වෙනස්‌ වෙනවනම් අවුරුදු 85ත් වයසක්‌ද?
ඒත් එහෙම වෙන්නේ නෑ!

බලු වලිගය උන පුරුකේ දැම්මත් ඇද අරින්නට බැරි යෑයි කියමනක්‌ තිබේ. එහෙම කියන්නේ වෙනස්‌ කරන්නට, වෙනස්‌වන්නට බැරි මිනිසුන් උදෙසාය. වෙනස්‌වීමේ හොඳ මෙන්ම නරක පැතිද තිබේ. ආදරය කරද්දී "වෙනස්‌වීම" ලෙඩ - අවුල් රාශියකට මග පාදන්නේය. එහෙත් සමහර "නරක" පුරුදු වලින් වෙනස්‌වීම අවුල් ලිහන - ලෙඩ මඟ හරින්නට ප්‍රතිකර්මයි.

86 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික "ජැක්‌ හැඩොක්‌" වෙනස්‌ නොවන මිනිසෙකි. විශේෂත්වය වන්නේ ඔහු නොවෙනස්‌ව තම ජීවිත කාලයෙන් වසර 85 ක්‌ම "එකම නිවසක" ජීවත් වීමය.

එයද එතරම්ම කරුණක්‌ නොවේ යෑයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් ජැක්‌ හැඩොක්‌ එම නිවසට පමණක්‌ නොව ඒ තුළ ඇති භාණ්‌ඩ හා අවට පරිසරයද වෙනස්‌ කරන්නට අකැමැතියි. විශේෂත්වය එයයි.

1928 වර්ෂයේ ඔහු වසරක බිළිඳකු අවධියේ ඔහුගේ මවුපියන් එම නිවසට පැමිණ තිබේ. ඔහු වර්තමානයේ ශ්‍රවණය කරන්නේ ද එකල ඔහු සවන් දුන් රේඩියෝ යන්ත්‍රයමය. 1939 දෙවන ලෝක යුද්ධය ඇරඹී වගට කළ නිවේදනයද ඔවුන් ඇසුවේ එම රේඩියෝවෙන් බව ජැක්‌ පවසන්නේ අභිමානයෙනි. එපමණක්‌ නොව අදද ඔහු භාවිත කරන්නේ ඔහු බිළිඳකුව සිටි අවධියේ භාවිත කළ බොහෝ භාණ්‌ඩය. දෙවන ලෝක යුද සමයේ ජර්මානු ගුවන් බෝම්බ ප්‍රහාරයන්ගෙන් බේරෙන්නට, සිය නිවසට අයත් විශාල මිදුලේ තනා තිබුණු ආරක්‍ෂිත කුටියද තවමත් ඒ ආකාරයෙන්ම පවතී. වෙනසකට ඇත්තේ කුටියට ඉහළින් ඇති වහලේ යකඩ වැසුම දිරාපත්වීම පමණකි..

"මොන හේතුවක්‌ නිසා හරි මම මේ ගෙදරට කැමැතියි. මං මේ ගෙදරට ආදරෙයි. මේ පළාතේ ඉන්න වැඩි දෙනෙක්‌ මාව දන්නවා. මේ ගෙදරින් අයින් වෙලා යන්න මට ඕන නෑ.

"ජැක්‌ හැඩොක්‌" කියන්නේය.

"ජැක්‌" රාජකීය ගුවන් හමුදාවේ හිටපු සොල්ලාදුවෙකි. ඔහුගේ නිවස පිහිටා ඇත්තේ වේල්සැල් හි වෙබ්ස්‌ටර් පාරේය. එය නගර සභාවට අයත් නිවසකි. එහි කුලිය පසුගිය වසර 85 ක්‌ පුරාවටම කිසිවිටෙකත් අතපසු නොකර ගෙවන්නට හැඩොක්‌ පවුලේ උදවිය අමතක කරන්නේ නැත.

