ආශ්චර්යයේ හීන මැවෙන රටේ තැලී පොඩිවෙන අනාගත සිහින

අපේ හීනය ආසියාවේ ආශ්චර්යය මවන්නටය. එහෙත් අප නිශ්චිතවම මුහුණදීමට නියමිත ශ්‍රී ලංකාවේ අනාගත ඛේදවාචකය පිළිබඳව පසුගිය සඳුදා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

රටක ආශ්චර්ය මවන්නට නම් ඒ රටේ අනාගතය බාරගන්නා දරු පිරිස පෞරුෂයෙන් යුත්, උගත්, බුද්ධිමත්, සමාජශීලී සෑම අතින්ම දියුණු වූ පිරිසක්‌ බවට පත්කළ යුතුය. එවැනි සන්නද්ධ පිරිසක්‌ සමාජගත කිරීමේ වගකීම ඇත්තේ වැඩිහිටි පරපුරට ය. එහෙත් අපි අපේ වගකීම ඉටුකළා දැයි හදවතට තට්‌ටුකර අසන්නට සුදුසු මොහොත පැමිණ තිබේ.

ගතවූ වසරේ දී (2012) වැඩිහිටියන් විසින් මල් කැකුළු වැනි නොදරුවෝ 7418 දෙනකු අපයෝජනයට ලක්‌ කර තිබේ. මෙවන් සාපරාධී අපරාධයක්‌, මෙවන් ඛේදවාචකයක්‌ රටකට නම් තවත් නැත. දරුවකු යනු පවුල් ඒකකය සම්පූර්ණ කරන වටිනාම වස්‌තුවකි. දරුවකු රැකගැනීම කළ යුත්තේ ඇස්‌ දෙක රකින්නාක්‌ මෙනි. ඇතැම් විට ඊටත් වැඩි පරෙස්‌සමකිනි. රටක නම් අනාගත කැඩපත වන්නේ දරුවන්ය.

දරුවෙකු ඉපදී පළමු මාස හය යන තුරු මවුකිරිම පමණක්‌ දෙන්න යෑයි මවුවරුන්ට තරයේ අවවාද කරන මේ රටේ එම දරුවන්ව වයස අවුරුදු 18 ක්‌ සම්පූර්ණ වන තුරු රැක බලා ගන්නට ආරක්‍ෂිත වැඩපිළිවෙළක්‌ නොමැතිවීම අතිශය බිහිසුණු තත්ත්වයකි. මෙයින් පැහැදිලි වන්නේ මේ රටේ දරුවන් රකින්නේ පළමු මාස හයේ දී පමණක්‌ යන්න නොවේද?

එක්‌ වසරක්‌ ඇතුළත දරුවන් 7418 දෙනකු අපයෝජනයට පත්වීමෙන් අදහස්‌ වන්නේ එක්‌ දිනකදී දරුවන් අවම වශයෙන් 20 දෙනකුවත් අපයෝජනයට පත්ව ඇති බවය.

කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ දරුවන් 1174 දෙනකු අපයෝජනයට පත්ව ඇත. දරුවන් 313 දෙනකු ළමා මෙහෙකාර සේවයේ යොදවා ඇති අතර දරුවන් 1307 දෙනකු ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වයට ගොදුරු වී තිබේ. අපචාරයට ගොදුරු වූ දරුවන් සංඛ්‍යාව 196 කි. මේ 2012 වසරේ දී සිදුවූ වාර්තාගත සිද්ධීන් පමණි. 2009, 2010, 2011 හා 2012 යන වසර හතර ඇතුළත අපයෝජනයට පත් සියලු දරුවන් සංඛ්‍යාව 18777 කි. එයින් දරුවන් 654 දනකුගේම දෙමවුපියන් විදේශගතව සිටීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. වාර්තාගත නොවූ සිද්ධීන් ද තව දහස්‌ ගණනක්‌ ඇත.

මේ අතර පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවට අනුව 2012 වසරේ දී ස්‌ත්‍රී දූෂණවලට වරදකරුවන් වූ 252 ක්‌ බන්ධනාගාරගත කර ඇත. එයින් පැහැදිලි වන්නේ 2012 වසරේ දී අවම වශයෙන් ස්‌ත්‍රීන් 252 ක්‌ දූෂණය වූ බවයි.

2005 වසරේ සිට 2012 වසර දක්‌වා ගතවූ වසර පහේදී ස්‌ත්‍රීන් දූෂණය කළ පුද්ගලයන් 1718 දෙනකු බන්ධනාගාරගත කෙරිණි. වැඩිම වරදකරුවන් සංඛ්‍යාවක්‌ ස්‌ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වාර්තා වී ඇත්තේ 2008 වසරේදීය. එම සංඛ්‍යාව 319 කි. ගතවූ වසර හතේදී දූෂණයට පත් ස්‌ත්‍රීන් 463 දෙනකු වයස අවුරුදු 22 ත්, 30 ත් අතර පසුවූ අය වන අතර වයස අවුරුදු 30 ත්, 40 ත් අතර ස්‌ත්‍රීන් දූෂණය කළ වරදකරුවන් සංඛ්‍යාව 691 කි. වයස අවුරුදු 40 ත්, 50 ත් අතර ස්‌ත්‍රීන් දූෂණය කළ වරදකරුවන් සංඛ්‍යාව 481 කි.

