ගිලිහුණි මිනිස්‌කම නීතිය අද ඇදය
මිනිසුනි බලව් යම පල්ලෙක්‌ කළ හදිය!

තමන්ගේ බිරිඳගේ සිරුරේ බෙල්ල ඇතුළු පපු ප්‍රදේශය කපා කොටා හාරා අහස පොළොව නුහුලන අන්දමින් දරුණු ලෙස ඝාතනය කිරීමට ඇගේ සැමියාට ඉඩ දී අපේ ශ්‍රී ලංකා පොලිසියේ උසස්‌ නිලධාරී මහත්තුරු මෙන් ම, අල්ලස්‌ හා දූෂණ වංචා කොමසාරිස්‌a, කාන්තා ස්‌වේච්ඡා සංවිධානවල ක්‍රියාකාරී නෝනාවරුත්, ළමා හා කාන්තා කාර්යාංශයේ සභාපතිනිය ඇතුළු අදාළ නිලධාරීනුත් නිදා සිටියේදැයි විමසන්නට සිදුව තිබේ.

ඇගේ සැමියාගේ අතින් මේ අයුරින් දරුණු ලෙස ඝාතනයට ලක්‌වූයේ පොල්ගස්‌ඕවිට කිරිගම්පමුණුව ස්‌වර්ණ පෙදෙසේ පදිංචි හේරත් මුදියන්සේලාගේ අනුලා හේරත් නමැති හතලිස්‌ එක්‌ හැවිරිදි කාන්තාවකි. ඉකුත් ඉරිදා දින අවුරුදු දහයක්‌ වයසැති තම දියණිය දහම් පාසලට ඇරලවා නිවසට එමින් සිටින විටදී මෙම ඝාතනය සිදු විය. තම බිරිඳ මරා දැමූ මෙම පාපතරයා සිහි විකල්වන තෙක්‌ මත්වතුර බී පසුව වස බී මරණයට පත් විය. ෂෙල්ටන් දයාපාල වන මෙම ඝාතකයා ඇය ඝාතනය කළේ එදින උදේ 7.30 ට පමණ ය. මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සඳහා මහෙස්‌ත්‍රාත්වරයා එම ස්‌ථානයට පැමිණියේ පස්‌වරු පහට පමණ ය. මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා එම මළ සිරුර කළුබෝවිල මහ රෝහලට රැගෙන ගියේ ඉන් අනතුරුව ය. එතෙක්‌ එම සිරුර එම ස්‌ථානයේ තිබිණ. කහතුඩුව පොලිස්‌ නිලධාරීන්ගේ මනා කාර්යක්‍ෂමතාව ගැන කතා කිරීමට තවත් අටුවා අවශ්‍ය නැත.

ශරීරයේ සෑම ස්‌ථානයක්‌ම ඇගේ සැමියා කපා සිදුරු කර ඇත්තේ යක්‍ෂා වේෂවූ අයකු සේ ය. උසස්‌ මිනිස්‌ භවයක්‌ ලැබූ පුද්ගලයකු මෙසේ හිත්පිත් නැති තිරිසනෙකුටත් අන්තව දරුණු අන්දමින් හැසිරුනේ මොන හිතකින් දැ යි මෙම පුවත අසන කාගේ වුව සිත් කම්පාවට පත් වන්නේ ය.

"පහුගිය අවුරුදු දහයක කාලයක ඉඳන් මගේ නංගිට ඔයි මිනිහගෙන් මොන තරම් කරදර සිද්ද වුණා ද. ඒ ඔක්‌කෝම විස්‌තර සයිප්‍රසයේ හිටිය මට, නංගි දුරකථනයෙන් දැනුම් දුන්නා. දැනට අවුරුදු දෙකකට කලින් ඔයි මිනිහා මේ ගෙයි සාලේ මැද්දේ නංගිව බිම දමා ගෙන අතේ ඇඟිලි තුනක්‌ ම කඩුවකින් කපලා ඇඟේ ස්‌ථාන විසිඅටක තුවාල පවා සිද්ද කළා. ප්‍රතිකාර ගන්න රෝහලේ මාස දෙකක්‌ විතර නැවතිලා හිටියා. කකුලේ තුවාලේ නිසා අවුරුදු දෙකක්‌ ම ඇවිද්දේa අත්වාරුවකින්."

