පොලිස්‌ බැලුන් අතේ පුපුරයි!

ප්‍රියන්ත වීරසූරිය හා චූලා ද සිල්වා යන
මහත්වරු රෙඩ්ලයින් ආයතනයේදී


බීමතින් රිය පදවන්නන්ට යහපත් කාලයක්‌ උදාවෙමින් තිබේ. "මතට තිත" කෙසේ වුවද තිතට මත් වී රිය පදවන්නන් අල්ලා දඬුකඳේ ගැසීමට පොලිස්‌ නිලධාරීන් මග දෙපස මාන බලමින් සිටින රටක බීමත් රියෑදුරන්ට යහපත උදාවීම එක්‌ අතකින් අරුමයක්‌ වන්නා සේම අනෙක්‌ අතට ප්‍රහසනයක්‌ ද වෙයි. ඒ ප්‍රහසනයට ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව දැන් සූදානම් වී සිටින අයුරු කදිමය.

බීමත් රියෑදුරන් පරීක්‍ෂා කිරීමේ ප්‍රශ්වාස විශ්ලේෂණ බැලුන් (Breathalysers) 40000 ක්‌ ආනයනය කිරීම සඳහා පොලිස්‌ දෙපාර්තමේන්තුව ලංසු කැඳවූයේ මීට මාස කිහිපයකට පෙරය. එම ලංසු කැඳවීමට අනුව සෙකියුරටෙක්‌ ලංකා පෞද්ගලික සමාගම සහ ටෙස්‌ පෞද්ගලික සමාගම බැලුන් ආනයනය සඳහා ඉදිරිපත් වී තිබිණි. සෙකියුරටෙක්‌ සමාගම දකුණු අප්‍රිකාවෙන්ද ටෙස්‌ සමාගම ජරරමනියෙන් ද ආනයනය කර දෙපාර්තමේන්තුවට සැපයීමට සූදානමින් සිටියේය. බැලුන් දහයක්‌ ඇසුරූ පැකට්‌ටුවක මිල ලෙස ටෙස්‌ සමාගම දක්‌වා තිබුණේ රුපියල් පන්දහස්‌ අනූපහයි ශත අනූ හතරකි. ඒ... ජර්මනියෙන් ආනයනය කරන බැලුන් සඳහාය. දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරන බැලුන් දහයක්‌ අන්තර්ගත පැකට්‌ටුවක්‌ රුපියල් හාරදහස්‌ පන්සිය හැත්තෑවක්‌ ලෙස සෙකියුරටෙක්‌ සමාගම මිල ගණන් ඉදිරිපත් කර තිබිණි. මිල ගණන් දෙකෙහි වෙනස රුපියල් පන්සිය විසිපහකි. එනම් එක්‌ බැලුනයක්‌ සඳහා වන මිලෙහි වෙනස රුපියල් පනස්‌ දෙකයි ශත පනහක්‌ වෙයි. "පොලිස්‌ බැලුන් අතේ පුපුරයි" යන සිරස්‌තලය යටතේ පසුගිය ඉරිදා පළ කරන ලද පුවතට අදාළව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා විසින් එවන ලද කරුණු පැහැදිලි කිරීමට අනුව ජර්මන් සමාගම අතහැර දකුණු අප්‍රිකානු සමාගමෙන් බැලුන් මිලදී ගැනීමේ දී රුපියල් දශ ලක්‍ෂ හතරක මුදලක්‌ ලාභයක්‌ ලෙස රජයට ලැබෙන බව සඳහන් කර ඇත. අප දන්නෙ ගණන් ශාස්‌ත්‍රය අනුව නම් රජයට ලැබෙන ලාභය රුපියල් දශලක්‍ෂ දෙකකට මදක්‌ වැඩි වනවා විනා දශ ලක්‍ෂ හතරක්‌ වන්නේ නැත. රජයට ලාභ ඉතිරි කරදීම සඳහා ම කැප වී සිටින පොලිස්‌ නිලධාරීහු දෙපාර්තමේන්තුවේ ඕනෑ තරම් සිටිති. මේ අනාවරණය එවැන්නන්ගේද දැන ගැනීම සඳහාය.