මේ වාර්තාගත ස්‌ත්‍රී දූෂකයන් පමණි. ස්‌ත්‍රී දූෂණවලට වරදකරුවන් වුවත් නීතියේ රැහැනින් ගැලවී නිවැරැදිකරුවන් ලෙස සමාජගතව සිටින තක්‌කඩින් පිරිසක්‌ද අප අවට සිටින බව අමතක නොකළ යුතුය. ඔවුන්ට දේශපාලන රැකවරණ ලැබුණු අවස්‌ථාද ඕනෑතරම් ඇත.

මේ රටේ ආරක්‍ෂාව සැපයිය යුතු දරුවන් හා කාන්තාවන් විශාල සංඛ්‍යාවක්‌ මෙසේ දිනපතාම දූෂණයටත්, අපයෝජනයටත් පත් වන්නේ නම් ඔවුන් රැකීම සඳහා අමාත්‍යාංශ කුමකට දැයි ප්‍රශ්න කළ යුතුය.

දරුවකු රැකබලාගෙන යහපත් පුරවැසියකු ලෙස සමාජයට යොමු කරන්නට බැරි දෙමවුපියන්ගෙන් මේ රටටත්, සමාජයටත් වැඩක්‌ නැත. එසේම ළමයින් හා කාන්තාවන් පිළිබඳ නිසි ආරක්‌ෂාවක්‌, රැකවරණයක්‌ සැපයිය නොහැකි නම් ඒ පිළිබඳ අමාත්‍යංශයකින්ද ප්‍රයෝජනයක්‌ නැත. මේ සම්බන්ධයෙන් අපි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතාගෙන් ප්‍රශ්න කළෙමු.

මේ රටේ දරුවන්වයි, කාන්තාවන්වයි රැකගන්න මට තනියම බැහැනේ... ඔක්‌කෝම ළමයිනුයි, කාන්තාවනුයි අරගෙන ගිහින් මගේ ගෙදර තියා ගත්තත්, ඔවුන්ව රැකගන්න මට බැරි වේවි. අපි මේ රටේ දරුවන්ට හා කාන්තාවන්ට සිදුවන හිංසන වළක්‌වා ගැනීම සඳහා වසර තුනක්‌ තිස්‌සේ වැඩ කරගෙන යනවා. නමුත් අපි ඔවුන්ව ආරක්‌ෂා කරගන්න එක වැඩපිළිවෙළක්‌ සකසද්දී ඔවුන් විනාශ කිරීමේ වැඩසටහන් ගණනාවක්‌ ක්‍රියාත්මක වෙනවා. දරුවෝ වැඩි දෙනෙක්‌ අපයෝජනයට පත්වන්නේ තමන්ගේ දෙමවුපියන්ගේ රැකවරණය නැති නිසයි. අම්මලා විදේශගත වීම විශාල ප්‍රශ්නයක්‌ බවට පත්වෙලා තියෙනවා. මම ළමා හා කාන්තා කටයුතු ඇමැති වෙන්නත් කලින් ඉඳලා මේ රටේ ඒ සම්බන්ධයෙන් කලින් හිටපු ඇමැතිවරිය පවා වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින මවුවරු විදේශගත වීම නැවැත්වීමට යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබුණා. මගේ උපදෙස්‌ පරිදි ඒ තත්ත්වය නීතිගත කරන්න උත්සාහ කළා. නමුත් අදටත් ඒ ප්‍රශ්නයට විසඳුම් නැහැ. ගෙදර ඉන්න අම්මලාත්, දරුවෝ නිසි ආකාරයෙන් බලා ගන්නේ නැහැ. අම්මලා දවල් වැඩට යනවා. දරුවෝ ගෙවල්වල තනි වෙනවා. ඥති ගෙවල්වල නතර කරලා ගිය දරුවන් බොහෝ දෙනකු නොයෙක්‌ අතවරවලට ගොදුරුවෙලා තියෙනවා. තමන්ගේ ළඟම ඥතීන් අතින් තමයි දරුවෝ වැඩිපුරම අපයෝජනයට ලක්‌ වෙන්නේ. අනාරක්‌ෂිත දරුවෝ අරගෙන ඇවිත් ළමා නිවාසවල රැඳෙව්වත් ඒවායෙත් නොයෙක්‌ ප්‍රශ්න තියෙනවා. වැරැදි අල්ලගෙන ඉහළට අරගෙන ගියත් අදිසි බලවේගවලින් ඒ වැරැදි වැහෙනවා. අපි කරන්න පුළුවන් උපරිම දේවල් කරන නිසා තමයි ළමා අපයෝජන හා ස්‌ත්‍රී දූෂණ මේ තරමටවත් පාලනය වෙලා තියෙන්නේ. 1929 දුරකථන අංකය හඳුන්වාදීමත් සමගම මෙතෙක්‌ වාර්තා නොවී සැඟවී තිබුණු ළමා හා ස්‌ත්‍රී දූෂණ හෙළිදරව් වෙන්න පටන් ගත්තා. හෙළිදරව්වීම නිසා සංඛ්‍යාවක්‌ සටහන් කරගන්න අද පුළුවන්වෙලා තියෙනවා. මීට පෙර එවැනි දේවල් කොතරම් සිදුවුණා ද කියලාවත් කවුරුවත් දන්නේ නැහැ. අද අපි ඒ අය සොයමින් දූෂකයන් හඳුනා ගනිමින් අනාරක්‌ෂිත දරුවන් හඳුනා ගනිමින් ඒ අයව රැකගන්න ක්‍රියා කරනවා. වැඩක්‌ කරන අයට විතරයි මේ රටේ මාධ්‍යයත් දොස්‌ කියන්නේ. ළමා අපයෝජන සිද්ධි මාධ්‍ය ඔස්‌සේ ජනප්‍රිය කරවීම නිසාත්, අපයෝජන වැඩිවෙලා තියෙන බව මාධ්‍ය පිළිගන්නවත් කැමැති නැහැ. මේවා රසවත් ආකාරයෙන් ප්‍රචාරය කිරීමෙන් වෙන්නේ කවදාවත් අපයෝජනයක්‌ නොකළ කෙනකු වුවත් එවැනි දේකට පෙළඹවීමයි. සමහර නාලිකාවල ළමා අපයෝජන සිද්ධි රඟපාලා පෙන්වනවා. සමාජයේ සෑම අංශයකින්ම ළමා හා ස්‌ත්‍රී දූෂකයන් බිහිකිරීම සඳහා උල්පන්දම් දෙද්දී ඒවා වළක්‌වන්න උත්සාහ කරන අපටම දොස්‌ නඟන එකනේ වැරැද්ද... යෑයි ඇමැතිවරයා කීවේය.

