වීදියට නොව අපායට යන
පකිස්‌ථානයේ වීදි දරුවන්


ඔවුන්ගේ ජීවිත වල රැයත් දවාලත් යනු එකක්‌ම පමණක්‌ විය. බොහෝ රාත්‍රීන් ගෙවී ගියේ නිදිවර්ජිතවය. එහෙයින්ම දරුවකුට නිසි වයසේදීම හිමිවිය යුතු කිසිදු අයිතිවාසිකමකට ඔවුහු හිමිකම් නොකීහ.

නිවස වෙනුවට ඔවුන් ''වීදිය'' සිය උරුමය බවට පත්කර ගෙන ඇත්තේ කවරෙකුගේ වරදින්දැයි සොයා බැලීම නිශ්ඵලය. ආසියාතිකරයේ බොහෝ රටවල බොහෝ සෙයින් දක්‌නට ලැබෙන වීදි දරුවන්ගේ කතාන්දරය මීට සමාන එකක්‌ බව සැබෑය. එහෙත් පාකිස්‌තානයේ තත්ත්වය ඊටත් වඩා දරුණුය.

ඊට හේතුවී ඇත්තේ මේ වීදි දරුවන්ට අත්විඳින්නට වී ඇති ලිංගික පීඩනයයි. විශේෂත්වය වන්නේ එය එල්ලවන්නේ නීතිය හා සාමය රකින්නට සිටින පොලිසියෙන්ම වීමය.

පාකිස්‌ථානයේ වීදි දරුවන් බොහෝ දෙනකුගේ කතාව එකක්‌ය. ඒ වීදියට විසිවුණු පළමු දිනයේ හෝ දෙවැනි තුන්වැනි දිනය වනවිට තමන් පොලිස්‌ නිලධාරීන්ගේ ගොදුරක්‌ බවට පත්වූ බවය.

කලකට ඉහත ඒ. එෆ්. පී. පුවත් සේවයට ඒ ගැන විස්‌තර කරන ''නදීම්'' කුඩා දරුවකුව තමන්ට විඳින්නට වූ ලිංගික අතවර ගැන බොහෝ දේ පවසා තිබිණි. 2011 වර්ෂයේදී නදීම්ගේ වයස අවුරුදු 17 කි. ඔහු පොලිසියේ අයගේ නරකම අත්දැකීම් වලට මුහුණ දෙන්නේ දොළොස්‌ හැවිරිදි කොලු ගැටයකුව සිටියදීය.

මම කෑගහලා ඇඬුවා. කවුරුවත් මාව බේරගත්තේ නෑ. ඔහු කියා තිබිණි. ඊට ටික කාලයකට පසු ඔහු වීදියේ සිටින කොලු නඩයකට එක්‌වන්නේය. දිගු කලක්‌ වීදියේ ගත කර ඇති නිසාම ඒ අත්දැකීම් වලින්ම පෝෂණය වූ කොලු නඩයේ චර්යාවද එතරම් යහපත් මට්‌ටමක තිබුණේ නැත. නදීම් ඒ කොලු නඩයට එක්‌කාසු වන්නේ පොලිස්‌ අතවර මදිවාට ඒ කොලු රංචුවේ නායකයාව සිටි ''වීදි කොලු නායකයා'' අතින් ලිංගික හිංසනයට පත්වීමෙන් අනතුරුවය. එවකට ඔහු 14 වැනි වියෙහි පසුවිය. සැබවින්ම ඔහු ඒ කණ්‌ඩායමට බැඳුනා නොව බලහත්කාරයෙන් බඳවා ගත්තා යෑයි කීම නිවැරදිය. පසුකලෙක නදීම් තමන්ගේ රැකියාව බවට පත්කර ගන්නේද ලිංගික ශ්‍රමය ලබාදීමයි.

පාකිස්‌ථානයේ වීදි දරුවන් ලිංගික අපචාරයන්ට ලක්‌වීම සිදුවන්නේ පොලිසිය අතින් පමණක්‌ නොවේ. වීදියම ජීවිතය කරගත් තවත් බොහෝදෙනා අතිනි.

පාකිස්‌තානයේ වීදි දරුවන් වැඩි වශයෙන්ම සිටින්නේ ''කරච්චි'' නුවරය. අතිශය සංකීර්ණ ජීවන රටාවකට හුරුවූ වැසියන් වාසය කරන කරච්චියේ දරුවන් වීදියට ඇද දමන්නට හේතු සාධක වන කාරණා බහුලය. බොහෝ විට පවුල් අඬදබර, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය ඒ සමාජ සංස්‌ථාවේ පවතින ප්‍රචණ්‌ඩත්වය ආදී බොහෝ කාරණා ඊට ඇතුළත්ය.

