පරිත්‍යාගයේ,අහස්‌ ගව්වේ අපි කරට කර රඟපෑවා...
අමරසිරි කලංසූරිය


අපි කවුරුත් දන්නා කලං.... එහෙමත් නැත්නම් "අමරසිරි කලංසූරිය" සිංහල සිනමාවේ "සීනි බෝල" පෙම්වතාගේ චරිතය සිය අපූරු රංගන ප්‍රතිභාවෙන් වෙනස්‌ කළ චරිතයකි. ඔහු ඒ හපන්කම කරන්නේ සිනමාවේ දැවැන්තයන් රැසක්‌ 'කරට කර' රංග භූමිය ආක්‍රමණය කරන මොහොතකය. එහෙත් හන්තානේ කතාවෙන් ඇරඹි සිය රංගන චාරිකාව 'අහස්‌ ගව්වෙන්' හොඳම නළුවා වී කූටප්‍රාප්තියට ගෙන එමින් අපේක්‍ෂා, අනුපමා, පරිත්‍යාගය, යස ඉසුරු, පූජා, බඹරු ඇවිත්, සාගරයක්‌ මැද, සක්‌විති සුවය වැනි සිනමා පට රැසක මෙරට සිනමා වංශකතාවේ කරට කර සිටි විශිෂ්ට රංගධරයන් සමඟ සිය ප්‍රතිභාව ප්‍රකට කළ අයුරු කලං කියන්නේ මෙසේය.

නළුවෙක්‌ හැටියට දීර්ඝ කාලයක්‌ ක්‍ෂේත්‍රයේ ගත කළා නේද?

අපොයි ඔව්. තාමත් ගතකරනවා.

ක්‍ෂේත්‍රයේ අභියෝගයක්‌ එහෙමත් නැත්නම් කරට කර හිටපු අය කවුද?

අභියෝගයක්‌? ම්... ම්... ඒක අභියෝගයක්‌ද කරට කර හිටියද කියන්න මම දන්නේ නෑ. හැබැයි එකම චිත්‍රපටයක සිනමාවේ දැවැන්තයන් පිරිසක්‌ එක්‌ක ඉන්නකොට, ප්‍රේක්‍ෂකයාට දැනෙන්න රඟපාන්න හැමෝම උත්සාහ දරනවා.

හරි... අපි ඒකට "කරට කර" කියන්නම්. කවුද ඒ අය.

ගාමිණී ෆොන්සේකා... ඒ තමයි අපේ දැවැන්තම ප්‍රතිරූපය. ඊළඟට විජය, ජෝ, ටෝනි, රවින්ද්‍ර, විමල්, ඩී. ආර්. හිටියා.

මේ හැමෝම එක්‌ක "කරට කර" රඟපාන කොට මොකක්‌ද දැණුනු හැඟීම.

මෙහෙමයි. ගාමිණී එක්‌ක රඟපාද්දී අපිට එයාගෙන් ඉගෙන ගන්න දේවල් තිබුණා. ඇත්තටම කොච්චර "කරට කර" ඉන්න බැලුවත්, එයාගේ රංගන පෞරුෂය එක්‌ක ඒක කරන්න බැරිවුණා. බොහෝ වෙලාවට අනික්‌ අය එක්‌කත් එහෙමයි. ඒත් අපි නිතරම උත්සහ කළේ හැමෝම හොඳට රඟපාන්න. ඒකට හේතුව කෙනෙක්‌ගේ රංගන පෞරුෂය ඉදිරියේ අනික්‌ කෙනා දුර්වලනම් ඒක නිර්මාණයට හොඳ නෑ.

ඒ නිසාම, එකිනෙකා අතර කරට කර තරඟයක්‌ ඉබේම නිර්මාණය වෙන්න ඇති...

ඔව්... ඔව්... රඟපාද්දි කල්පනාවෙන් රඟපාන්න සිද්ධවුණා. ඇයි ඉතිං හැමෝම දක්‍ෂයිනේ. "කරට කර" සටනක්‌ තිබ්බා. හැබැයි ඒක එකිනෙකා අභිබවා යන්න උත්සහ දරන තරගයක්‌ නොවෙයි. ඉතිං අපිට අපේ අඩු ලුහුඬුකම් හදාගෙන හොඳ රඟපෑමක්‌ කරන්න පුළුවන් වුණා.

'කරට කර' රඟපෑවම කවුරුන් හෝ ඉස්‌සරහට ආවේ නැද්ද?

හැමෝම දක්‍ෂයි. මට වඩා දක්‍ෂ අය ඕනතරම් හිටියා. හැබැයි 'කරට කර' රඟපෑවා. "පරිත්‍යාගය' චිත්‍රපටයේ මගෙත් එක්‌ක කරට කර රඟපෑවේ ටෝනි රණසිංහ.

හැබැයි ඔබ එහි 'උප ප්‍රධාන' චරිතයයි රඟපෑවේ.