වේල්සැල් කවුන්සිලය එම නිවස ඉදිකරන්නට පවුම් 295 ක මුදලක්‌ එකල වැය කර ඇත. හැඩොක්‌ගේ පියා එවකට, එනම් 1920 ගණන් වල ට්‍රෑම් රථවල සේවකයකු ලෙස කටයුතු කළ අයෙකි. එකල වේල්සැල් කවුන්සිලයෙන් නිවාස ඉල්ලුම් කළ බොහෝ දෙනෙක්‌ වූහ. හැඩොක්‌ගේ පියාද ඉන් එක්‌ අයෙකි.

"දැන්, මෙහෙම තිබුණට අපි මේ ගෙදරට එන කාලේ, මේක ඒ යුගයට ගැලපෙන නවීන පන්නයේ ගෙදරක්‌. නාන කාමරයක්‌ ඇතුළු සියලු පහසුකම් එහි තිබුණා.

ජැක්‌ හැඩොක්‌ මේ ගෙදර ගත කරන්නේ අතිශය සැහැල්ලු සිතිනි, මනසිනි. හැඩොක්‌ ව්‍යායාම පිණිස බයිසිකල් පැදීම නොකඩවා රැගෙන එන පුරුද්දකි. ජැක්‌ තමන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන ඒමට ගොඩ වදින වෙළෙඳසලක්‌ වේ. ජැක්‌ ඇතුළු ඔහුගේ පවුලේ අයගේ ඒ පුරුද්ද 1930 වර්ෂයේ, එනම් ඔහුට වයස අවුරුදු දෙකේ සිට පැවත එන්නකි. ඒ පුරුද්දට හේතුව විමසන අයටද ඔහුට දෙන්නට උත්තරයක්‌ තිබේ.

"ඒක නියම වික්‌ටෝරියානු ක්‍රමයට ගෙන ගිය වෙළෙඳසැලක්‌ හැම දෙයක්‌ම හරි විදියට ලැබුණා. අයිතිකාරයත් පිළිවෙළකට ලස්‌සනට ඇඳලා පැළඳලා ඉන්නවා.

50 දශකයේ අග භාගයේ ජැක්‌ හැඩොක්‌ පූර්ණ තනිකඩයකු බවට පත්වූයේ මවුපියන් මියයැමත් සමඟය. එම නිවස යම් තරමකට නවීකරණය වූයේද, 2000 වර්ෂයේදී වේල්සැල් කවුන්සලයේ සංකල්පයක්‌ වූ "ප්‍රියමනාප නිවස" (DECENT HOME) ව්‍යාපෘතිය යටතේ එම නිවස සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරනු ලැබීය. ජැක්‌ තනිකඩයකු ලෙස ජීවත්වීමට හේතුවී ඇත්තේද "ගෙදර ප්‍රශ්නය" මය. 70, 80 දශකයන් හි ප්‍රේමණීය පුද්ගලයකු වූ ජැක්‌ට "ආදරයක්‌" තිබිණි. ජැක්‌ කියන්නේ තම "ආදරණීය කෙල්ල" සමඟ තමන්ගේ නිවසට හැතැප්ම ගණනාවක්‌ දුරින් පිහිටි ඇයගේ ගෙදරට යැම තමන් ප්‍රතික්‍ෂේප කළ බවයි. ජැක්‌ගේ කසාදය එතැනින්ම අහවර විය.

විවාහය වෙනුවෙන් "වෙනස්‌" වූ ජැක්‌ නිවස වෙනුවෙන් "වෙනස්‌" වූයේ නැත.

මේ වනවිට ජැක්‌ගේ ජීවිත කතාව §The House That Jack Built" නමින් එළිදැක තිබේ. එය රචනා කර තිබෙන්නේ වොල්සල් කවුන්සිලයේ ඉදිකිරීම් සමාගමේ "රොබ්" නම් ලේඛකයකු විසිනි.

ජැක්‌ හැඩොක්‌ගේ "ගෙදර ආදරය" ගැන කියවෙන පොත අලෙවිය අතින්ද සාර්ථක වන්නේ වෙනස්‌ නොවුනත් වෙනස්‌ නොවන මිනිහෙක්‌ ගැන, වෙනස්‌ම පොතක්‌ කියවන්න වැඩිදෙනෙක්‌ ආසකරන නිසා වෙන්න පුළුවන්.

ශිරෝමි මාපා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.