බැලුන් ආනයනය කිරීමට අදාළව රථවාහන නියෝජ්‍ය පොලිස්‌පති අමරසිරි සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තාක්‍ෂණික ඇගයීම් කමිටුවක්‌ ද පත්කෙරිණි. පොලිස්‌ අධිකාරී ආර්. ඒ. ඩී. සී. කේ. රණසිංහ හා ගණකාධිකාරි සී. බමුණුආරච්චි යන මහත්වරු ද එම කමිටුවට අයත් වූහ. අවම මිල ඉදිරිපත් කිරීම නිසා තාක්‍ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කර ඇත්තේ සෙකියුරිටෙක්‌ පෞද්ගලික සමාගම මගින් බැලුන් ආනයනය කිරීම වඩාත් යෝග්‍ය බවය. ඒ අනුව මේ වන විට බැලුන් ආනයනය කිරීමේ ටෙන්ඩරය සෙකියුරටෙක්‌ සමාගමට ප්‍රදානය කර ඇපකරවලට අත්සන් තබා ද අවසන්ය.

බීමතින් රිය පදවන්නන්ට යහපත් කාලයක්‌ උදා වෙමින් තිබේ යෑයි කලින් සඳහන් කළෙමු. එහි ආරම්භය වන්නේ තාක්‍ෂණික ඇගයීම් කමිටු නිර්දේශය ද සමඟින් බැලුන් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කිරීමේ ටෙන්ඩරය සෙකියුරටෙක්‌ සමාගමට ප්‍රදානය කිරීමය. මෙම සමාගම ප්‍රශ්වාස විශ්ලේෂණ බැලුන් ආනයනය කරන්නේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පිහිටි රෙඩ්ලයින් ආයතනයෙනි. මෙම ආයතනය බැලුන් නිපදවා ඇත්තේ නීතිමය සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට නොව රියදුරා බීමතින් සිටින්නේ ද යන්න පිළිබඳව දැන ගැනීම සඳහා පමණි. ප්‍රශ්වාස විශ්ලේෂණ බැලුන් සම්බන්ධයෙන් රෙඩ්ලයින් ආයතනය නිකුත් කර ඇති පොතේ සඳහන් වන්නේ" It is not designed for high precision  accuracy and should not becompared against the  performance specifications of devices used for legal evidence ලෙසිනි. එම බැලුන් නීතිමය සාක්‍ෂි සඳහා ඉදිරිපත් කළ නොහැකි බව ඉන් ඉතාම පැහැදිලිය. එපමණක්‌ නොවේ. බීමත් තත්ත්වය පරීක්‍ෂා කර පැය දොළහකින් පසුව එය කිසිදු සාක්‍ෂියක්‌ ලෙස ඉදිරිපත් කළ නොහැකි වනවා පමණක්‌ නොව විසි කිරීමට ද සිදුවෙයි. මන්ද දෙවරක්‌ එය පාවිච්චියට ගත නොහැක. පැය දොළහේ කතාව රෙඩ්ලයින් ආයතනය කියන්නේ මෙලෙසිනි. '"If this is not possible
the tester may be kept as
evidence for no longer than
twelve hours after which the
chemical absorbs moisture from
the atmosphere and becomes so wet that the green colour change
creeps and fades in the tube. මේ අනුව පාවිච්චි කර පැය දොළහකින් පසුව බැලුනය විසි කළ යුතු වෙයි.