ටෙලි නාට්‍යයක්‌ බැලුවත්, වෙළෙඳ දැන්වීමක්‌ දැක්‌කත්, ප්‍රවෘත්ති වුවත් වැඩි වැඩියෙන් ඉස්‌මතු කරන්නේ නැතහොත් වැඩිපුර අලෙවි කරන්නේ ළමා අපයෝජන හා ස්‌ත්‍රී දූෂණයි. ඒවායෙහි ඇති සංවේදී බව මෙන්ම ඇතැම් සිදුවීම් රස විඳීමේ ජඩ ආශාවන් පෘථග්ජන මිනිසුන් තුළ පැවතීම ඊට හේතුවයි. අසභ්‍ය දේ වැඩිපුර අලෙවි වන්නේත්, ආකර්ෂණීය වන්නේත් මිනිසුන් තුළ පවතින මෙම පාදඩ හැඟීම් හේතුවෙනි. වෙළෙඳ අරමුණු ඔස්‌සේ දිවයන සමාජයක එම තත්ත්වය වැළැක්‌වීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන්නේ නම් එය උඩුගං බලා පිහිනීමකි. එහෙත් එය එතරම් අපහසු දෙයක්‌ නොවන බව උදාහරණ සහිතව කිව යුතුය.

අප මේ ජීවත් වන්නේ ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමූ රටකය. පාතාලය සියයට හැත්තෑපහකට වඩා නැසූ රටකය. උතුරා ගිය කුණු කාණු, පැල්පත් ගෙවල්වලින් පිරුණු ජරාජීර්ණ වූ පුරවරයක්‌ව පැවති කොළොම්පුරය හෝරා කිහිපයකින් සුරපුරයක්‌ සේ අලංකාර කළ රටකය. වසර ගණනාවක්‌ බිම් බෝම්බවලින් වැසීගිය බිමක්‌ මාස කිහිපයකින් උඩු යටිකුරු කර අල, ලූනු, මිරිස්‌ ආදී භෝග වගාවෙන් සශ්‍රීක කළ රටකය. කැලෑ, ලඳු දෙනි දිගේ ඇවිද ගිය අඩි පාරවල් මතින් අධිවේගී මාර්ග ඉදිකළ රටකය. වසර දෙක තුනකින් සිදුවූ යහපත් වෙනස්‌කම සුළුපටු නොවේ. මේ රට අද දවසේ කවුරුන් හැදුවත් එය භාර ගන්නට සිදු වන්නේ දරුවන්ටය. එම දරුවන් ළමා අපයෝජකයන් බවට පත්වන කල්හි ඔවුන්ගේ මානසික බිඳ වැටීමෙන් ගොඩනැඟෙන සමාජ වෛරය අද ගොඩනැඟෙන රට හෙට දවසේ වනසා දැමීමට තරම් ප්‍රබල වනු ඇත. එසේ නම් එක රැයකින් මේ රටේ ළමා අපයෝජකයන් හා ස්‌ත්‍රී දූෂකයන් වනසා දමා රටට, ජාතියට ආදරය කරන මල් වැනි දරු පිරිසක්‌ අනාගතයට භාර කර ගන්නට මේ රජය වහා ක්‍රියාත්මක විය යුතුය.

තුෂාරී කළුබෝවිල
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.