ඒ හමුවූයේ සිදුහත් උපතට සෙවණ දුන්
ඓතිහාසික සල් ගසද?


ස්වකීය 20 වැනි රාජාභිෂේකය සැමරීම සඳහා මෙයට අවුරුදු 2258 කට පෙර (එනම් ක්‍රි. පූ. 245 දී) කපිලවස්‌තු නගරයේ ලුම්බිණි සල් උයනට පැමිණි ධර්මාශෝක මහ රජතුමා සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ස්‌ථානයෙහි සෙල්ලිපියක්‌ සහිත ස්‌ථම්භයක්‌ පිහිටුවන ලද බව ඉන්දියානු ජනප්‍රවාදයේ ආවද 1896 වනතුරු ඒ ස්‌ථානය කවර තැනක තිබෙන්නේ ද යන්න මතභේදයට තුඩුදී තිබිණි. එයට හේතුව 1885 -95 අතර කාලය තුළ ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශවල පුරාවිද්‍යා කටයුතු පිළිබඳ අධීක්‍ෂණ නිලධාරියා හෙවත් Archiological Surveyor ලෙස කටයුතු කළ ජර්මන් ජාතික ආචාර්ය Alois Anton Fuhrer (ඇලොයිස්‌ ඇන්ටන් ෆරර්) ඉන්දු නේපාල දේශ සීමාව අසලින් කෙළවරක්‌ නැතිව "කපිලවස්‌තුපුර" ගණනාවක්‌ම සොයාගෙන තිබීමය. ධර්මාශෝක රජතුමා කපිලවස්‌තුවට එන විටත් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවී වසර තුන්සියයක්‌ පමණ ඉක්‌ම ගොස්‌ තිබිණි. සාමාන්‍ය පිළිගැනීමට අනුව සිදුහත් කුමාරයා ඉපදී තිබුණේ ක්‍රි. පූ. 623 සහ 340 අතර කාලය තුළය. මේ අතර එම උපත ක්‍රි. පූ. 527 දී සිදුවූ බවටද ඔප්පු නොකළ මතයක්‌ විය. සිදුහත් කුමරා උපත ලැබූ වසර සොයාගත හැකි නම් කුමාරයාණන් වහන්සේගේ උපන් දිනය සොයා ගැනීම ඉතා ලෙහෙසිය. මන්ද යත් උපත සිදුවී තිබුණේ වෙසක්‌ පොහොය දවසක නිසාය. මේ සියලු කරුණු සලකා සිදුහත් කුමරු උපන් දිනය ලෙස ක්‍රි. පූ. 527 මැයි මස 27 ලෙස ගණනය කිරීමට ඇතැම් ඉතිහාස කතා කාරයෝ පුරුදුව සිටියහ.

