ඇගයීමට ලක්‌ නොවූ
මාපාහාමි මුත්තාගේ පරපුරේ කවි කතන්දර


මාවී හිරු නැඟෙන, කලියෙන්ම හිරු බැස යන හුදෙකලා වූ දුම්බර ගැමියන්ගේ ජීවිතවලට මහා ලොකු බලාපොරොත්තු නැත. ඇල්පේච්ඡ දිවියක්‌ ගත කරන මොවුහු සතුටින් කාලය ගෙවාදමති. එහෙත්, ඔවුන්ට අවශ්‍ය අවම යටිතල පහසුකම්වත් ලබාදීම බලධාරීන්ගේ යුතුකමකි. මේ සියල්ලටද වඩා හෙට දිනය ගැන ස්‌ථීර බලාපොරොත්තුවක්‌ ඔවුන්ට උවමනාය. මේ කියන්නේ දුම්බර පාරම්පරික ගම්මානවල පැවැත්ම ගැන කතාවකි. නොහොත් එම ගම්මානවල අවිනිශ්චිත භාවය ගැන කතාවකි. වසර සිය දහස්‌ ගණනක්‌ තිස්‌සේ පාරම්පරිකව එහෙත් හුදෙකලා වනමැද පැවත ආ මෙවන් ගම්මාන බොහොමයක්‌ අද ලංකා සිතියමෙන් මැකි යැමේ තර්ජනයට ලක්‌ව තිබේ. අපි මීට පෙර කතා කළ වල්පොලමුල්ල එවන් ගම්මානයකි. මීමුරේට නුදුරුව තිබූ දන්දෙණිකුඹුර ගම්මානයද දැන් සම්පූර්ණයෙන්ම ජනශූන්‍යවී ඇත. වනඅලින්ගේ පහරදීම්වලට ලක්‌වීම ප්‍රධාන වශයෙන් මෙම ගම අත්හැරීමට හේතුව විය. එසේම ඇටන්වල වැනි විශාල පවුල් සංඛ්‍යාවක්‌ සිටින ගම්ද අතහැරයැමට සැරසේ. ඊට හේතුව ලෙස බලධාරීන් පෙන්වන්නේ නායයැමේ තර්ජනයයි. එහෙත් සැබෑ ලෙසම ඒ පිටුපස ඇත්තේ සංචාරක ව්‍යාපාරයට මෙවන් වටිනා ආකාර්ෂණීය ඉඩම් කොල්ලාකා ගැනීම බවටද පරිසරවේදීහු චෝදනා කරති. නායයාමේ අවදානම් නිවාසද මේ කඳුකර පෙදෙස්‌වල නැත්තේ නොවේ. එහෙත් ඒ පිටින් දමා ගම්පිටින් ඉවත් කිරීම කෙතරම් සාධාරණ ක්‍රිsයාවලියක්‌ දැයි සොයා බැලීම රටට, ජාතියට දුම්බර වනපෙතට ආදරය කරන කාගේත් යුතුකමක්‌ බවද මෙහි ලියා තැබිය යුතුය. එබැවින් අපගේ මෙම ලිපි මාලාව ඔස්‌සේ හෝ පැමිණ එවන් ලෙන්ගතු මිනිසුන් දේශයේ සාඩම්බරය බඳු හෙල, පාරම්පරික ගම්මාන දුම්බර වනපෙතෙන් අතුගා දැමීමේ කතාන්දරය පිළිබඳ අක්‌මුල් සොයාගත යුතු යෑයිද අපි අවධාරණය කරමු.

දුම්බර වනපෙතේ, ලග්ගල උඩසිය පත්තුවේ ගැමියා සැබැවින්ම නිරහංකාර ජීවිත නිදහස උපරිමයෙන් භුක්‌ති විඳින ආගන්තුක සත්කාරයට ඉතා ලැදි අයෙකි. එසේම ඔහු තරම් අහිංසකයෙක්‌ වෙනත් කොතැනකින් හෝ සොයාගත හැකිවේදැයි නොදනිමු. අද බොහෝ අය ප්‍රයෝජනයට ගන්නේ ඔහුගේ අහිංසකකමය. මෙනිසා ඉන්නට හිටින්නට තිබූ තැනත් ඔවුන්ට නැතිවේගෙන එන සැටියක්‌ පෙන්වයි.

හේනේ, කෙතේ, කමතේ, රාජකාරියෙන් පසු ගමේම පැහෙන රා පොල් කට්‌ටක රහ බලන බොහෝ වැඩිහිටි පිරිමින් කවියක්‌ දෙකක්‌ හඬ ගා කියා තම හිතේ සාංකාවද ගමේ තනියද පළවා හරී. පාරම්පරික මේ ගතිගුණය නිසාම දුම්බර කවියෝ ඉතා හොඳ කවිකාරයෝය.