"ඔය සිද්ධියෙන් පස්‌සේ මිනිහත් එක්‌ක එක ගෙදරක ජීවත් වෙන්න බැරිය කියල තේරුම් ගත්ත නංගි මේ ගෙයි පැත්ත පළාතකවත් එයාව වැද්ද ගත්තේ නැහැ. පස්‌සේ දික්‌කසාදේ ඉල්ලලා නංගි උසාවියේ නඩුවකුත් දැම්මා. මත්තේගොඩ නංගිට අයිතිව තිබෙන ඉඩමේ තේ කඩයේ මාසේ බදු කුලියත් එයා නංගිට ගන්න දුන්නේ නැහැ. මමත් වියදමට සල්ලි එව්වා. ඒත් නංගී අතේ ඇඟිලිවල තුවාල තියාගෙන කොර ගගහ මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා පිටියේ පුහුණුවට එන හමුදාවේ අයට කෑම පවා උයල දුන්නා කියල මං දැන ගත්තේ මෙහාට ආවයින් පස්‌සේ. දොස්‌තර මහත්තයා කිව්ව නිසා අත්වාරුව නැතිව ඇවිද ගන්න වෙලා දවස්‌ දෙකක්‌ වත් ගියේ නැහැ මේ සිද්ධිය වන විට." සයිප්‍රස්‌හි රැකියාවක නිරතව සිටින අනුලාගේ වැඩිමහල් සොහොයුරියක වන චන්ද්‍රා හේරත් එසේ කියන්නට වූවා ය.

"කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්න කාලේදි දවස්‌ විසි එකක්‌ යනකම් නැන්දාව කඩුවෙන් කපා කොටා දැමූ පුද්ගලයා අත් අඩංගුවට ගන්න කහතුඩුව පොලිසියේ මහත්තුරු කිසිම උනන්දුවක්‌ ගත්තේ නැහැ. පස්‌සේa මම පොලිස්‌පති තුමා ඇතුළු ඉහළ පොලිස්‌ නිලධාරි මහත්වරුන්ට දැන්නුවා ලිපි මගින්. මොරටුව ඉන්න සහකාර පොලිස්‌ අධිකාරිගේ කාර්යාලයට ගිහින් පැමිණිලි කළා. පැමිණිල්ලවත් ලියා නොගෙන එහි නිලධාරියා කිව්වේ හරි බලන්නම් කියලයි. ජනාධිපතිතුමා ආරක්‍ෂක ලේකම් තුමා ඇතුළු කියන්න පුළුවන් හැම තැනකට ම දැනුම් දුන්නා. ආරක්‍ෂක ලේකම්තුමාගෙන් ලිපියක්‌ ඇවිත් තියෙනවා අවශ්‍ය කටයුතු කරනවා කියල. මම අල්ලස්‌ හා දූෂණ කොමිසමට, ළමා හා කාන්තා කාර්යාංශයටත් ගියා. ඒත් වැඩක්‌ වුණේ නැහැ."

"පස්‌සේ මම ගියා කොළඹ පොලිස්‌ සහන මැදිරියට. ඔන්න එකකොට තමයි කහතුඩුව පොලිස්‌ මහත්තුරුන්ගේ පස්‌ස පැත්ත රත් වෙන්න පටන් ගත්තේ. සිද්ධිය වෙලා දවස්‌ විසි අටකට පස්‌සේ තමයි සිද්ධියට සම්බන්ධ පුද්ගලයාව පොලිස්‌ අත් අඩංගුවට ගත්තේ. ඒත් දින දහහතරකින්a පස්‌සේ එයා ඇප මත නිදහස්‌ වුණා. නඩුවට වෙච්ච දෙයක්‌ දැන ගන්න නැහැ. නැන්දා රෝහලෙන් ආවට පස්‌සේ මාත් එක්‌කම කැස්‌බෑව, හෝමාගම උසාවිවලට ගියා. පස්‌සේ කාන්තා සංවිධාන වලටත් ගිහින් නැන්දාට තමන්ට විඳීන්න සිදුවී තිබෙන තත්Fවය එයාලට දැන්නුවා. ඒත් අද වන තුරු මේ කිසිම ආයතනයකින් ගත්තු ක්‍රියා මාර්ගයක්‌ දැන ගන්න නැහැ. එහෙම ගත්ත නම් මෙහෙම අවාසනාවන්ත ඉරණමකට නැන්දා ගොදුරු වෙන්නේ නැහැ." මෙම තොරතුරු කියා සිටියේa එම නිවසේ නතරව සිටින ඥාති පුතෙකු වන හේමන්ත ය.

අවට අයගෙන් දැන ගන්න ලැබුණේ මේ දෙන්නා හරිම සමගියෙන් ජීවත් වුණු බවයි.

