පහ ශිෂ්‍යත්වයේ අලුත් වෙනස ලබන වසරේදී  බෑ

නිලන්ත මදුරාවල

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එක්‌ ප්‍රශ්න පත්‍රයකට පමණක්‌ සීමා කිරීමේ නව ක්‍රමවේදය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නව ක්‍රමය ලබන වසර සිට ක්‍රියාත්මක කරන බවට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළද ප්‍රායෝගික තත්ත්වයන් මත ලබන වසරේදීම නව ක්‍රමය හඳුන්වාදීමට නොහැකි බවද ඉහත ආරංචි මාර්ග කීවේය.

විභාගය ලිහිල් කිරීමට අදාළව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස්‌ කරන ලද නිර්දේශ ජනාධිපතිවරයාට සහ අධ්‍යාපන ඇමැතිවරයාට මේ වන විට භාරදී ඇත. මෙම නිර්දේශ පුළුල්ව සාකච්ඡාවට භාජන කර ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය සකස්‌ කළ යුතු වන අතර ඒ සඳහා සැලකිය යුතු කාලයක්‌ ගතවන බව අමාත්‍යාංශ බලධාරීන්ගේ අදහස වී තිබේ. එහෙයින් නව ක්‍රමයට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය ස්‌ථිර නිගමනයකට පැමිණ නැත.

එමෙන්ම ප්‍රශ්න පත්‍ර දෙක එක්‌ ප්‍රශ්න පත්‍රයකට සීමා කළද විෂය නිර්දේශයේ සංශෝධනයකින් තොරව දරුවන්ගේ මානසික මට්‌ටමට සහනයක්‌ නොවන බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.