රටට පිළිකාවක්‌ වූ හොර පිළිකා වෙද්දු

*වසරකට ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් විසිදහසක්‌....
*හාර දහසක්‌ හොර වෙදුන් පසුපස...
*මහනුවර පමණක්‌ ප්‍රසිද්ධ ජාවරම් කරුවන්ගේ මධ්‍යස්‌ථාන දාහතක්‌


අපි හැමෝම ජීවිතයට ආදරෙයි. කුමන ආගමක්‌ හරහා වුවද ජීවිතයේ අනිත්‍ය බව අවබෝධ කර ගත්තද, සැමටම මරණය නියත බව සක්‌සුදක්‌ සේ පැහැදිලි වුවද එක දිනක්‌ හෝ තවත් ජීවත් වීමට ඔබ මා ඇතුළු මේ සමස්‌ත මනුෂ්‍ය සංහතියම කැමතියි.

එලෙස ජීවත් වීමේ ආශාව ඇතිවීමත් සමඟම දැනුම, අවබෝධය හැඟීම් යන යථාර්ථ සිද්ධි දාමයේ පුරුක්‌ එකිනෙක ලිහී බිඳී, දැනුම අවබෝධය පරයා හැඟීම් ඉස්‌මතු වන්නේ අප දැසටද හදවතටද හොරාය.

ජීවත්වීමේ ආශාව හැඟීම් සමඟ බද්ධ වී අවබෝධය මරා දමන්නේ, ජීවිතයට මරණ බයක්‌ දැනුණු මොහොතකමය. එය මරණ තර්ජනයක්‌, අවදානම් සහිත කාර්යයක්‌ හෝ මාරාන්තික රෝගයක්‌ හෝ ඇතිවූ අවස්‌ථාවක්‌ විය හැකියි. එවැනි අතිශය තීරණාත්මක මොහොතක අවබෝධය හා දැනුම මරාදමා හැඟීම්වලට වහල්වීමෙන් ජීවිතය මරාදමන්න හවුල් වෙනවාය කියා කිසිවෙක්‌ කල්පනා කරන්නේ නැත.

මරණය හමුවේ, නිවැරැදි තීරණයක්‌ නිවැරදි අවස්‌ථාවක නිවැරදිව ගැනීමේ ඇති උවමනාව සමාජයටම පහදා දෙන්නට රටපුරා සෑම ප්‍රදේශයකම පුද්ගලයන් සාක්‌ෂි සැපයූ බව ඉකුත් දිනෙක යළිත් සිහිකළේ වයස අවුරුදු හතලිස්‌ පහක්‌ පමණක්‌ ජීවත්ව අකාලයේ මියෑදුනු මහනුවර ප්‍රියානි කාරියවසම්ය.

ඇය, පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ, හෙද නේවාසිකාගාරයේ නිවාස පාලිකාවකි. ඇයගේ ස්‌වාමිපුරුෂයා අජිත් පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක විශේෂිත ළමා රෝහලේ සේවය කරන්නෙකි. දෙදෙනාගේම රෝහල් කාර්ය මණ්‌ඩලය සේවා පළපුරුද්ද වසර විස්‌සකටත් වැඩිය.

නමුත් දෙදෙනාම අවශ්‍ය මොහොතට නිවැරැදි තීරණයක්‌ නොගැනීමෙන් ජීවිතය හැර දමා ගියේ ප්‍රියානිය. යළි යළිත් මැරී මැරී උපදින්නේත්. නිමක්‌ නොවන දුකක්‌ හිසමත දරාගෙන ජීවන ගමන යන්නට සිදුවන්නේ ප්‍රියානිගේ පුතුන් දෙදෙනාටය.

වැරැදි අවබෝධයෙන් දැනුම යටපත් කරගෙන මිත්‍යා විශ්වාස ඇදහිලි, නොපෙනෙන බලවේග හෝ ව්‍යාජ වෙදුන් පසුපස වැඳ වැටී යන මිනිසුන්ට මේ කියෑවෙන සිද්ධි දාමයෙන් හෙළිවන යථාර්ථය පාඩමක්‌ නොව පාඨමාලාවකි.

ප්‍රියානිගේ පියයුරේ කුඩා ගැටිත්තක්‌  ඇති බවත් එය පිළිකාමය සෛලවලින් සමන්විත බව බයෝප්සි පරීක්‍ෂණ මගින් තහවුරු කර ගත්තේ 2011 වසරේදීය. මහනුවර රෝහලේදී මූලික පරීක්‍ෂණවලින් පසුව ප්‍රියානි පසුවන්නේ පිළිකාවක්‌ ඇති වීමෙන් පසුව ප්‍රතිකාර කළ යුතු පළමු අදියරේ බවද "බය වෙන්න දෙයක්‌ නැහැ ගැටිත්ත ඉවත් කළාම ප්‍රශ්නයක්‌ නැහැ" යෑයිද කියා සිටියේ රෝහල් කාර්ය මණ්‌ඩල දැනහැඳුනුම් කම්ද ඇති නිසාමය.

