝ, කම්කරුවන් රැසක්‌ද සමගින් පැමිණ, බටහිර බර්ලිනයේ පාරවල්වලට කඩා වැදුණේ නැගෙනහිර ජර්මනිය වෙන් කරන "වැට" ඉදි කිරීමටය. ඔවුන් රැයක්‌ එළිවන විට වැට ඉදිකර අවසන් විය. අනතුරුව මුරකාවල්ද යෙදීය. බටහිර ජර්මනියට පැන ගිය ඥතීන්, සොහොයුරන්, සොහොයුරියන්. මව්පියන් එක්‌ පසෙක සිටියදී, සිදුවූ අරුම සීමා වෙන්කිරීමේ දුක ඔවුනට දරාගත නොහැකි විය. පෙරදා රාත්‍රියේ තමන් සිටි පැත්තෙන් එක්‌ පැත්තකට කොටු වූ පිරිසට කර කියා ගත දෙයක්‌ නොහැකි විය.

1965 වනවිට කටුකම්බි වැට දැවැන්ත තාප්පයක්‌ ලෙස ගොඩනැඟී තිබිණි. එමෙන්ම දැඩි මුරකාවල්ද යොදා තිබිණි. තාප්පයට ඉහළින් කටු කම්බි අතුරා තැබුවේ කිසිවකුටත් පැන යා නොහැකි අයුරිනි. එහෙත් පැන යැමට තැත් කළ පිරිසේ සීමාවක්‌ ඇති කරන්නට "සීමාවට" බැරි තරම්විය. බොහෝ පිරිසක්‌ රෙදි බැලුනවල නැඟී බටහිර ජර්මනියට පලා ගිය බවද සඳහන් ය.

බර්ලින් තාප්පය එලෙස වසර 28 ක්‌ පුරා නැගෙනහිර ජර්මනියේ වැසියාගේ දුක දෙස බලා සිටියේය. තත්ත්වය වෙනස්‌වන්නට පටන් ගත්තේ සෝවියට්‌ සංගමයේ බිඳවැටීමත් සමගමය. රට තුළ නව වෙනසක්‌ දකින්නට කැමැති වූ සොවියට්‌ නායකයන් ගත් තීරණය නිසා තාප්පය තරණය කිරීමේ අවස්‌ථාව ජනතාවට හිමි විය. නැගෙනහිර ජනතාව හදිසියේ උදාවු අවස්‌ථාව ප්‍රයෝජනයට ගනිමින් කුළුගෙඩි ගෙන බර්ලින් තාප්පය බිඳ හෙළන්නට පටන් ගත්තේය ඒ 1989 නොවැම්බර් 09 වැනිදාය.

නැගෙනහිර - බටහිර ජනතාව එකට එක්‌වූයේ සතුටු කඳුළු වගුරුවමිනි. ගී ගායනා අවට සිසාරා ඇසිණි. බොහෝ පිරිසක්‌ බර්ලින් තාප්පය බිඳ දැමූ පසු එහි කොටස්‌ සිහිවටන ලෙස තබා ගන්නටද කටයුතු කළාය.

වසර ගණනාවක වෙන්වීමේ දුක ප්‍රීතියක්‌ බවට හැරවුණු තවත් උත්කර්ෂවත් අවස්‌ථාවක්‌ උදා වූයේ 1990 ඔක්‌තෝබර් 03 වැනිදාය. ඒ නැගෙනහිර ජර්මනියත් බටහිර ජර්මනියත් එකට එක්‌වී තනි රාජ්‍යයක්‌ බවට පත් කර ගැනීමත් සමගය.

ශිරෝමි මාපා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.