බීමත් රියෑදුරන් පරීක්‍ෂාවට ලක්‌ කෙරෙන උපකරණය නීතිමය සාක්‍ෂි සඳහා ඉදිරිපත් කළ නොහැකි වීමේ වාසිය ලැබෙන්නේ රියෑදුරාටය. පැය දොළහකට පසුව බැලුනය විසි කර දැමීමේ වාසිය ලැබෙන්නේද බීමතින් සිටි රියෑදුරාටය. ඔවුන්ට යහපත උදාවෙමින් තිබේ යෑයි කීවේ එහෙයිනි.

අනෙක්‌ අතට රෙඩ්ලයින් නිෂ්පාදනයේ භයානක පැත්තක්‌ද තිබේ. එනම් එම බැලුනයට අයත් නළයේ පොටෑසියම් ඩයික්‍රෝමේට්‌ රසායනිකය අන්තර්ගතය යි. පොටෑසියම් ඩයික්‍රෝමේට්‌ යනු ක්‍ෂණයකින් ප්‍රතික්‍රියා කරන රසායනික ද්‍රව්‍යයකි. රෙඩ්ලයින් ආයතනයම ඒ බව කියයි. |
 'It should
be remembered that the
chemicals contain very powerful
oxidising agents and if allowed
to drip out of the tube will cause
damage to files, skin or cloths. සිය නිෂ්පාදනයන්හි හානිදායක බව එම ආයතනයම ප්‍රකාශ කරන විටත් තාක්‍ෂණික ඇගයීම් කමිටුව සෙකියුරටෙක්‌ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළේ බීමත් රියදුරන් සම්බන්ධයෙන් පවතින වෛරයක්‌ නිසාද නැතහොත් මෙම බැලුන් පාවිච්චි කිරීමෙන් බීමත් රියෑදුරන් නීතියේ රැහැනට හසු කර ගත නොහැකි බවට අනුමාන කළ නිසාදැයි නොදනිමු.

පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කරුණු පැහැදිලි කිරීමට අනුව ටෙන්ඩරය දකුණු අප්‍රිකානු සමාගමට ලබා දීමට ඇගයීම් කමිටුව නිර්දේශ කිරීමට තවත් හේතුවක්‌ බලපා තිබේ. එනම් ජර්මනි සමාගම නළ දහයකට එක්‌ බැලුනයක්‌ පමණක්‌ ලබා දෙන විට දකුනු අප්‍රිකානු සමාගම නළ දහයකට බැලුන් දහයක්‌ ලබා දීමය. මේ නිසා නිවැරැදිතාව වඩාත් සනාථ කර ගැනීමට නළ දහයට බැලුන් දහයක්‌ ලබා දීම අවශ්‍ය බවද එමගින් ගම්‍ය කර ඇත. මින් පෙර මෙම බැලුන් ආනයනය කර ඇත්තේ ජර්මනියෙනි. ජර්මනියෙන් ආනයනය කිරීමේදී නළ දහයකට බැලුන් දහයක්‌ ලබා දී නැත. ඔවුන් සෑම විටම ලබා දී ඇත්තේ නළ දහයකට එක්‌ බැලුනයක්‌ පමණි. ඉන් අදහස්‌ වන්නේ තවමත් එක්‌ බැලුනයක්‌ බීමත් රියෑදුරන් දස දෙනෙක්‌ පුම්බන බවය. එහි ක්‍රියාකාරිත්වය පවතින්නේ පුම්බන බැලුනයේ නොව බැලුනය සවි කරන නළයේය. එහෙයින් නළයකට බැලුනයක්‌ බැගින් ලැබුණද නළ දහයකට බැලුනයක්‌ බැගින් ලැබුණද ගැටලුවක්‌ නොමැති බව පොලිස්‌ දෙපාර්තමේන්තුවේද විශ්වාසය විය යුතුය. මන්ද තවමත් පාවිච්චි කෙරෙන්නේ ජර්මන් නිෂ්පාදනයන් වන නිසාය. අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන ආකාරයට නිවැරැදිතාව වඩාත් තහවුරු කර ගැනීම සඳහා නළ දහයට බැලුන් දහයක්‌ අවශ්‍ය වෙයි. එසේ නම් ඔහු නොකියා කියන්නේ මේ ලියන බොහොත දක්‌වා බීමත් රියෑදුරන්ට පොලිසිය නඩු පවරා ඇත්තේ බීමතින් සිටියේය යන නිවැරදිතාව වඩාත් තහවුරු කර නොගෙන බව නොවේද? එසේ නම් මේ දක්‌වා බීමත්ව රිය පදවා උසාවියට ඉදිරිපත් කරන ලද සියලුම රියෑදුරන්ට ඒකාබද්ධව පොලිසියට විරුද්ධව උසාවි යා හැකිය. ඒ සඳහා පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා නිමිත්තක්‌ ලබා දී තිබේ.