ආචාර්ය ඇලොයිස්‌ ෆරර් වයඹදිග ඉන්දියාවේ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ නිල පත්වීම 1885 දී ලැබුවද ඔහු ඉන්දියානු පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයේ කටයුතු කරන්නේ ඊට පෙර සිටය. 1885 ට පෙර ඉන්දියාවේ නේපාලය අසල Basti නමැති දිස්‌ත්‍රික්‌කයේ පිහිටි Bhuila dih නමැති ගමේ කපිලවස්‌තු පුරය ලෙස හඳුනාගත් තැනක්‌ විය. මේ හඳුනා ගැනීමට මුල්වී තිබුණේ ජනප්‍රවාද සමූහයකි. 1889 දී මේ මතයට අභියෝග කළ ආචාර්ය අලොයිස්‌ ෆරර්, කපිලවස්‌තුව ලෙස හඳුනාගත් අලුත් ප්‍රදේශයක්‌ 1892 දී ඉදිරිපත් කළේය. රාම් නගර් නමැති එය පිහිටා තිබුණේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිsහිටි බරණැස්‌ නාගරික කොට්‌ඨාසය තුළය. ඔහු එහි කැණීම් සිදුකර වාර්තාවක්‌ ඉදිරිපත් කළේය. හරියටම වසරකට පසු Bhuiadih ගමේ කපිලවස්‌තුව ගැන දැරූ තම අදහස වෙනස්‌ කරගත් ඔහු ඉන්දු නේපාල දේශසීමාවේ කාන්තාර ප්‍රදේශයක පිහිටි Bairat (බයිරාත්) ගමේ පිහිටි කපිලවස්‌තුවක්‌ සොයාගෙන අශෝක රජතුමා විසින් පිහිටුවන ලද ඓතිහාසික ස්‌ථම්භය එහි තිබෙන බව කීවේය. එම ස්‌ථම්භය මත සෙල්ලිපියක්‌ද, කොටා ඇති බවට ඔහු වාර්තාවක්‌, සකස්‌ කළේය. ස්‌ථම්භය පිහිටි ඉඩම ධනවත් ඉඩම් හිමියකු වූ ජස්‌කරන් සිං නමැත්තාට අයත්ය. ඔහු ආචාර්ය අලෝසියස්‌ ෆරර්ගේ මිත්‍රයකු බවත් ජස්‌කරන් සිංට කීර්තියක්‌ ලබා දීම සඳහා ආචාර්ය ෆරර් අශෝක ස්‌ථම්භය ගැන කතාව ගෙතූ බවත් පසුව පැතිර ගියේය. මෙයට අවුරුදු 150 කට පෙර නේපාලයේ කාන්තාර ප්‍රදේශයක පුරාවස්‌තුවක්‌ ඇති බව උගත් යුරෝපීය පුරාවිද්‍යාඥයකු විසින් වාර්තා කරන ලද කල්හි එහි අග මුල බැලීම සඳහා නවදිල්ලියේ සිටි බ්‍රිතාන්‍ය ප්‍රතිරාජයා කාන්තාරයට යැමේ සිරිතක්‌ තිබුණේ නැත. ඇත්තම කතාව වූයේ ආචාර්ය ෆරර් එම ස්‌ථම්භය හෝ සෙල්ලිපිය හැබැහින් දැක නොතිබීමය. ඔහු තම ධනවත් මිත්‍රයා විශ්වාස කර ඔහු කී දේ පරිදි ස්‌ථම්භය ගැන වාර්තාව සකසා තිබිණ. ස්‌වල්ප කලකට පසු ස්‌ථම්භය බැලීම සඳහා තම මිතුරාගේ ඉඩමට ගිය ආචාර්ය ෆරර්ට තාරුකා විසි විය. ඉඩමේ නිකම්ම නිකම් ගල් කණුවක්‌ තිබූ අතර එහි අපැහැදිලි සලකුණු කිsහිපයක්‌ මිස කිසිදු සෙල්ලිපියක්‌ නොවීය. සිද්ධිය ක්‍රමයෙන් යටපත් වීමට ඉඩහල ආචාර්ය ෆරර්, නේපාලයේ දුර බැහැර ගමක්‌ වූ භසටකසඩ් ප්‍රදේශයේ දී කපිලවස්‌තුවක්‌ සහ සිදුහත් කුමරුගේ උපත වෙනුවෙන් අශෝක රජු පිහිටවූ ස්‌ථම්භයක්‌ යෑයි කියන ගල් කණුවක්‌ සොයා ගත්තේය. සොයා ගන්නා කල්හි එය බිමට පහත් වී දෙකට කැඩී තිබුණි. ඒ මත සෙල්ලිපියක්‌ වූ නමුත් එහි සඳහන් වූයේ සිදුහත් කුමරු ගැන නොව කෝණාගම බුදුන් ගැනය. එය අශෝක ස්‌ථම්භයම බව ෆරර් තරයේ කියා සිටියද ගෞතම බුදුන් ගැන මිස කෝනාගම බුදුන් ගැන සඳහන් කරන්නට අශෝක අධිරාජ්‍යයාට කිසිදු ඕනෑකමක්‌ තිබෙන්නට ඇති බවත් නොපෙනෙන නිසා එම අදහසද නිෂ්ප්‍රභ විය. නේපාල පුරා විද්‍යාඥයන් පිරිසකගේ බලවත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක්‌ ලෙස අද තිබෙන ලුම්බිණිය සොයාගනු ලබන්නේ 1896 දීය. වහා එතැනට ගිය ආචාර්ය ෆරර් එහි තනා තිබූ මහා මායා දේවියගේ විහාරස්‌ථානයට සහ තිබූ සැබෑ අශෝක ස්‌ථම්භයට කර තබා ඉතිහාස පොතට සිය නම ඇතුළත් කර ගත්තේය. එතැන්සිට සිදුහත් කුමරු බිහිවූ නියට තැන ලෙස අශෝක ස්‌ථම්භය අඳුනා ගත්හ.

එහෙත් සිද්ධාර්ථ කුමාරයා උපන් තැන ලෙස අශෝක ස්‌ථම්භය පිහිටි තැන සලකන ලද්දේ 1997 දී ලුම්බිණි සල් උයනේ පිහිටි දිය පොකුණක නටබුන් සොයා ගන්නාතුරු පමණි. එම පොකුණ, මහාමායා දේවිය සිද්ධාර්ථ කුමාරෝත්පත්තියට ස්‌වල්ප මොහොතකට පෙර ස්‌නානය කළ තැනයි. ස්‌නානයෙන් පසු පොකුණින් නික්‌මෙන සිදුහත් මාතාව පියවර හතක්‌ ඉදිරියට ගොස්‌ සල් අත්තක්‌ අල්ලාගෙන වීර්යය ගෙන කුමරා ප්‍රසූත කළ බවට වාර්තා තිබේ.

