ලංකාවෙන් පන්නන් කොචින් ගෙනගිය රත්තරන්

කොචින් යනු ශ්‍රී ලාංකික අපිට එතරම් හුරු පුරුදු නමක්‌ නොවේ. නමුත් ඒ නම දැන් අමතක නොවන තැනට වැටී ඇත. ඒ පසුගියදා කොචින්වලදී අපේ රටේ අලඡ්ජි ජාවාරම්කරුවෝ පිරිසක්‌ ලෝකයා හමුවේ රටේ නම නිරුවත් කළ නිසාය. කටුනායක රේගුවේ ඇස්‌ වසා හෝ රේගුවේ ඇස්‌ පියාගන්නට යෑයි කියා පන්නාගත් රත්තරන් කිලෝ දොලහක්‌ සමග කොචින්වලට ගිය මේ අලඡ්ජි පිරිස එම ගුවන්තොටුපළේදී ඉන්දීය බුද්ධි අංශයට කොටුවූහ. පනස්‌හය දෙනකුගෙන් යුත් මේ සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් වු අතර ඒ බව ඉන්දීය මාධ්‍ය විසින් එසැනින් ලෝකය පුරා ප්‍රසිද්ධ කළේය. සැබවින්ම මහා පරිමාණ ජාත්‍යන්තර ජාවාරමක්‌ වන මේ තුප්පහි කතාවේ ස්‌වභාවය අවබෝධ කර ගැනීමට කොචින් ගැන දැනගැනීම ද වැදගත්ය.

කොචින් අන්තර් ජාතික ගුවන්තොටුපල පිහිටියේ අපේ අල්ලපු රටවන ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේය. කේරලයේ බටහිර පැත්තට වන්නට පිහිටි මේ ගුවන් තොටුපළ 2012 - 2013 වර්ෂය තුළ ඉන්දියාවේ කාර්ය බහුලම ගුවන්තොටුපළ වර්ගීකරණයේදී සිව්වෙනි වැදගත් ගුවන්තොටුපළ ලෙස සැලකුවේය. චෙන්නායි. දිල්ලි තරමටම නොවුනත් ව්‍යාපාරික වැදගත්කම අතින්ද කොචින්වලට සුවිශේෂ තැනක්‌ හිමිවන්නේ එය කේරළයේ ව්‍යාපාරකි අග නගරය වන අතරම ප්‍රතිශතයක්‌ ලෙස ඉන්දියාවේ පෞද්ගලික ව්‍යාපාරිකයන් වැඩි පිරිසක්‌ එහි ස්‌ථානගතව සිටීමය. මේ නිසා දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගෙ ව්‍යාපාරික කටයුතුවලින් පමණක්‌ නොව වානිජ නගරයක සිදුවන අකටයුතුකම්ද කොචින්වල සිදු නොවුනා නොවේ.

පසුගිය ඉරිදා ලාංකිකයන් පිරිස අත්අඩංගුවට ගනිමින් අනාවරණය කරගත් ජාත්‍යන්තර රත්තරං ජාවාරම, එහි එක්‌ සිදුවීමක්‌ පමණි. මීට පෙරද කොචින් රත්තරං ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රිය නගරයක්‌ ලෙස ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. මෙම සිද්ධියට පෙර එහි ආසන්නම සිදුවීම නම් කේරළේ ප්‍රකට තරුණ ක්‍රියාකාරිකයකුව සිටි ටී. කේ. µsයාස්‌ මහා පරිමාණ රත්තරං ජාවරම් කිරීම සම්බන්ධව දිල්ලියේදී ආරක්‍ෂක අංශවලට කොටුවීමය.

කේරළයේ දිළිඳු පවුලක උපත ලද µsයාස්‌ තිස්‌හත් හැවිරිදි තරුණයකු වන විට ප්‍රචලිතව සිටියේ තරුණ ක්‍රියාකාරිකයකු ලෙසය. ඔහු දකුණු ඉන්දියාවේ ප්‍රභූ චරිත කිහිපයක්‌ සමගම ඒ වන විටත් සමීප සබඳතා ගොඩනගාගෙන තිබිණ. දිල්ලි වලදී නියාස්‌ අත්අඩංගුවට පත්වන්නේ රත්තරං කිලෝ 42 ක්‌ වංචනික ලෙස රැගෙන යන අතරතුරේදීය. එම රත්තරංවල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 12 ඉක්‌මවයි. ටී. කේ. µsයාස්‌ ආරක්‍ෂක අංශවලට කොටු වූයේ තනිවද නොවේ. කාන්තාවන් දෙදෙනකු සහ ඩුබායි රට ව්‍යාපාරික කේන්ද්‍රස්‌ථානය කරගත් එන්. ආර්. අයි. ව්‍යාපාරිකයෙක්‌ සහ රේගු නිලධාරියෙක්‌ද µsයාස්‌ සමග අත්අඩංගුවට ගැනිණ. ඔවුන් රඳවාගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වූ තොරතුරුද හරි අපූරුය. කොචින් සහ ඩුබායි අතර මේ රන් ජාවාරම µsයාස්‌ කරගෙන ගොස්‌ ඇත්තේ වසර ගණනාවක සිටය. ඔහුගේ ඒ ජාවාරම සඳහා කේරළයේ ලොකු ලොකු අතු ලොකු තල්ලුවක්‌ දී තිබෙන බවට අනුමාන තොරතුරු ඒ ප්‍රශ්න කිරීම් හමුවේ හෙලිවී තිබිණ. විශේෂයෙන් කේරළ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයාගේ අතිරේක පෞද්ගලික ලේකම්වරයා සහ දකුණු ඉන්දියාවේ හිටපු රූ රැජින සමග ඔහු අත්අඩංගුවට පත්වීමට මොහොතකට පෙර දුරකථන සංවාදයේ යෙදී ඇත.