මේ ගම්වලට යන කාහටත් ගැමියන්ගේ කවියක දෙකක මිහිර විඳින්නට බාධාවක්‌ නැත. අපගේ කාරුණික ඉල්ලීමකින් ඔවුන්ගේ කවි සිත් අවදිවන්නේ දුම්බර වනපෙතේ සුන්දරත්වය මොනවාට අපට පසක්‌ කරවමිනි. මෙවන් ඉල්ලීමකට අපට කවි සංග්‍රහයක්‌ කළ එදා වල්පොලමුල්ලේ විසූ අද ඇටන්වල දිවිගෙවන විඡේරත්න මාමා කියූ සුවිශේෂ කවියක්‌ අපට තාමත් මතකය. වනාන්තරයේ දිවි ගෙවුවත් ඔවුන්ගේ ගැමි කවි සාහිත්‍යය කෙතරම් අපූරුද යන්න එම කවියෙන් අප වටහා ගත්තේ හේ කවි පිළිබඳ දක්‌වන ලැදියාවද සැලකිල්ලට ගනිමිනි. විඡේරත්න මාමාගේ කවි පෙළේ වැඩි වශයෙන් ඇත්තේ දුම්බර වනපෙතට, ගම්මානවලට, දියඇලිවලට, කළුපහන කන්ද වැනි ගිරි මුදුන්වලට කියෑවුණු කවිය. ඒ අතරේ ඒ විශේෂ කවියද ගායනා කරන ලෙස අපි ඔහුගෙන් ඉල්ලීමක්‌ කළෙමු. එනම්, ඉස්‌පිලි, පාපිළි. ඇලපිලි කිසිවක්‌ නැති තනි අකුරේ පද සහිත මෙම කවිය විඡේරත්න මාමාගේ මුවග නිරතුරුව රැව් දෙන ගායනාවකි.

සරණ ගත තරණ අය අනදර කරන

කරන අනදරට යම රජ වග කරන

පරණ බණ බලන අය අතකට ගමන

මරණ බයට සරණය වද සඟ සරණ


එසේම දුම්බර දියඇලි ගැන කියන මෙම කවියද ඔහුගෙන් ගායනාකරගත හැකි කවියකි.

කලුපානේ නොවෙද නිසි දූවිලි ඇල්ල

ඇටන්වල නොවෙද වැද්දගේ පැණි ඇල්ල

ගඟල නොහොත් පොත්තටවෙල සේරැල්ල

ගඟල ගං නවය හරිමැද සංවැල්ල


මෙම කවියෙන් ඔහු දුම්බර වනමැද පිහිටි අපුරු, එහෙත් දැකුම්කලු දිය ඇලි තුනක්‌ ගැන කියයි. මෙම දියඇලි තුනම දුම්බරට අසිරිය කැන්දන ආභරණයන්ය. එම දියඇලි තුනම සොයා මතු දිනෙක අපි දුම්බර වනපෙතේ ඇවිද යන්නෙමු. එහි අසිරියද ඔබට කියන්නෙමු. එතෙක්‌ දුම්බර කවියාගේ මිහිරෙන් මත්වූ තවත් සිව්පදයක්‌ මෙසේ මතකයේ දිගහරින්නෙමු.

වල් ගොනා නියම හරිපාරේ නොයති

නිල්මානා ගොයම හරි කලට පූදති

ඇල්මෙනා ඉඳන් එන රස බත් දෙති

කල්පනා නොකර හිර ගැනීම යුතු නැති

ලග්ගල උඩසිය, පත්තුවේ ගම්මාන බොහොමයක්‌ "මාපාහාමි" නමැති බොහෝ සවිශක්‌තිය තිබූ පුද්ගලයෙකුගෙන් බිහිවී යෑයි ජනප්‍රවාදයේ කියවැවේ. විශේෂයෙන්ම ඇටන්වල හා වල්පොලමුල්ල යන ගම්මානවල ගැමියන් තම විරෝදාර මුත්තා, මාපාහාමි ගැන කතාකරන්නේ ආඩම්බරයෙනි. මාපාහාමි මුත්තාගේ මුණුපුරු මිණිපිරියෝද ගොවිතැනට හේනේ, කමතේ වැඩට මෙන්ම කවි ශ්ලෝක ගායනයටද දක්‍ෂයෝය. කාන්තා පිරිමි දෙගොල්ලන්ටම මේ දක්‍ෂතාව උපරිමයෙන් ඇත. එහෙත් මේ පිළිබඳ පර්යේෂණ සිදුවන්නේ අල්ප වශයෙනි. දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සාමාජිකයන්ගේ අප්‍රතිහත ධෛර්යේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙවන් කවි වැඩසටහනක්‌ පසුගියදා ජාතික රූපවාහිනිය ඔස්‌සේ විකාශනය කෙරිණි. එහෙත්, ගම්මානවල පැවැත්ම අවිනිශ්චිත වී ඇති මෙවන් මොහොතක මෙවන් ජනකවි, ජනශ්‍රැති, පාරම්පරික දැනුම යනාදිය ලේඛනගතවීම වැදගත් අවශ්‍යතාවකි. දුම්බර මිතුරෝ සංවිධානය ඒ සඳහා දැන් පෙරට පැමිණ සිටීමද අගය කළ යුතු කාරණයකි.

( අමතක කළ නොහැකි දුම්බර වනපෙතේ අපූරු මගපෙන්වන්නාගේ කතාවලබන සතියේ).

ජගත් කණහැරආරච්චි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.