මේ අනුව පොකුණේ සිට පියවර හතක්‌ සලකුණු කළ පුරාවිද්‍යාඥයන් පිරිසක්‌ පොකුණ වටා කැණීමක්‌ සිදුකළහ. එවිට අඩි 15 ක්‌ පමණ පොළව යට තිබූ ගල් සලකුණක්‌ ඔවුන්ට හමුවිය. සිදුහත් කුමරු උපන් නිවැරැදි ස්‌ථානය එය බව අද පිළිගැනීමය.

එයින් පසුව කැණීම් නැවතුනේ නැත. එංගලන්තයේ Durham විශ්වවිද්‍යාලයෙන් පැමිණි මහාචාර්යවරයකු වූ Robin Canningham) (රොබින් කනිංහැම්) සහ පිරිසක්‌ පසුගිය සතියේදී කැණීම් සමූහයක්‌ කර අලුත් කරුණක්‌ හෙළිකර ගත්තේය. එනම් ලුම්බිණියේ මහාමායා දේවි විහාරයේ නටබුන් යට වඩාත් පැරැණි විහාරස්‌ථානයක නටබුන් තිබෙන බවය. මේ පිළිබඳ තොරතුරු Journal Antiquity නමැති කීර්තිමත් පුරාවිද්‍යාත්මක ප්‍රකාශනයේ පර්යේෂණ වාර්තාවක්‌ ලෙස පළකර තිබේ. මෙම කැණීම් සඳහා අරමුදල් සපයා තිබුණේ ජපන් රජයත් නේපාල රජයත් සුප්‍රකට නැෂනල් ජියොග්‍රැෆsක්‌ සඟරාව සහ එම නමින්ම යුතු රූපවාහිනි සේවාවත් අයත් එංගලන්තයේ National Geograpic Society ආයතනයයි.

මෙවර සොයාගත් විහාරස්‌ථානය සම්පූර්ණ දැවයෙන් නිමවන ලද්දකි. එය විශාල මැද මිදුලක්‌ තිබූ පන්සලක්‌ විය යුතු බව රොබින් කොනින්හැම් ගේ මතය වේ. සමහර විට මේ මැද මිදුලෙහි තිබෙන්නට ඇත්තේ මහා මායා දේවිය විසින් සිදුහත් කුමරු ප්‍රසූත කිරීම සඳහා වීර්යය ගැනීමට අල්ලාගත් සල් අත්ත තිබූ ගස විය හැකිය. ඒ බව තහවුරු කෙරෙන පාෂාණිභූත මුල් සමූහයක්‌ද කැණීම්වලදී හමුවී තිබේ. ඓතිහාසික සල්ගස හමුවීම වනාහී ඉතිහාසය, ජනප්‍රවාදය, විශ්වාස සහ ඇදහිලි යනාදිය නවීන විද්‍යාව සමග එකඟතාවකට පත්වූ අවස්‌ථාවක්‌ බව මහාචාර්ය කොනිංහැම් කියයි. සිදුහත් තවුසා බුද්ධත්වයට පත් බුද්ධගයාව, බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කළ සාරානාත්, උන්වහන්සේ පරිනිර්වාණයට සම වැදුණු කුසිනාරාව තරමටම ලුම්බිණි සල් උයන සහ පෙරකී සල්ගස වැදගත් වන බව මහාචාර්ය කොනිංහැම් පෙන්වා දෙයි.



කපිලවස්‌තුව දෙව්දහ නුවර සහ පුස්‌තරිනි පොකුණ

නේපාලයේ පිහිටි යුනෙස්‌කෝ ලෝක උරුමයක්‌ වන මායා දේවි විහාරස්‌ථානය, මහාමායා දේවිය සිහිපත් කරනු සඳහා ලුම්බිණි සල් උයනෙහි ගොඩනංවන ලද්දේ මෙයට වසර 2563 කට පෙර ක්‍රි.පූ. 550 දී ය. මායා නමින් දෙවඟනක්‌ ද හින්දු ආගමේ සිටින අතර ඇය මහාමායා දේවිය සමග පටලවා ගත යුතු නැත. මායා දෙවඟනට කැපවුණු දෙවොලක්‌ ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් නගරයෙහි තිබේ. මෙය ක්‍රි.ව. 1100 දී පිහිටුවන ලද්දකි.