එමෙන්ම රෙඩ්ලයින් බැලුනය මිලදී ගැනීම 2011 වසරේ දී පොලිස්‌ දෙපාර්තමේන්තුව විසින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත. එම වසරට අදාළව දෙපාර්තමේන්තුව කළ ලංසු කැඳවීමේදී එස්‌. ඩබ්ලිව්. ඉන්ටර්නැෂනල් සමාගම රෙඩ්ලයින් නිෂ්පාදනය ද ටෙස්‌ පෞද්ගලික සමාගම ජර්මන් නිෂ්පාදනයද ඉදිරිපත් කර තිබූ අතර එහිදී දෙපාර්තමේන්තුව ටෙන්ඩරය ප්‍රදානය කළේ ජර්මන් නිෂ්පාදනය ඉදිරිපත් කර තිබූ ටෙස්‌ පෞද්ගලික සමාගමටය. මීට දෙවසරකට පෙර දෙපාර්තමේන්තුවට පිළිගත හැකි වූ ජර්මන් නිෂ්පාදනය ප්‍රතික්‍ෂේප කර නීතිමය සාක්‍ෂි ලෙස ඉදිරිපත් කළ නොහැකි මිනිස්‌සුන්ට හානිදායක දකුණු අප්‍රිකාවේ නිෂ්පාදනය මිල දී ගැනීමට සිත් වීම පිටුපස යම් අභිරහසක්‌ ඇතැයි අනුමාන කළ හැකිය. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කරුණු පැහැදිලි කිරීමට අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය මත පොලිස්‌ මූලස්‌ථානයේ අධ්‍යක්‍ෂ (සැපයුම්) ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත වීරසූරිය සහ කොළඹ නාගරික රථවාහන අධ්‍යක්‍ෂ චූලා ද සිල්වා යන මහත්වරුන් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි රෙඩ්ලයින් ආයතනයට ගොස්‌ අදාළ නිෂ්පාදන තත්ත්වය හා සාම්පල් ද පරීක්‍ෂා කර බලා වාර්තාවක්‌ ඉදිරිපත් කර තිබේ.

සෙකියුරටෙක්‌ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කෙරෙන්නේ පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදාය. ප්‍රියන්ත වීරසූරිය හා චූලා ද සිල්වා යන මහත්වරු කේප්ටවුන් බලා පිටත් වන්නේ ටෙන්ඩරය ප්‍රදානය කිරීමෙන් දින තුනකට පසුවය. එසේ නම් ටෙන්ඩරය ප්‍රදානය කිරීමට පෙර නිලධාරීන් දෙදෙනාට දකුණු අප්‍රිකානු සංචාරය ප්‍රදානය කර අවසන් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. අනෙක්‌ අතට නාගරික රථවාහන අධ්‍යක්‍ෂවරයා කේප් ටවුන් වෙත යැම පිළිගත හැකි වුවද සැපයුම් අධ්‍යක්‍ෂවරයා සංචාරයට එක්‌කර ගැනීමේ අරමුණ ඉතාමත් අපැහැදිලිය. සැපයුම් අධ්‍යක්‍ෂවරයා වෙනුවට රථවාහන භාර වෙනත් නිලධාරියකුට එම අවස්‌ථාව ලබා දුන්නේ නම් වඩාත් යෝග්‍ය බව අපි එක හෙළා විශ්වාස කරමු. කලින් සඳහන් කළ පරිදි රෙඩ්ලයින් නිෂ්පාදන මිල දී ගැනීමේ ආසාවේ අභිරහස්‌ ජවනිකා මේ අතර තිබිය නොහැකිය යන්න අපි විශ්වාස නොකරමු. ටෙන්ඩරය ප්‍රදානය කර දින තුනකින් විදෙස්‌ ගත වීම සඳහා අනිවාර්යයෙන්ම වීසා ලබාගෙන ඇත්තේ ටෙන්ඩරය ප්‍රදානය කිරීමට පෙරය යන්න නිසැකය. ඒ පිළිබඳවත් පරීක්‍ෂා කිරීම වටින්නේය.

