නින්ජාවරුන්ට, නින්දා නොකරන..
යන අය නින්ජා කරන...

නින්ජා ගම්මාන....


නින්ජාවරුන් ගැන අප අසා තිබෙන දැ බොහෝය. අසා තිබෙන දේ ගැන යම් තරමක හෝ විශ්වාසයක්‌ ජනිත කරන්නේ නින්ජා චිත්‍රපටයය. එහෙත් ඒ සියයට සියයක්‌ම නොවේ. නින්ජාවරු අතිදක්‌ෂ සටන් කරුවන් සේම ඉන්ද්‍රජාලික සටන්කරුවන් පිරිසක්‌ ලෙසද හැඳින්වෙන්නේ, අතුරුදන්වීම්, ක්‍ෂණයකින් සිදුකරන වෙනත් ප්‍රතික්‍රියාවන් ආදිය නිසාය.

කෙසේ හෝ බොහෝ දෙනෙක්‌ මේ ගැන අත්දැකීමක්‌ ලබාගන්නට කැමැත්තෙන් පසුවන බව නම් විශ්වාසය. දශක හයක්‌ ඉක්‌ම ගිය නින්ජා සංස්‌කෘතියටත්, බොහෝ අයගේ මේ කැමැත්තටත් ඉඩදිය හැකි ආකාරයේ අපූරු ගමක්‌ නිර්මාණය කරන්න ජපානයට පුළුවන් වුණා. ඒ අනුව දේශීයව ජපන් ආර්ථිකය නැංවීම සඳහාත් සංචාරක ආකර්ශණය දිනා ගැනීම සඳහාත් නින්ජා පුහුණුවක්‌ ලබාදෙන්න ජපානය කටයුතු කරනවා.

ඊට යොදාගෙන තිබෙන්නේද ජපානයේ නින්ජා සංස්‌කෘතියේ උපන්බිම හැටියට හඳුනාගෙන ඇති "නබාරි" ප්‍රදේශයේ හා "ඉගා" ප්‍රදේශයේ. මේ ප්‍රදේශවල සංචාරය කරන කෙනෙකුට මේ නින්ජා පුහුණුවේ අපූරු අත්දැකීම විඳගන්න පුළුවන්. නබාරි පුහුණු කඳවුරේදී නින්ජා සටන් ක්‍රමවලට ආවේනික උස බිත්ති දිගේ ගමන් කිරීම, හෙල්ල භාවිතය, ලණුවක නැඟී ගංගා හා කඳු තරණය, දියමත ගමන් කිරීම, විවිධ ආයුධ භාවිතය ගැන ඉගෙනගන්න පුළුවන්කම තිබෙනවා.

ඉහත ප්‍රදේශයේදී මේ අත්දැකීම්වලට වඩා වෙනස්‌ අත්දැකීමකට මුහුණ දෙන්න සහභාගිවන අයට පුළුවන්කම තිබෙනවා. නින්ජාවරුන්ගේ ඉතිහාසය, ඔවුන් ගැන බොහෝ දෙනෙක්‌ නොදත් දේ ගැන එතැනදී අධ්‍යයනය කිරීමට අවස්‌ථාවක්‌ ලැබෙනවා. වාර්ෂිකව නින්ජා සමරු උත්සවය පැවැත්වෙන්නේද ඉගා නගරයේ වීම විශේෂත්වයකි.

මෙම ප්‍රදේශයේ නින්ජාවරුන්ගේ සාම්ප්‍රදායික බිම් පෙදෙස ලෙස හැඳින්වීමටද හේතුවක්‌ ඇත. එම ප්‍රදේශයේ පවත්නා කඳු සහිත වටපිටාව හා ගුප්ත බව නින්ජාවරු පිළිබඳව මත සනාථ කරවන ස්‌වරූපයකින් යුක්‌තය.

සංචාරයට පැමිණෙන බොහෝ දෙනෙක්‌ තුළ මේ නින්ජා ගම්මාන ගැන තිබෙන්නේ ප්‍රසාද ජනක හැඟීමකි. ඒ නව ආරක අත්දැකීමක්‌ ගෙන එන හෙයිනි.

ගනීෂා අමාලි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.