හිතමිතුරු සුළඟ

එදා ඉඳලම හිටියේ තුන් දෙනයි
සරත්

දරුවෝ කීදෙනෙක් ඉන්නවද...?
ජනිත්

උපන් දිනය කවදද?

හැම අවුරුද්දෙම සැප්තැම්බර් 14

නෑ මං අහන්නෙ වයස කීයද?

වැඩිපුරත් එක්‌ක 46 යි කියල කියවගන්නනෙ ඔය ඕන.

තාමත් තරුණයි කියලද හිතන් ඉන්නෙ?

ඇයි ඒකේ වැරැද්දක්‌ තියනවද? තාම මගේ හදවත වයසට ගිහින් නෑ. ඒකනෙ ඔයාල වගේ අයත් එක්‌ක කරට කර ආශ්‍රය කරන්නෙ.

දැන් දරුවො කී දෙනෙක්‌ ඉන්නවද?

දැන් දරුවො කීයක්‌ ඉන්නවද කියල ඇහුවාම නිකන් ඊයේ පෙරේදාත් දරුවො හැදුවා වගේනෙ. මට එදා ඉඳලම ඉන්නෙ දරුවො තුන්දෙනයි. ඒ තුන්දෙනාම පුත්තු.

මිනිස්‌සු තිරයෙන් දකින සරත් දික්‌කුඹුරට වඩා වෙනස්‌ කෙනෙක්‌ නේද දරුවො ඉස්‌සරහ ඉන්නෙ?

මමම තමයි එතනත් ඉන්නෙ. ජනිත්ට එහෙම මාව මාරුවෙලා පෙනිල තියනවද? හැබැයි හරියට අපි යාළුවෝ වගේ තමයි ආශ්‍රය කරන්නෙ. හරිම සරලයි. ඒක ඉතින් ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

සරත් අයියා විවාහ වුණේ කොයි කාලේදීද?

දැනට අවුරුදු 25 කට කලින්.

විවාහයෙන් පස්‌සෙ ආදරේ දැනිල නැද්ද?

හැමදාම ආදරෙන් ජීවත් වෙන්නෙ.

මම අහන්නෙ විවාහයෙන් පස්‌සෙ ගෙදරින් පිටතදී ආදරයක්‌ දැනිල නැද්ද?

ගෙදර ආවාම ගෙදරට ආදරෙයි. පිටතට ගිහාම පිටතට ආදරෙයි. ඒ දෙක පටලවා ගන්නෙ නෑ.

සරත් අයියා වැඩිපුරම හිතවත් ක්‌ලීටස්‌ මෙන්ඩිස්‌ටද එහෙම නැත්නම් ජීවන් කුමාරතුංගටද?

ඒ දෙන්නම මගෙ හොඳම යාළුවෝ. දෙන්නටම මම එක වගේම හිතවත්. ඒ දෙන්නත් ඒ තරමටම මට හිතවත් කියලත් මම දන්නවා.

රඟපාපු මතක හිටිනම වඩාත් කැමැති දර්ශනය මොකක්‌ද?

කරපු හැම චරිතයකටම හැම දර්ශනයකටම ඇත්තටම මම කැමැතියි. ඒකනෙ ඒ චරිත භාර ගන්නෙ. මම ඒ හැම චරිතයක්‌ම හොඳින් කරල තියනවා.

ඔයා මගේ දෙමාපියන්ට හිතවත් කියන එක ඇත්ත. ඒත් මම දැන ගන්න කැමැතියි දන්න කාලෙ ඉඳල ඇයි මට මෙච්චර සපෝට්‌ එකක්‌ දෙන්නෙ?

කොහොමත් මම තමුන්ගෙ දෙමාපියන්ට හිතවත් තමා. ඒ නිසා නෙවෙයි. නමුත් තමන්ට දැනගන්න ඕන මම තමුන්ට කොච්චර හිතවත්ද කොච්චර ආදරෙයිද කියල. ඒක සොයාගෙන යනකොට ඔය ප්‍රශ්නයටත් ඉබේම උත්තර හම්බවෙයි.

කලාවට අමතරව දේශපාලනයක්‌ කරනවනෙ?

ඕව්...

දේශපාලනයයි කලාවයි ඔය දෙකෙන් එකක්‌ තෝරගන්න වුණොත්?

අනිවාර්යයෙන්ම කලාව තෝරාගන්නවා. ඒත් මේ ලෝකෙ පවතින්නෙ කලාව, දේශපාලනය, ක්‍රීඩාව කියන ලිප්ගල් තුන උඩ මම ඒක තේරුම් අරගෙන තියෙන්නෙ.

කලාව සඳහා දේශපාලනය කරනවාද? දේශපාලනය සඳහා කලාව කරනවාද?

ඔය දෙක පටලවා ගන්නෙ නෑ. දේශපානලය වෙනුවෙන් දේශපාලනය කරනවා. කලාව වෙනුවෙන් කලාව කරනවා.

ඔය කිව්ව වයසෙදිත් කෙල්ලො ඔයා දිහා බලන්නෙ ඇයි?

එක තමයි මම කිව්වෙ, මම තාම තරුණයි.

ගෙදරයි පිටත සමාජයයි බැලන්ස්‌ කරන්නෙ කොහොමද?

ඒක මගේ පිනක්‌. මම වගේ ස්‌වාමි පුරුෂයෙක්‌, පියෙක්‌ ලබපු අය වසනාවන්තයි. මම වගේ පුතෙක්‌ බිහිකරපු දෙමාපියො වාසනාවන්තයි.

කොහොමද එහෙම කියන්නෙ?

ගෙදරට ආවාම ගෙදර විදියටත් සමාජයට ගිහාම සමාජයට ඕන විදිහටත් ජීවත් වෙන්න මම දන්නවා.

තිස්‌ස ගුණතිලක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.