එහෙත් දෛවයක සරදම ··

ප්‍රියානිට කොතෙක්‌නම් යාවත්කාලීන නවීන දැනුම සහිත යහළු යෙහෙළියන් සිටියද විශේෂඥ වෛද්‍යවරු සෙසු වෛද්‍යවරු ශල්‍ය වෛද්‍යවරු සිටියද ඇය ඇගේ රෝගය පිළිබඳ තොරතුරු විමසුවේ හෝ උපදෙස්‌ ලබා ගත්තේ හෝ නැත. දන්නා හඳුනන දැනුමෙන් සපිරි යහළු යෙහෙළියන් වෛද්‍ය කණ්‌ඩායම්වලට වඩා දුර්වල මනසින් යුත් ඇය පැතුවේ පිළිකාව නිට්‌ටාවට සුවකරන (ව්‍යාජ) වෙදැදුරන්ගේ පිහිටය. ඇයගේ රෝගි තත්ත්වයටද වඩා පිළිකාව දරුණු ලෙස පැතිර තිබුණේයෑයි කියන, අසවල් තැනින් දුන් කසායෙන්, නැතිනම් කැඳකෝප්පයෙන් එය නිට්‌ටාවට සුව වූයේ යෑයි කියන මෑත කාලයේ රෝගීන් අතරදී සැනෙකින් මිත්‍ර වූ උදවිය පෙන්වූ මග ඇයට ඇගේ සිතට මහා බලවේගයක්‌ සේ විය. ඇය ඒ බලවේගය තමාගේ ජීවවේගය හීනය කොට මාරයා වෙත කැඳවාගෙන යන බැව් නොසිතුයේ පිළිකා වෙදගෙදරට පා තැබුවාටද පසුවය. පිළිකා වෙද ගෙදර තිබුණේ බලංගොඩය. අලුයම හෝ පෙරදින බලන්ගොඩට ගොස්‌ නොම්බර ගෙන පොත්පත්වල නම් දමා ඉතා පිළිsවෙලට ප්‍රතිකාර කරන අවැසි බෙහෙත් හේත් කොළ ආදිය අඩුපාඩු නොවන සේ සපයා දෙන මෙවන් වෙදැදුරෝ සැබැවින්ම මෙලොවට සැපත් සෘෂිවරුන් සේ ප්‍රියානි දකින්නට ඇත. එහෙයින්ම දිගු කලක්‌ ප්‍රියානි දුරද වෙහෙසද අපහසුතාද නොතකා බලංගොඩට ගොස්‌ පිළිකා නාශක කැඳ බිව්වාය. ගුණ අගුණ දේ යෑයි ඔවුහු කී දැ අනුව ඇය කෑවාය බිව්වාය. ඒ සියල්ල නොසිතූ නොපැතූ අන්දමට උඩුයටිකුරු වූයේ කැඳ බී වසරක්‌ ගත වූවාට පසුවය.

ඉතා කුඩා ගැටිත්තක්‌ව තිබූ ප්‍රියානිගේ පියයුරු පිළිකාව වසා ග්‍රන්ථි දක්‌වාත් ඉන් ඔබ්බට පෙනහලු දක්‌වාත් පැමිණෙමින් මරණයේ සේයාව දැස්‌ අභිමුවට ගෙන ආවේ පිළිකාවේ අවසන් අදියරේදී පෙන්වන සියලු රෝග ලක්‌ෂණ පෙන්වමිනි. ඇය යළිත් පිහිට පැතුවේ මහනුවර රෝහලේ, පිළිකා ප්‍රතිකාර ඒකකයෙනි. එවිට ඇය ප්‍රමාද වැඩිය. ප්‍රතිකාර ලබා දිය නොහැකි තරමට පිළිකාව දරුණු වී හුස්‌ම ගැනීම පවා අවහිර කරමින් ප්‍රියානිට ජීවිතයේ අමිහිරිතම අත්දැකීම් විඳීමට වෙදැදුරෝ මග සලසා දී තිබිණි. ඇය මෙලොව අතැර ගියේ එහි සැබෑ අරුත අපට පෙන්වා දෙමිනි.

දැන් දැන් මෙලක්‌වාසීන් මිත්‍යා මත පසුපස යමින්, ඒවායෙහි එල්බ අවිද්‍යාව දකිමින් විඳිමින් සැප සොයන්නට පුරුදුව ඇත. ඇත්ත ඇතිසැටියෙන් දැක සත්‍යයට මුහුණදීම සඳහා ලෝ පතල දැනුමැති මිනිසුන් සොයා ගත් විධික්‍රම පාගා තලා දමා සිංහල ක්‍රමය යෑයි අපේ ක්‍රමය යෑයි පෙර කල විසුවෝ ජීවත් වූයේ ඒ මත රැඳෙමිනැයි කියමින් හොර වංචනිකයන් පසුපස යති.

