රියදුරෙක්‌ නැතිව දිය ගොඩ තරණය කරන
නිවුන් සොයුරන්ගේ අපූරු ජීප් රථය

දියමං තරණයට රොබෝ අතක්‌
බාධක හඳුනාගන්න සෝනාර් පද්ධතියක්‌
ගෙදර සිට වාහනය නැරඹිය හැකි කැමරා



මීට වසර කිහිපයකට පමණ ඉහතදී රූපවාහිනියෙන් විකාශනය වූ නයිට්‌ රයිඩර් කථාන්දරය කුඩා ළමුන් අතර පමණක්‌ නොව වැඩිහිටියන් අතරද ජනප්‍රිය වූ කථාන්දරයකි. එකල අප ද නයිට්‌ රයිඩර් කථාංගය රූපවාහිනියෙන් නැරඹුවේ දැඩි ආශාවකිනි.

රියදුරකු නොමැතිව ධාවනය වන නයිට්‌ රයිඩර් කාර් රථය රුපවාහිනියේ විකාශනය වෙද්දී කුඩා දරුවන් එය නැරඹුවේ මහත් කුතුහලයෙනි. එවකට කුඩා ළමුන් දෙදෙනකු වු තිවංක හා විහංග යන නිවුන් සොහොයුරන් දෙදෙනාද මෙම කථාව නැරඹූහ.

එවැනි කාර් රථයක්‌ සියෑසින් දැක ගැනීමට ඇත්නම් කියා මේ සොහොයුරන් දෙදෙනා සිතූ වාර අනන්තය. එදා රූපවාහිනියෙන් නැරඹූ නයිට්‌ රයිඩර් කාර් රථයක ආකෘතියක්‌ නිර්මාණය කිරීමට මේ නිවුන් සහෝදරයින් දෙදෙනාට අද හැකි වී තිබේ.

තිවංක හා විහංග යන සොහොයුරන් දෙදෙනා රියදුරකු නොමැතිව, පරිගණකයක ආධාරයෙන් ධාවනය කළ හැකි ජීප් රථයක ආකෘතියක්‌ නිර්මාණය කොට තිබේ. මේ සහෝදරයින් දෙදෙනා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කලා අංශයෙන් අ. පො.ස. උසස්‌ පෙළ පංතියේ ඉගෙනුම ලබන ආර්. ජී. තිවංක සංජුක හා ආර්. ජී. විහංග සංජුන (18) ය.

තිවංක හා විහංග යන සහෝදරයින් දෙදෙනාගේ උපන්ගම ඉමදුම කෝදාගොඩය. මේ නිවුන් සහෝදරයින් දෙදෙනාගේ පියා වන ආර්. ජී. සිරිපාල ජීවතුන් අතර නැත. මව ටී. ඒ. සෝමාවතී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියකි. තිවංක හා විහංග යන සහෝදරයින් දෙදෙනා මෙවැනි වාහනයක ආකෘතියක්‌ නිර්මාණය කිරීමට සැලසුම් කළේ පාසලේ හත්වැනි පංතියේ ඉගෙනුම ලබමින් සිටියදීය.

තිවංක හා විහංග කුඩා කාලයේ සිටම අලුත් අලුත් දෑ නිර්මාණය කිරීමට, ඒවා අත්හදා බැලීමට කටයුතු කළහ. ලංකාවේ පළමුවරට ජංගම දුරකථනයක්‌ භාවිත කරමින් සංගීත භාණ්‌ඩ වාදනය කළ හැකි අයි පෑඩයක්‌ නිර්මාණය කළේද මේ සොහොයුරන් දෙදෙනාය. තිවංක හා විහංග කුඩා කාලයේ සිටම පරිගණකයෙන් නානා ප්‍රකාරයේ වැඩ කළෝය. කොටින්ම කිවහොත් මේ දෙදෙනා දවසේ වැඩි කාලයක්‌ ගත කළේ පරිගණකයත් සමගය.

පාසල් ගුරුවරයකු වූ බන්දුල සර්ගෙන් ද පරිගණක තාක්‍ෂණය ගැන මොවුන් දෙදෙනා ගුරුහරුකම් ලබාගත්හ. මීට අමතරව අන්තර් ජාලය මගින්ද පරිගණක තාක්‍ෂණය තවදුරටත් ඉගෙන ගත්තේය. රියදුරකු නොමැතිව ධාවනය කළ හැකි ජීප් රථයේ ආකෘතිය නිර්මාණය කිරීමට මේ පරිගණක දැනුම මොවුන් දෙදෙනාට දැඩි පිටුවහලක්‌ විය.