ඔව්... ඒක තමයි 'කරට කර' රඟපානවා කීවේ. මම උප ප්‍රධාන චරිතය, ටොනි ප්‍රධාන චරිතය. ඒත් එක චරිතයක්‌වත් වැටෙන්න දෙන්න බෑ. අන්තිමේදී මම 'ජනාධිපති සම්මාන' උළෙලෙදී හා සරසවි සම්මාන උළෙලෙදී හොඳම සහය නළුවා වුණා. 'පරිත්‍යාගය' චිත්‍රපටයට සම්මාන ලැබුණෙත් ඒකට විතරයි. ඒ අවස්‌ථාවේම 'ටෝනි' මගේ ළඟට ඇවිත් ප්‍රශංසා කළා.

"අහස්‌ ගව්ව" චිත්‍රපටයටත් සම්මාන ලැබුණා. දක්‍ෂ හා ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක්‌ එහි රඟපෑවා.

ඔව්... විජය, විමල් ඇතුළු බොහෝ පිරිසක්‌. ඒත් අහස්‌ ගව්වටත් මට ලේඛක හා විචාරක සම්මානය, සරසවිය හා ඕ.සී.අයි.සී. උළෙලේ හොඳම නළුවා සම්මාන හිමිවුණා. විදේශීය ටෂ්කන්ට්‌ සම්මාන උළෙලේදීත් හොඳම ප්‍රාසාංගික රංගනයට හිමි සම්මානය ලැබුණා. හැබැයි අපි හැමෝම අහස්‌ ගව්වේදී "කරට කර" හිටියා. අනික්‌ අය අදක්‍ෂයෝ නොවෙයි.

මේ කරට කර රඟපෑම් අධ්‍යක්‍ෂවරුන්ටත් විශාල පහසුවක්‌ වෙන්න ඇති.

මොනවා කියනවද...? ඒ අයට, අපි එක්‌ක වැඩ කරන හැමෝටම සතුටුයි... "පූජා" චිත්‍රපටයේදී විජය, රවීන්ද්‍ර, ජෝ, ගාමිණී මේ හැමෝම එක්‌ක එකට රඟපානවා කියන එක ලේසි පහසු දෙයක්‌ද? අධ්‍යක්‍ෂවරයා හැටියට ධර්මසිරි ගමගේ මහත්තයා කිව්වේ ඔන්න මම චරිතවලට සුදුසු අය දැම්මා. දැන් සාධාරණය ඉෂ්ඨ කරන්න කියලා විතරයි. ඉතිං ඒක හරියටම හරි ගියා.

එකිනෙකා අතර අගය කිරීම් සිද්ධවුණේ නැද්ද?

ඇත්තටම වුණා. ඒක තමයි අපේ ශක්‌තිය. ගාමිණී මහත්තයා එහෙම ලේසියෙන් හොඳයි කියන්නේ නෑ. හැබැයි එකම වතාවකවත් අපි එහෙම නරකක්‌ අහලත් නෑ. විජය නිතරම මාව අගය කළා. "සක්‌විති සුවය", "පූජා" වගේ චිත්‍රපට වලදී විජය සෑහෙන්න මාව අගය කළා. මගේ පිටට තට්‌ටුවක්‌ දාලා සුබ පතනවා. විජය මගේ ගැන ලොකු විශ්වාසයක්‌ තිබ්බ මිත්‍රයෙක්‌.

ප්‍රවීණයෙක්‌ එක්‌ක 'කරට කර' රඟපාද්දී පසුබෑමක්‌ වැනි හැඟීමක්‌ ඇතිවුණේ නැද්ද?

නෑ... අපි හැමෝම එකිනෙකා ගැන අවබෝධයෙන් හිටියෙ. "පූජා" චිත්‍රපටයේදී "ජෝ" ප්‍රධාන නළුවා මම සහාය නළුවා. මට වැදගත් වුණේ ජෝ වගේ දැවැන්ත චරිතයක්‌ ඉදිරියේ මම කොහොමද ප්‍රේක්‍ෂක අවධානය ගන්නේ කියන එක. ඒක හරිගියා. මම ජනාධිපති, සරසවි සම්මාන උළෙලවල් වල හොඳම සහාය නළුවා වුණා. ජෝ හොඳම නළුවා වුණා.

ඔබ තිරයේ වීරයෙක්‌ (හීරෝ) නොවෙයි. ඒත් සටන් ජවනිකා වලදී 'කරට කර' කවුරුත් හිටියේ නැද්ද?

'අපේක්‍ෂා' චිත්‍රපටයේ, 'රන්ජන් මෙන්ඩිස්‌' තමයි මගේ හිත ගත්ත සටන් නළුවා. එයා එක්‌ක සටන් කරනවා තියා හිතන්නවත් බෑ. මම, කැමරා කරපු ඩොනල්ඩ් කරුණාරත්නට කිව්වා "උඹ උඹේ වැඩේ කරපං මම ගැන මං බලාගන්නම්" කියලා. රන්ජන් ගහපු පාරකට මාව ඇදගෙන වැටුණා. මම ළඟ තිබ්බ ගලක්‌ අරගෙන ගහන්න ගියා. රන්ජන් මෙන්ඩිස්‌ බය වෙච්ච පාර පස්‌සෙන් පස්‌සට ගියා. හැබැයි දර්ශනය තාත්විකයි. මම ප්‍රේක්‍ෂක අවධානය රඳවා ගත්තා.

උදේශ ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.