"හොඳ බිරිඳකට උරුමවූ පරිද්දෙන් අනුලත් හරිම ධෛර්යවන්ත ගැහැනියක්‌. එයාලගේ නිස්‌කලංක ජීවිතයට ඉහඳ වැටුණේ ළඟම ඥාතීන් ගෙනි. කුටුම්භයකට තුන්වැන්නෙක්‌ එක්‌ වන හැම අවස්‌ථාවකදීම සිදුවන අකරතැබ්බය නිසා සමඟියෙන් ඉන්න පවුල් සී සී කඩව සුනුවිසුණු වී යන්නේ ය. මෙම කුරුළු කැදැල්ලටත් මේ මහා විනාශය අත් කෙරුණේ මේ ළඟම ඥාති තුන් වැන්නා නිසා ය. මේකට හේතුව ඉඩම් ප්‍රශ්නයකි. දේපල තන්නාසේ ඉහට ගහන කොයිකාටත් අන්තිමේදී සිදු වන්නේ මහා විනාශයකි.

මිය ගිය අනුලාගේ උපන් ගම හබරණ මොරගස්‌වැවය. ඇගේ පවුලේ සහෝදර සහෝදරියන් දහ දෙනෙකි. ඉන් දැනට ජීවත්ව සිටින්නේ පිරිමි හා ගැහැණු තිදෙනෙකු බැගින් හය දෙනෙකිs. පවුලේ බරපතල කම නිසා අටවන පංතියෙන් එහා පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට අනුලාහට නොහැකි විය. නාඹර වයසේ පසුවන ඇගේ නිස්‌කලංක හිතට ප්‍රේමය තුරුළු වන්නට විය. ඒ මින්නේරිය යුධ හමුදා කඳවුරේ සේවය සඳහා පැමිණි ෂෙල්ටන් දයාපාල නමැති තරුණ සොල්දාදුවා මුණ ගැසීමෙනි. හමුදා ඇඳුමෙන් සැරසී සිටී මේ තරුණ සොල්දාදුවා අනුලාට පෙනුනේ වීරයෙක්‌ සේ ය. දෙදෙනාගේ මේ හමුව වැඩිකල් නොයා විවාහ ගිවිස ගැනීම දක්‌වා දුර දිග ගියේ ය. විවාහයෙන් වසර කිහිපයකට පසුව අනුලා සයිප්‍රස්‌ රටට ගෘහ සේවිකාවක්‌ ලෙස ගියා ය. ඉන් වසරක කාලයකින් පසු ඇය දයාපාලද තමන් සේවය කළ සයිප්‍රස්‌ රටට ගෙන්වා ගත්තා ය.

වසර කිහිපයක්‌ ඇවෑමෙන් දෙදෙනා ම පැමිණියේ මත්තේගොඩ ප්‍රදේශයටයි. ඇය ඉඩමක්‌ ද මිලයට ගෙන එහි කඩයක්‌ ඉදිකර බත් වෙළ¹ම සරුවට කර ගෙන ගියා ය. මේ කඩයට අල්ලපු ඉඩම අයත්ව තිබුණේ සැමියාගේ මල්ලිට ය. මල්ලියි, මල්ලිගේ බිරිඳ හා සයිප්‍රස්‌ ඉන්න සැමියාගේ අක්‌කා එක්‌ව දැනට වසර දහයක කාලයක සිට කළ කුමන්ත්‍රණය නිසා අනුලාගේ සොඳුරු කැදැල්ලට හැඬලු කණකොකා පියාඹා ගියේ සිය සැමියාගේ අතින් දරුණු පිහිපහර කෑමට ලක්‌ව ඇය මිය යාමෙන් හා එම දරුණු අපරාධය සිදුකළ සැමියා ද වස පානය කර මෙලොවින් සදහට ම තුරන් කර දැමීමෙනිs.

මියගිය අනුලාගේ අක්‌කා වන චන්ද්‍රා මෙසේ තම නංගිව දරුණු අන්දමින් ඝාතනය කිරීමට ආසන්න හේතුව ලෙස සඳහන් කරන්නේ මෙවැන්නකි.