කෙසේ වුවද ජර්මන් නිෂ්පාදනය අතහැර රෙඩ්ලයින් නිෂ්පාදනය මිලදී ගැනීම සඳහා පොලිස්‌ දෙපාර්තමේන්තුව සියලුම කටයුතු සූදානම් කර අවසන්ය. එහි වටිනාකම රුපියල් කෝටි දෙකකට අධිකය. නිෂ්පාදන තත්ත්වයද සාම්පල්ද පරීක්‍ෂා කිරීමට කේප්ටවුන් බලා ගිය නිලධාරීන්ගේ තත්ත්ව පරීක්‍ෂණ වාර්තා අනුව නොබෝ දිනකින්ම රෙඩ්ලයින් බැලුන් ශ්‍රී ලංකාවට ගෙනෙනු ඇත. බීමත් රියදුරන් පරීක්‍ෂා කර නීතිය ඉදිරියට ගෙන ඒම කෙසේ වුවද එළඹෙන උත්සව සමයේදී රෙඩ්ලයින් බැලුන් පුම්බා පොලිස්‌ මූලස්‌ථානය වටා එල්ලා තැබිය හැක.

පොලිසිය මෙසේ කියයි

බීමත් රියෑදුරන් පරීක්‍ෂා කිරීමේ බැලුන් දකුණු ඇමරිකානු සමාගමෙන් මිලදී ගැනීම වඩාත් යෝග්‍ය බව තාක්‍ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ "පොලිස්‌ බැලුන් අතේ පුපුරයි" යන සිරස්‌තලය යටතේ පසුගිය ඉරිදා (24 වැනිදා) "දිවයින ඉරිදා සංග්‍රහයේ" පළවූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමිනි.

ඒ සම්බන්ධයෙන් අප වෙත එවා ඇති කරුණු පැහැදිළි කිරීම මෙසේය.

එම ප්‍රවෘත්තිය අනුව නීතිමය සාක්‍ෂි ලෙස ඉදිරිපත් කළ නොහැකි රුපියල් කෝටි 2 කට අධික වටිනාකමකින් යුත් බීමත් රියෑදුරන් හඳුනා ගැනීමේ බැලුන් 4000 ක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුව විසින් මිලදී ගෙන ඇතත් එම බැලුන්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක්‌ පවතින බව සඳහන් කරමින් මෙම බැලුන් මිලදී ගැනීම සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියේ දූෂිත හෝ අයථා ක්‍රියා සිදුවී ඇති බව ගම්‍ය වන පුවතක්‌ පළකර ඇත.

ඒ අනුව, ඊට අදාළ නිවැරැදි තොරතුරු පහත පරිදි ඉදිරිපත් කරමි.