වීදියට ඇද වැටෙන දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම ප්‍රචණ්‌ඩත්වයට (අපරාධවලට) යොමුවීම විවිධ අන්තවාදී ආගමික කල්ලිවලට බලයෙන් යොමුකරවීම නිරන්තරයෙන් සිදුවන්නකි.

මේ සියලු දැ සිදුවන අතරවාරයේ ''පොලිස්‌ කරදර'' වලට මුහුණපෑමට සිදුවීම වීදි දරුවන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක්‌ බවට පත්ව ඇත. මෙවැනි දරුවන් ගැන ලෝකයට දිගින් දිගටම තොරතුරු වාර්තාවීමත් සමගම විවිධ පුණ්‍ය ආයතන, (රාජ්‍ය නොවන සංවිධාන) රැසක්‌ දරුවන් වෙනුවෙන් දරුවන් රැක බලා ගැනීම වෙනුවෙන් වීදියට බැස ඇත. එහෙත් දීර්ඝ කාලයක්‌ එලෙස කටයුතු කළද තවමත් ප්‍රශ්නයට නිසි විසඳුමක්‌ සෙවීමෙහි මාවතක්‌ නැත.

බොහෝ වීදි දරුවන්ට මේ තත්ත්වයෙන් ගොඩ ඒමේ අවශ්‍යතාව ඇති නමුත් ඒ තත්ත්වයෙන් මිදෙන්නේ කිහිප දෙනෙකු පමණි. එසේ යම් යම් රාජ්‍ය නොවන සංවිධාන සමග එකතුව සිය ජීවන මඟ වෙනස්‌ කරගන්නට කටයුතු කළ වීදි දරුවන් ද බොහෝමයකි. සලීම් ද එවැන්නෙකි.

මම හිටපු තැනින් ආපහු එන්න මට ටික කාලයක්‌ ගියා. ඒ කියන්නේ මම රස්‌සාවක්‌ ඉගෙන ගත්තා. සමාජයේ ජීවත්වෙන්න ඉගෙන ගත්තා. ඒත් කරච්චයේ වීදි වලින් එළියට එන්න මගේ හිත හදාගන්න සෑහෙන කාලයක්‌ ගියා.

ඒකට හේතුව මම ගෙදරින් අයින් වෙලා වීදියට ආපු මොහොතේ ඉඳලා ඇති තරම් දුක්‌ වින්දා වගේම, ඇති තරම් නිදහසත් බුක්‌ති විඳපු නිසයි. ඒත් මම හිතනවා අපි හැමෝම ඒ අය එතනින් එළියට ගන්න මහන්සි ගන්න ඕන කියලා.

පකිස්‌ථානයේ ඇති HDF Human Development Foundation මානව සංවර්ධන පදනම නම් සිය සංවිධානයේ නිලධාරීන් කියන්නේ නිදහස බුක්‌ති විඳිම කෙසේ වෙතත් පාකිස්‌ථානයේ වීදි දරුවන්ගෙන් හරි අඩක්‌ පහරදීම්වලට සහ වධදීම්වලට ලක්‌වන බවය. බොහෝ විට එම දරුවන් ඝාතනය කිරීමද සිදුවන බව එම සංවිධානය පවසයි.

රාජ්‍ය නොවන සංවිධානයක උපකාරයෙන් තම ජීවිතය වෙනස්‌ කරගන්නට උත්සාහ දැරු වීදි දරුවන් පොලිසිය විවිධ බොරු චෝදනා දක්‌වමින් ඔවුන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ සිදුවීම්ද බහුලය.

පාකිස්‌තානු දේශපාලනය අතිශය සංකීර්ණ පසුබිමක වත්මන වනවිටත් පසුවන්නේය. එය හොඳ අතට පෙරළීමේ ඉඩකඩ ඉතා අල්පය. එහෙයින්ම රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියෙහි එතරම් දියුණු තත්ත්වයක්‌ පෙනෙන්නට නැත. එමෙන්ම ආගමික අන්තවාදී කණ්‌ඩායම්වල නවාතැන්පළක්‌ද, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ ආයුධ වෙළඳාමේ සුපිරි අයද අඩුවක්‌ නැති පාකිස්‌ථානයේ කිසිවකුටත් වීදි දරුවන් ගැන හිතන්නට කාලයක්‌ ඉතිරිවේද?

ශිරෝමි මාපා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.