නේපාලයේ ලුම්බිණි සල් උයන තුළ මායා දේවි විහාරය ආසන්නයෙහි පුස්‌තරිනි නමැති පොකුණක්‌ පිහිටා ඇත. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියට ස්‌වල්ප වෙලාවකට පෙර මහාමායා දේවිය ස්‌නානය කළ පොකුණ මෙය ය. මෙම පොකුණ පෙනෙන මානයෙහි කපිලවස්‌තු මාළිගයෙහි නටබුන් දැකගත හැකිය. ලුම්බිණිය පිහිටා ඇත්තේ කපිලවස්‌තු සහ දෙව්දහනුවර අතරමැද ය. නූතන ලුම්බිණිය සැතපුම් 1 පළල සැතපුම් 4 ක්‌ දිග ප්‍රදේශයකි. වර්ග සැතපුම් 4 ක්‌ පමණ වූ මෙම භූමි ප්‍රමාණය තුළ අක්‌කර 2800 කට ආසන්න ඉඩම් සංයුතියක්‌ ඇත. ලුම්බිණිය ශුද්ධ නගරයක්‌ වන අතර එය තුළ ඉපැරැණි විහාරාරාම සහ සංඝාරාම පිහිටා තිබේ. මෙහි කිසිදු ආකාරයක වාණිජ ගොඩනැඟිල්ලක්‌ තැනීම තහනම් ය. ථෙරවාද, මහායාන, තන්ත්‍රයාන බෞද්ධ කොටස්‌වලට අදාළ සංඝාරාම මෙහි ඇත.


මේ ඒ සල් ගස තමයි

- ආචාර්ය රොබින් කොනිංහැම්


ආචාර්ය රොබින් කොනිංහැම් එංගලන්තයේ ඩර්හැම් සරසවියේ සමාජ විද්‍යා හා සමාජ සෞඛ්‍ය පිළිබඳ අධ්‍යන අංශයේ උපකුලපති හා ඩර්හැම් සරසවියේ පුරා විද්‍යා අංශයේ මහාචාර්ය වරයෙක්‌ද වේ.

බෞද්ධ ලෝකය එකෙළි කළ ලුම්බිණි නව සොයා ගැනීම් මෙහෙය වූ පුරාවිද්‍යාඥයා ආචාර්ය කොනිංහැම්ය.

පසුගිය බ්‍රහස්‌පතින්දා සවස 7 පමණ ඔහුගේ 00441913342904 දුරකථන අංකය ඔස්‌සේ 'දිවයින ඉරිදා සංග්‍රහය' ඔහු හා සම්බන්ධ විය. මේ පළවන්නේ ආචාර්ය කොනිංහැම් ලුම්බිණියේ සිදු කළ නව සොයා ගැනීම් පිළිබඳ 'ඉරිදා දිවයින'ට කළ විශේෂ ප්‍රකාශයයි.

"මා විශ්වාස කරනවා මේ හමුවන්නේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය මොහොතේ එම ස්‌ථානයේ පැවැති ඓතිහාසික සල්ගස මෙය බව. එහෙම කියන්න අපට සාධනීය හේතු තිබෙනවා. මොකද ඓතිහාසික සාධක අනුව මේ වගේ පුරාණ පස්‌ ස්‌ථරයක වෙන වෘක්‍ෂයක්‌ තිබෙන්න විධියක්‌ නැහැ. මේ ගැන නිශ්චිතවම කිව හැක්‌කේ විද්‍යාත්මක කාලනිර්ණයකින් පමණයි. මේ පුරාණ දැව කොටස්‌ මත, ඊට උඩින් ගඩොල් ගොඩනැඟිල්ලක්‌ හමුවෙනවා. ලංකාවේ වගේම ඉන්දියාවේත් මහා විහාර ආරාම ඉදිකිරීමේදී වැඩි වශයෙන් භාවිතා කළේ දැව. අනෙක පුරාණ මහා විහාර සම්ප්‍රදායේ ගොඩනැඟිලිවල ලීවලින් ආවරණය කළ බිම්මහල් පැවතිලා තිබෙනවා. මේ හමුවන්නේ ඒ වාස්‌තු විද්‍යා සම්ප්‍රදායේ ගොඩනැඟිල්ලක්‌ බව අප විශ්වාස කරනවා".

ආචාර්ය රොබින් කොනිංහැම් සමග කරනු ලබන දීර්ඝ සාකච්ඡාවක්‌ ලබන 'දිවයින ඉරිදා සංග්‍රහයේ' පළවනු ඇත.

අනුර සොලමන්ස්‌
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.