යාපනය, සිට ගාල්ල දක්‌වාත්, මන්නාරමේ සිට ත්‍රිකුණාමලය දක්‌වාත් යාවන පරිදි කවයක්‌ ඇඳ අභ්‍යන්තරයේ වන සෑම ප්‍රදේශයක්‌ පිළිබඳව සොයා බැලූවිට හොර වෙද්දු, වංචනික කපුමහත්හොරු, විශ්ව ශක්‌තිය විකුණා හම්බකරන වෙළෙන්දොa, බුදුන්ටත් නිගා කරන වංචනික වෙද හාමුදුරුවරු, දේව බලයෙන් පේන කියන මෑණිවරු, ගස්‌ ගල් උදව්වට ගෙන ආරූඪකරගත් දෙවිවරු කොතෙක්‌ද? ඒ පසු පස හඹා ගොස්‌ බිම ඇදවැටුන පිරිස්‌ කොපමණද?

සැබැවින්ම නොපෙනෙන බලවේගයෙන් හෝ විද්‍යාත්මක පදනම මත තහවුරු කොටගත් පර්යේෂණ නිගමන පසෙකලූ විශ්වකර්ම බෙහෙත් ඖෂධ චූර්ණිකා කසාය ඇත්නම්, අමරණීයත්වයට පත්විය හැකි හෝ රෝගයක්‌ නොවැළඳෙන අයෙක්‌ නිර්මාණය කළ නොහැක්‌කේ ඇයි ?

වසරකට ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගීන් විසිදහසක්‌ සොයා ගැනෙන බවත්, ඉන් නිසි ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වෙත යොමු වන්නේ දහසය දහසක පමණ පිරිසක්‌ පමණක්‌ බවත් වෛද්‍ය වාර්තා මගින් අනාවරනය වී තිබේ. රජයේ සෑම රෝහලකදීම සෑම රෝගියෙකු වෙතම නිශ්චිත ක්‍රමවේදයක්‌ අනුව ප්‍රතිකාර ලබා දෙන බවට සාක්‌ෂි තිබේ. ලෝකයේ නව සොයා ගැනීම්, ප්‍රතිකාර විධි ශල්‍යකර්ම ඖෂධ සියල්ලකම පාහේ නිදහස්‌ වෛද්‍ය සේනාව මගින් ශ්‍රී ලාංකික ජනතාවට ලබාගත හැකි මං පෑදී තිබේ. ඒවා ලබා ගැනීම සාමාන්‍ය මිනිස්‌ අයිතිවාසිකමකි.

මිනිසෙකුගේ දුකක්‌ තවත් මිනිසෙකු හඳුනා ගන්නේත්, උදව් උපකාර කරන්නේත්, යම් තරමකින් හෝ එකිනෙකා අතර සුහදත්වය පැවති විටෙක පමණි. එසේ නොවන තාක්‌කල් මිනිසුන් තනි තනිව හුදකලාව ජීවත් වනවා පමණක්‌ නොව කරදර මත තැවි තැවී හිඳිනවාද විය හැකිය. මිනිසා අනෙකාට උදව් උපකාර කිරීමට කැමති බවත්, ජීවිතයක්‌ බේරාගැනීමට වෙහෙසෙන බව හා ඊට නිවැරැදි මග පෙන්වන බවත් අවබෝධ කර ගත යුත්තේ රෝගයක්‌ වැළඳුන විටකදීය.

දිවයින පුරා සෑම නගරයක්‌ම ප්‍රදේශයක්‌ම ආවරණය වන පරිදි රජයේ රෝහල් පිහිටුවා තිබේ. යාපනය, අනුරාධපුර, බදුල්ල පේරාදෙණිය වැනි රෝහල්වලදීද තරමක්‌ සංකීර්ණ ශල්‍යකර්ම සිදුකළ හැකි ශල්‍ය වෛද්‍යවරු, ශල්‍යාගාර, ඇතුළු සියලු පහසුකම් සපුරා ඇති අතරම, මහරගම, මහනුවර, ගාල්ල, කරාපිටිය, කුරුණෑගල වැනි රෝහල්වලදී අතිශය සංකීර්ණ ශල්‍යකර්ම සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබේ. ඊටද නොදෙවැනි සායන පහසුකම්, පර්යේෂණ, ඇතුළු සියලු පහසුකම්ද සපුරා තිබේ.

