බල්ලන් ඡේත්තු කිරීම

රූපලාවන්‍යාගාර මධ්‍යස්‌ථානයන්ට මෙතෙක්‌ කල් ගියේ මිනිසුන් වුණත් හෙට අනිද්දාට බල්ලන්ටත් මෙම පෝලිමට එකතු වෙන්න සිද්ධ වෙයි. මිෂෙල් සතුන්ට බොහොම ආදරය කරන කාන්තාවක්‌. ඒ වගේම ඇයට වුවමනා වුණා තමන්ගේ දරුවන් වගේ සිටින සුරතල් සතුන්ටත් රුව රකින, සරසන කටයුතු කරන්න. තමන්ගේ නිවසේ සිටින බල්ලන් දෙන්නා වෙනුවෙන් පමණක්‌ මේ කටයුතු වෙනුවෙන් ඇය පවුම් 6000 ක මුදලක්‌ වැය කරනවා. සතුන්ගේ හැඩ රුව බලා සතුටු වෙනවා වගේම මෙම කටයුත්තෙන් සුරතල් සතුන්ගේ සනීපාරක්‌ෂාවත් ඉබේටම සැලසුනා. තමන් විසින් මුල පුරපු සත්ව සත්කාරක කටයුත්ත සමාජගත කරන්න මිෂෙල්ට හිතුනා.

මිෂෙල් ඉන්ච් විසින් නිවැසි සුරතලුන් වෙනුවෙන් මේ රූපලාවන්‍යාගාරය ආරම්භ කළේ 2013 අගේස්‌තු මාසයේදී දකුණු වේල්සයේ. මේ වන විට බලු ගනුqදෙනුකාරයන් දෙදහසකට පමණ ඇයගේ සේවය ලබාදී තිබෙනවා. බැලූ බැල්මට මේක බල්ලන්ට සීමා වුන රූපලාවන්‍යාගාරයක්‌ කියල නම් කියන්න අමාරුයි. ඒ තරමටම සැප පහසුවෙන් ඉහලයි. සුඛෝපභෝගී නානකාමර, පිරිසිදු ගෙබිම, දිලිසෙන පහන් කූඩු, ඖෂධීය ජලය, රූපලාවන්‍ය උපාංග සහ මෙවලම් ආදී සියලු දේම ඉස්‌තරම් විදිහට තිබෙනවා. මේ රූපලාවන්‍යාගාරය ඉදිකරන්න මිෂෙල් පවුම් 40,000 ක මුදලක්‌ ප්‍රාග්ධනය ලෙස යොදවා තිබෙනවා.

ගෙදර ඇතිකරන සතුන්ට දරුවන්ට වගේ සලකන හාම්පුතුන්ට මේ ආරංචිය බොහොම වැදගත් වේවි. බල්ලන්ගේ පිරිසිදුකම ගැනත් සැලකිල්ලෙන් සිටීම අවශ්‍යයි. ශැම්පු සහ කන්ඩිෂනර් යොදාගෙන ශරීරයේ පිරිසිදුකමට සත්කාර කිරීම වගේම ලොම් වර්ණ ගැන්වීම, දිස්‌න රටාවන් glitter designs ගැන්වීමත් මේ රූපලාවන්‍යාගාරයේදි සිදුවෙනවා. මේ කාර්යය වෙනුවෙන් පවුම් 60 සිට 100 දක්‌වා අතර මුදලක්‌ වෙනවා.

ඒත් එක්‌කම ඉස්‌සර කාලයේ වගේ බල්ලන් ජීවත් වෙන්නේ ගෙදර එළිපත්තේ නෙවෙයි. මේ අයත් මිනිසුන්ගේ සමාගමේ සිටිනවා. නවීකරණය වුණ නිවෙස්‌වල ගෙබිමත් දැන් පිඟන් ගඩොල් යොදා ගෙන සුපිළිවෙළට තියෙද්දී බල්ලන්ගේ නියපොතුවලින් සිරීම් පලුදුවීම් සිද්ධවෙන්න තිබෙන ඉඩකඩ බොහොමයි. මේ හින්දා බල්ලන්ගෙයි මිනිසුන්ගෙයි දේපළ අතර ආරක්‌ෂාවට බල්ලන්ගේ නියපොතු ආවරණය කිරීමත් රූපලාවන්‍යාගාරයන්හි සිද්ධ වෙනවා. ඒ කරන්නෙත් බල්ලන්ගේ හිමිකම් අහිමි වෙන විදිහට නෙවෙයි. මෙම නිය අලංකාර විසිතුරුව සකස්‌ කරන අතර ඒ වෙනුවෙන් පවුම් පහක මුදලක්‌ අය කරනවා.

ඒ විතරක්‌ නෙවෙයි බල්ලන් වෙනුවෙන් වූ සාදයන්ට ගැලපෙන උපන් දින කේක, අයිස්‌ක්‍රීම් විතරක්‌ නෙවෙයි. අලංකාර ඇඳුම් ආයිත්තම් ආභරණ ආදියත් මිලට ගන්න පුලුවනි. බල්ලන් වෙනුවෙන් වූ කරපටි විවිධාකාරව විසිතුරුව නිර්මාණය කරලා තිබෙනවා. තමන්ගේ සුරතලා ඉස්‌මතු කර ගැනීමට කැමැති අය ඇවිත් මේවා මිලට ගැනීමට දැන් පටන් ගෙන. බල්ලන් වෙනුවෙන් වූ විවිධ ඇඳුම් තරග බ්‍රිතාන්‍යයේ සුලබයි. ඒ වගේ අවස්‌ථාවන්ට මිෂෙල්ගේ මේ මධ්‍යස්‌ථානයෙන් විශාල මෙහෙවරක්‌ සිද්ධ වෙනවා.

බල්ලන්ගේ ඇස්‌වලින් කඳුළු ගැලීමෙන් මුහුණට ඇති වන ලප ඉවත් කරල මුහුණු සත්කාරය ෙ-ස්‌ක වෙනුවෙන් පවුම් දහයක මුදලක්‌ අය කරනවා. මේ විදිහට සත්කාර කිරීමෙන් බල්ලන්ට මහත් වූ සැහැල්ලුවක්‌ දැනෙනවා. ඇගේ රූපලාවන්‍යාගාරයේ සිටින චිහුවාහුවා Peekaboo සුනඛ පෝතකයා මේ සත්කාරවලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ විතරක්‌ නෙවෙයි ඇගේ අලෙවිසැලේ තිබෙන බල්ලන්ගේ ඇඳුම් ආයිත්තම් අලෙවි කිරීමටත් මේ Peekaboo සහ වකුටු කෙස්‌ ඇති poodle වර්ගයේ බල්ලා හෙවත් Fernando ගෙන් ලැබෙන සහයෝගය බොහොම ඉහලයි.

මෙවන් ස්‌වයං රැකියාවක නිරත වීමට තමන්ට උනන්දුව ඇති වුණේ ව්‍යාපාර වෙනුවෙන් වු රාජ්‍ය භාරකාර පදනමේ නියෝජිත Alun Cairns විසින් තරුණ පරම්පරාව ව්‍යවසාය කටයුතු වෙනුවෙන් යොමු කිරීමට දක්‌වන අනුග්‍රහය නිසා බව මිෂෙල් සඳහන් කරනවා.

මේ විදිහට ගියොත් බල්ලොත් එක්‌ක හිටියොත් බලු මැක්‌කන් එක්‌ක නැගිටිනවා කියන කියමනටත් අපිට තිත තබන්න වෙයි වගෙයි නේද ?....

පුණ්‍යා චාන්දනී ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.