"නැහැ. නංගිට කඩුවෙන් කොටපු දවසේ ඉඳල මේ ගෙදර පැත්ත පළාතක මේ මිනිහට එන්න දුන්නේ නැහැ. තවදුරටත් එයත් එක්‌ක ඉන්න බැරි හින්ද නංගි එයාගෙන් දික්‌කසාදේ ඉල්ලා කැස්‌බෑව උසාවියේ නඩුවක්‌ දැම්මා. මේ මිනිහා නඩු දින පවා මග හැරිලා තියෙනවා. අද (26 දින) තමයි ඒකේ තීන්දුව දුන්නේ. මම උසාවියට ගියා. රුපියල් විසිපන් ලක්‍ෂයක මුදලක්‌ සහ නංගිගේ මත්තේගොඩ ඉඩමේ තියෙන තේ කඩයේ හිමි කමත් නංගිට දෙන්න තීන්දු වුණා. කොහොම හරි මේ තීන්දුව මේ අය කලින් දැන ගෙන තියෙනවා. ඒ විතරක්‌ නොවෙයි අවට අයත් දැනගෙන තියෙනවා දෙන තීන්දුව මොකක්‌ද කියල. මේවා කොහොම පිටවුණාද කියල අපට ප්‍රශ්නයක්‌. නංගි මේ විදියට මරා දමන්න කලින් පිටවුණු මෙම තීන්දුවත් බල පෑව කියලයි මම හිතන්නේ. උන් හිතා ගෙන ඇති නංගිව මරා දමලා මේවා අයිති කර ගන්න. ඒවයේ ඇටර්නි බලය නංගි පවරලා තියෙන්නේ මට යි. මේවාට උඩ ඉන්න දෙවියන්ගෙන් නම් උන්ට සමාවක්‌ ලැබෙන්aනේ නැහැ."

අනුලාගේ අවසන් කටයුතු මේ මොහොත වන විට සිදු වී හමාර ය. එහෙත් අළු යට ගිනි තවමත් තිබෙන නිසා තවත් මහා විනාශයක්‌ සිදු වීමට ඉඩ කඩ විවරව ඇත්තේ ය.

අපේ රටේ කවුරු කෙසේ මොන අන්දමින් කතා කළත් අසරණ වූ කාන්තාවකට පිළිසරණක්‌ ලබා දෙමින් ඇය රකින මොන ම සංවිධානයක්‌වත් පහළ වී නැත. එවැන්නක්‌ මේ රටේ තිබුණේ නම්, අදටත් නිරුපද්‍රිතව අප සමඟ ම යහතින් ජීවත්වීමේ වාසනාව අනුලාට හිමිවනු ඇත. අපේ රටේ කාන්තා සංවිධාන තිබෙන්නේ ඒවායේ ක්‍රියාකාරීනියන් ට සුහද හමුවීම් පවත්වා ගැනීමටත්, මහත දෙහෙත ඇඟවල ස්‌ථුල භාවය අඩු කර ගැනීම සඳහා කාන්තා දිනවල පාරවල ඇවිද යාමට දැයි අපට නම් සිතේ.

කාන්තා හිංසනය සිදුවන්නේ පිරිමින්ගෙන් පමණක්‌ ම නොවේ. කාන්තාවන්ද ඊට හවුල් ය. පළමු තැන නිවස ය. එහි කෙස්‌වළු අල්ලා ගන්නේ නැන්දා සහ ලේලි ය. බොහෝ විට මේ දෙදෙනා හැසිරෙන්නේ නයින් මුගටින් දෙදෙනෙකු මෙන් ය. සැමියන්ගේ බිරින්දෑ වරුන්ද කෙස්‌වළු පටලවා ගනිත්. ඊළඟ තැන සේවා ස්‌ථානය යි. කාන්තාවන් දෙදෙනෙකුට අෙන්‍යාන්‍ය සුහදතාවෙන් යුතුව සිය සේවා කටයුතුවල යෙදීමට පවා නොහැකි ය. බොහෝවිට එහිදීත් සිදුවන්නේ කෙස්‌වළු පටලවා ගැනීම ය. එවැන්නක්‌ නැති තැනක්‌ දැකිය හැක්‌කේ ද කලාතුරකිනි.

ඇයයි දුක්‌ පීඩා විඳින්නේ - ඇය යි වද හිංසා විඳින්නේ

ඇය යි අවමානය ලබන්නේ - ඇය යි යකිනිය නම් ලබන්නේ

විජය රජුගෙන් කුවේනියට සිදුවූ ඓතිහාසික වැරැද්දේ දී ඇයගේ පිහිට ට කිසිවෙක්‌ ඉදිරිපත් නොවූ හ. ඒ සියලුම දුක්‌ කන්දරාවන් ඇයම විඳ දරා ගනිමින් අවසානයේ දී රුදුරු ඝාතනයට ඇය පත් වූවා ය. අද පවා සිදුවමින් පවතින යථාර්ථය එය යි. හෙන්රි ජයසේනයන්ගේ කුවේණි නාට්‍යයේ කුවේණියට අත් වූ ඉරණම අපේ කාන්තාවන්ට ද අත් නොවන්නේ යෑයි කාට නම් කිව හැකිද?

උදේනී චන්ද්‍රසිරි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.