පොලිස්‌ දෙපාර්තමේන්තුව සඳහා පසුගිය වර්ෂවලදී ප්‍රශ්වාස විශ්ලේෂණ බැලුන් මිලදී ගෙන ඇත්තේ ජර්මනියේ සමාගමක්‌ මගිනි. කෙසේ වෙතත් 2012 ලංසු කැඳවීම අනුව එම ජර්මන් සමාගමට අමතරව දකුණු අප්‍රිකානු සමාගමක්‌ද ලංසු ඉදිරිපත් කර ඇත.

එම ලංසුවලට අදාළව රථවාහන නියෝජ්‍ය පොලිස්‌පති අමරසිරි සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් තාක්‍ෂණික ඇගයීම් කමිටුවක්‌ පත්කර ඇති අතර, ඇගයීම් කමිටුව රජයේ රස පරීක්‍ෂකවරයාගේ සහයද ලබාගෙන දකුණු අප්‍රිකානු සමාගමෙන් අදාළ බැලුන් මිලදී ගැනීම වඩාත් යෝග්‍ය බව පහත කරුණු අනුව නිර්දේශ කර ඇත.

01. ජර්මන් සමාගම ඇල්කොලයිසර් නළ 10 ක්‌ සඳහා ලබා දෙන්නේ එක්‌ බැලුනයක්‌ පමණි. නමුත් දකුණු අප්‍රිකානු සමාගම එක්‌ නළයකට එක්‌ බැලුනයක්‌ ලබා දෙයි. එමගින් නිවැරැදිතාවය වඩාත් සනාථ වේ.

02. දකුණු අප්‍රිකානු සමාගම පිරිවිතර සඳහා ගැලපෙන අවම මිල ඉදිරිපත් කර ඇති අතර එම නිසා නළ 4000 ක්‌ මිලදී ගැනීමේදී ජර්මන් සමාගමෙන් මිලදී ගන්නවාට වඩා රුපියල් මිලියන 04 කට ආසන්න ලාභයක්‌ රජයට ලැබෙනු ඇත.

03. ආයතන දෙකෙන්ම ඉදිරිපත් කර ඇති ඇල්කොලයිසර් නළවල ක්‍රියාකාරිත්වය එක හා සමාන බවත්, ස්‌වසන පරීක්‍ෂණ සඳහා යොදා ගැනීමට සුදුසු තත්ත්වයේ ඇති බවත් රජයේ රස පරීක්‍ෂක එස්‌. තෙන්නකෝන් මහතා විසින් 2013.06.26 දිනැතිව වාර්තාවක්‌ ලබාදී ඇත.

තවද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්ගේ අනුමැතිය මත පොලිස්‌ මූලස්‌ථානයේ අධ්‍යක්‍ෂ සැපයුම්, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත වීරසූරිය හා කොළඹ නාගරික රථවාහන අධ්‍යක්‍ෂ චූලා ද සිල්වා යන මහත්වරුන් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් වෙත ගොස්‌ අදාළ නිෂ්පාදන තත්ත්වය හා සාම්පල්ද පරීක්‍ෂා කර වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇත.

එක්‌ එක්‌ නළය සඳහා බැලුනයක්‌ ලැබීම, රුපියල් මිලියන 04 කට ආසන්න ලාභය හා රස පරීක්‍ෂක වාර්තාව පදනම් කරගෙන අදාළ උපකරණ 4000 ක්‌ මිලදී ගැනීමට දකුණු අප්‍රිකානු සමාගම වෙත ලංසු ප්‍රදානය කර ඇත.

මෙම ගනුදෙනුවට අදාළ කරුණු ඉහත පරිදි වන අතර, මෙතෙක්‌ බැලුන් මිලදී ගැනීමක්‌ හෝ මුදල් ගෙවීමක්‌ සිදුකර නොමැත. ඇල්කොලයිසර් නළ ලැබුණු පසු ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට රජයේ රස පරීක්‍ෂක වෙත නැවත යොමුකර එම වාර්තාව ලැබුණු පසු ගෙවීම් කරනු ඇත.

නිලන්ත මදුරාවල

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.