මුලින්ම ජීප් රථය නිර්මාණය කිරීමට අවශ්‍ය අඩුම කුඩුම සොයා ගැනීමට මේ සොහොයුරන් දෙදෙනා කටයුතු කළෝය. ඒ සඳහා මොවුන් දෙදෙනා දැඩි වෙහෙසක්‌ ගත්හ. ගමේ තරුණ පිරිස මේ කාර්ය කිරීමට මොවුන් දෙදෙනාට දැඩි සහයෝගයක්‌ ලබා දුන්හ. අවශ්‍ය උපකරණ සොයා දුන්හ. ජීප්රථයට අවශ්‍ය එන්ජිම සොයා ගැනීමට මෙවැනි අපූරු නිර්මාණ කරන නිර්මාණකරුවකු වන ගාමිණී විඡේසිරි උදව් කළේය.

මෙකී ජීප්රථය ධාවනය වන්නේ කෘත්‍රිම බුද්ධියෙනි. වාහනය ධාවනය කිරීමට අවශ්‍ය මාර්ගය සොයා දෙන්නේ ජී. පී. එස්‌. තාක්‍ෂණයෙනි. පරිගණකයක ආධාරයෙන් ජීප් රථය ධාවනය වන අතර මාර්ගයේ ඇති බාධක මගහරිමින් ජීප් රථය ධාවනය කළ හැකි අයුරින් නිර්මාණය කොට තිබේ.

මෙකී නිර්මාණය පිළිබඳ කීමට තිවංක සංජුන (18) සිසුවා අපත් සමග මුලින්ම කථා බහට වැටුණේය.

ජීප් රථය මීට ටික කලකට පෙර තමයි නිර්මාණය කළේ. යතුරු පැදියක එන්ජිමක්‌ තමයි මේ සඳහා යොදා ගත්තේ. මේ ජීප්රථයේ දෙදෙනකුට ගමන් කරන්න පුළුවන්. ජීප් රථය නිර්මාණය කිරීමට පස්‌සේ, අදහසක්‌ ඇති වුණා. මේ රථය රියදුරකු නොමැතිව ධාවනය කිරීමට අවශ්‍ය සැලසුම නිර්මාණය කිරීමට.

ඒ සඳහා පරිගණක ආධාරයෙන් අපි සැලැස්‌මක්‌ නැති නම් වැඩ සටහනක්‌ හැදුවා. ඒ සැලැස්‌මට ජී. පී. එස්‌. තාක්‍ෂණයෙන් තමයි මාර්ගය හඳුනා ගන්න අවශ්‍ය දත්ත ඇතුළත් කළේ. ඊට පස්‌සේ මේ රථය පණ ගැන්වූවාට පසු ස්‌වයංක්‍රීයව මාර්ගය හඳුනා ගන්නවා. මාර්ගයේ තියෙන බාධක හඳුනා ගන්න ජීප් රථය තුළ සෝනාර් අටක්‌ වාහනයේ ඉදිරිපස හා දෙපැත්තේ සවි කරලා තියෙනවා.

සෝනාර් මගින් තමයි බාධක හඳුනා ගන්නේ. මින් කරන්නේ බාධකයක්‌ හමු වන විට එම බාධකයට මීටර් දෙක තුනක්‌ ඈතදී අධිශබ්ද තරංග නිකුත් කරනවා. සෝනාර් පද්ධතියෙන් තමයි මෙය ක්‍රියාත්මක වන්නේ. බාධක හමු වු විට අධිශබ්ද තරංග බාධකයේ වැදී එය ආපසු, තරංග මගින් දැනුම් දෙනවා.

බාධකයේ එම තරංග වැදුණු පසු ආපසු එය දැනුම් දීමට ගත වන කාලය සංසන්දනය කරලා සමීකරණයක්‌ ගොඩනගලා තියෙනවා. ඇත්තටම මාර්ගයේදී බාධකයක්‌ හමුවුණොත් වාහනය වමට හා දකුණට කැපී මගහැර යනවා. නැතිනම් තිරිංග තදකොට ජීප් රථය නතර කර ගන්නවා.

මේ ජිප් රථයේ කැමරා හතරක්‌ සවි කරලා තියෙනවා. ජීප් රථය ධාවනය වන අයුරු ගෙදර සිට අපට පරිගණකයෙන් නරඹන්න පුළුවන්. මේ ජීප්රථය රියදුරකු නොමැතිව කෘත්‍රිම බුද්ධියෙන් නම් පැයට කිලෝමීටර් පහක වේගයෙන් තමයි ධාවනය කරන්න පුළුවන්. නමුත් මේ ජීප් රථයට ස්‌වයංක්‍රීය ගියර් පද්ධතියක්‌ සහිත එන්ජිමක්‌ සවි කළහොත් පැයට කිලෝ මීටර් 95 ක පමණ වේගයෙන් ධාවනය කළ හැකියි. තිවංක කීවේය.