මෙවැනි පසුබිමක්‌ තුළදී කේරළයේ කොචින් අන්තර් ජාතික ගුවන්තොටුපළත් කොචින් වානිජ නගරයක්‌ රත්තරං ජාවාරමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බව ඉන්දීය ගුවන්තොටුපළ බුද්ධි අංශවලට ඉව වැටී තිබිණ. ලංකාවේ කොළඹ කටුනායක ගුවන්තොටත් චෙන්නායි සහ කොචින් අතරද මේ ජාවාරම මෙලෙසම සිදුවන බව ඉන්දීය ගුවන්තොටුපළ බුද්ධි අංශ සැක පහළ කරගත්තේ එකී අත්දැකීම් නිසා වන්නට ඇත. ඉන්දීය මාධ්‍යවලට අනුව නම් ඒ ගැන ආරක්‍ෂක අංශ විමසිලිමත්ව ඇත්තේ අද ඊයේ සිට නොවේ.

මෙවැනි පරිසරයක්‌ නිර්මාණයව තිබියදී ඉකුත් ඉරිදා කටුනායකින් කොචින් බලා පිටත් වූ යූ. එල්. 165 ගුවන් යානයේ එක්‌තරා පිරිසක්‌ සුපුරුදු ලෙස ඉලක්‌ක කරා ළඟාවෙමින් සිටියේය. හතළිස්‌ දෙදෙනකුගෙන් යුතු එම කණ්‌ඩායමේ වැඩි පිරිසක්‌ කාන්තාවෝ වූහ. ඔවුන් අසාමාන්‍ය ලෙස රන් ආභරණ හැඳ පැළඳගෙන සිටින බව දකින ඕනෑම කෙනකුට පළමු දැකුමෙන්ම හඳුනාගත හැකි වුවත් සමහරු ඒ මනාලියන් පිරිසක්‌ කියා රැවටුණේය. නමුත් ඉන්දීය ගුවන් බුද්ධි ඒකකයට මේ පිරිස ගැන කලින්ම ඉව වැටී තිබිණ. වහා ක්‍රියාත්මක වූ බුද්ධි ඒකක නිලධාරීන් කොචින් ගුවන් තොටුපළේ සිය නිලධාරීන් ස්‌ථානගත කළේය. නමුත් ඒ වන විට සිදුවන්නට යන්නේ කුමක්‌ද කියා මේ තක්‌කඩි ජාවාරම්කරුවන්වත් කොචින් ගුවන් තොටුපළේ පහළ රේගු නිලධාරීන්වත් නොදත්තේය.

යූ. එල්. 165 යානය කොචින්වලට ළඟාවිය යුතු නියමිත වෙලාව වූයේ උදෑසන නවයටයි. කිසිදු ප්‍රමාදයකින් තොරව ගුවන් යානය කොචින්වලට ළඟා විය. සියල්ල නිවැරදි යෑයි සිතූ ජාවාරම්කරුවන්ගේ සැලසුම වූයේ රේගු නිලධාරීන්ගේ ඇස්‌ වසා ගුවන් තොටුපළින් නිරුපද්‍රිතව පිටවීමයි. නමුත් එතෙක්‌ රැකවල්ලා සිටි බුද්ධි නිලධාරීන් මනාල මනාලියන් සේ රත්තරනින් හැඳ පැළඳ සිටි මේ පිරිසට පිටව යාමට ඉඩ නොදී රඳවා ගත්තේය.

පසුව ඔවුන්ව නිරීක්‍ෂණය කිරීමේදී මේ පිරිසේ සෑම කෙනෙක්‌ම අසාමාන්‍ය ලෙස රන් ආභරණ පැළඳගෙන සිටින බව බුද්ධි නිලධාරීන් අවබෝධ කරගත්තේය. එසේම ඔවුන් පැළඳ සිටි ආභරණ මනා ලෙස ඔප දැමූ ඒවා නොව ගොරහැඩි ඒවා බව නිලධාරීන්ට වැටහිණ. ඒ සියල්ල එකතු කර කිරා බලන විට ආරක්‍ෂක අංශවලටද ජාවාරමේ තරම තේරුණේය. එහි වූයේ කිලෝ ග්‍රෑම් 10 කට ආසන්න බරකින් යුතු රත්තරං තොගයකි. ඉනික්‌බිතිව එදිනම සවස තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 14 දෙනෙක්‌ මෙලෙසම ඉන්දීය ගුවන් බුද්ධි ඒකකයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. මේ කණ්‌ඩායම් දෙකම එකම ජාවාරම්කරුවකුගේ තැරැව්කරුවන් පිරිසක්‌ වූ අතර ඔවුන් කණ්‌ඩායම් දෙකක්‌ සේ වෙන් වෙන්ව පැමිණ තිබුණේ රේගු නිලධාරීන්ගෙන් වසන් වීම සඳහාය. එහෙත් අපේ රටේ කීර්ති නාමයද ලෝකයා හමුවේ නිරුවත් කළ මේ අලඡ්ජි ජාවාරම්කරුවෝ අවසානයේ කොටු වූයේ රත්තරං කිලෝ ග්‍රෑම් 11 ක්‌ සමගිනි. එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3 ක්‌ බව පසුව තහවුරු කර ගැනිණි.



තිස්‌ස ගුණතිලක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.