මේ නිවුන් සහෝදරයින් දෙදෙනා සැබෑම දක්‍ෂයින්ය. මෙකී ජීප්රථය මාර්ගයේ ධාවනය වෙද්දී සොර සතුරන්ට කොල්ල කෑමට පවා නොහැකිය. මක්‌ නිසාදයත් සියල්ල පරිගණකයේ දිස්‌වන බැවිනි. මේ අරුම පුදුම ජීප් රථය ගොඩබිමේ පමණක්‌ නොව ජලයේද ධාවනය කළ හැකිය.

විහංග සංජුන (18) ඒ ගැන අපට විස්‌තර කළේ මේ අයුරිනි.

රොබෝ තාක්‍ෂණය මෙකී ජීප් රථය නිර්මාණය කිරීමේදී යොදා ගත්තා. ගංවතුර තත්ත්වයකදී නැතිනම් ගංගාවකින් එගොඩවීමේදී ජීප් රථයේ තියෙන ටියුබය ස්‌වයංක්‍රීයව සුළංවලින් පිරෙනවා. ඒ නිසා ගංගාවෙන් එගොඩ වන්න කිසි ගැටලුවක්‌ නැහැ. ඒ විතරක්‌ නෙවෙයි, මේ ජීප් රථයේ රොබෝ අතක්‌ තියෙනවා. වාහනයේ තිබිලා යම් දෙයක්‌ වතුරට වැටුනහොත් අඩි හයක්‌ පමණ ගැඹුරට අත දමලා එය අහුලා ගන්න පුළුවන්.

ඇත්තටම මෙය ආකෘතියක්‌, මේ ආකෘතිය අනුව රියදුරකු නොමැතිව වාහනයක්‌ ධාවනය කරන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි අපට අවශ්‍ය වුණේ. ඒ ආකෘතිය අපි නිර්මාණය කළා. මෙය තවත් වැඩි දියුණු කළහොත් ස්‌වයංක්‍රීය ගියර් පද්ධතියක්‌ තියෙන එන්ජිමක්‌ සහිත වාහනයකට අපි නිර්මාණය කරපු ආකෘතිය සම්බන්ධ කරලා රියදුරකු නොමැතිව කෘත්‍රිම බුද්ධියෙන් ඒ වාහනය මාර්ගයේ ධාවනය කරන්න පුළුවන්. මේ ආකෘතිය නිර්මාණය කිරීමේදී විශේෂයෙන්ම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. එස්‌. ඒකනායක මහතා, නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා නව නිපයුම් භාර ආචාර්ය මලින්ද කළුපහන මහතා " සිහිපත් කරන්න ඕන.

මේ ආකෘතිය නිර්මාණය කිරීමේදී රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය මගින් එච්. එන්. බී. බැංකුව මගින් මූල්‍ය අනුග්‍රහයක්‌ ලබා දුන්නා. ඩී. එස්‌. අයි. ආයතනයෙන් ජීප් රථයට අවශ්‍ය ටයර් ටියුබ් ලබා දුන්නා. ගමේ මිතුරන් විශේෂ සහයෝගයක්‌ ලබා දුන්නා, විහංග අප සමග කීවේය.

මෙකී නිර්මාණය සඳහා මේ නිවුන් සොහොයුරන් දෙදෙනාට මාස හත අටක පමණ කාලයක්‌ ගත වී තිබේ. ඒ සඳහා රුපියල් ලක්‍ෂ දෙකහමාරක පමණ මුදලක්‌ වැය වී ඇත. මේ නිර්මාණය කිරීමේදී මේ සහෝදරයින් දෙදෙනා ගැටලු රැසකට මුහුණ පෑහ. ඔවුන් ඒ සියලු බාධක ගැටලු අභියෝගවලට නිසි පිළිතුරු ලබා දෙමින් අභියෝග ජයගත්හ.

මෙකී නිර්මාණයේ ආකෘතිය කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සහසක්‌ නිමවුම් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ දරුවන් දෙදෙනා දිරිය දරුවන් දෙදෙනෙකි. ජාතියට වාසනාවකි. කුමාරතුංග මුනිදාස ශූරීන් නිරන්තරයෙන්ම පැවසුවේ අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි යනුවෙනි.

මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට මේ නිවුන් සහෝදරයින් දෙදෙනාට ශක්‌තිය ධෛර්ය වාසනාව ලැබේවා යන සුපහන් ප්‍රාර්ථනාව අප තුළ තිබේ.

තොරතුරු සොයා ගිය ගමනේදී උදව් කළ රිච්මන්ඩ් විද්‍යාලයේ දමිත් විඡේසිරි සිසුවාට තුති.

ගාල්ල -

ලලිත් චාමින්ද

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.