එහෙත් අරුමය · ඒ කිසිවක්‌ නිවැරැදි ලෙස තේරුම් නොගන්නා මේ රටේ ගොබ්බ මිනිසුන් දිව යන්නේම වැරැදි පාරේමය. එය නාගරීකරණයෙන් ඈත්ව සිටින ග්‍රාමීය ජනතාව හෝ ඉන්ද ඔබ්බට ගිය නව දැනුම නොදත් දුෂ්කර ගම්මානවල වෙසෙන්නන් සිදුකරන අඥන සහගත ක්‍රියාවක්‌ පමණක්‌ නොවේ. නගරබද වෙසෙන පමණක්‌ නොව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේම රැඳී සිටින ප්‍රියානිලා වැන්නවුන්ද තවත් විටෙක බටහිර වෛද්‍ය ක්‍රමයන්හි නියුතුව සිටින වෛද්‍යවරුන්ගේ ඥතීන් පවා සිදු කරන අඥන ක්‍රියාවකි.

මෙයින් වන්දි ගෙවන්නේ අහිසංක දරු පැටවුන්ය.

ජීවත්වන දරු පැටවුන් හෝ බිරිඳ ස්‌වාමිපුරුෂයා මොළොව ජීවත් වෙමින් අකාලේ මියගියවුන් සිහි කරමින් තැවෙන්නේ නිසි මග නිසි ප්‍රතිකාර ලබාදීමට නොහැකිවූ බව සිහි කරමිනි.

දේව මෑණිවරු හෝ වෙදැදුරෝ කසාය හෝ චූර්ණිකා සකසා පොවන්නේ මඩිය තර කරගැනීමට පමණක්‌ නොවේ. ඔවුන් ජීවත්ව සිටින කාලයේ සුළු පිරිසක්‌ මධ්‍යයේ වැජඹෙන්නටද විය හැකිය. තවත් මිනිසෙක්‌ පැමිණ ආ වඩා උදම් අනා කරනු ලබන ගෞරව බහුමාන අත්විඳීමටද විය හැකිය.

එහෙයින්ම පත්තරවල හෝ වෙනත් මාධ්‍යයන් ඔස්‌සේ දැන්වීම් පළකරවා තමාවෙත රෝගීන් අද්දවාගන්නේ රෝගීන්ගේ රෝගය සුව කිරීමට නොව, රෝගීන්ගේ සිත සුව කිරීමටය.

එලෙස සිත සුවපත් කරන්නට කුරුණෑගල දිස්‌ක්‍රික්‌කයේ පමණක්‌ ප්‍රතිකාර ලබා දෙන දේවාල, වෙදමැදුරු ගණන හතකි. බදුල්ලේ හයකි. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ව්‍යාජ වෙද මැදුරු, වෙද විහාර ගණනින් දහහතරකි. (ප්‍රසිද්ධව දැනගන්නට ඇති ගණන) ගාල්ලේ සහ මාතර විසි අටකි. මෙයට අමතරව නොදන්නා සහ හොර රහසේ ප්‍රතිකාර කරන සංඛ්‍යාව සුළු පටු නැත.

ඒවායෙහි පැවැත්ම ර¹ පවතින්නේ නිරෝගී බවට පත්වන රෝගීන් නිසාය. පිළිකාවක්‌ වැළඳී සිට නිරෝගී වන පුද්ගලයා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් හෝ ශල්‍යකර්මයට ලක්‌ව පසුව වෙදැදුරන් වෙත ගිය බව දන්නේ ඔවුන්ගේ හිතම හෝ සමීපතම ඥතීන් අතලොස්‌සක්‌ පමණි.

මෙහි තවත් සිනහ උපදවන අවස්‌ථාවක්‌ වන්නේ ශල්‍යකර්ම සඳහා ඇති බියගුළු බවත්, ශල්‍යකර්ම පිළිබඳ ඇතැමුන් අතර පවතින වැරැදි ආකල්ප හා මතවාදයන්ය.

"ඔපරේෂන් කළොත් අනිවාර්යයෙන්ම පිළිකාව ඇඟපුරාම පැතිරිලා යනවා."

ඔපරේෂන් කළොත් මැරෙනවා"

දොස්‌තරට වරදින්නත් පුළුවන්"

පිළිකාවක්‌ තුවාල කළොත් මැරෙනවම තමයි."

මේ වගේ වැරැදි මතවාද සමාජය පුරා පැතිර යන්නේ දූවිලි සුළඟක්‌ සේය. ඒ දූවිල්ල රැඳෙන රැඳෙන මානයේ හුන් උදවිය නොපෙනෙන බලවේග පසුපස යන්නේ දුර්මත ඉසිලිය නොහැකි තැනය.

වැරැද්ද කාගේද නොදනිමි.

ජීවිතයෙන් අකාලයේ වන්දි ගෙවන්නේ මිනිසුන් බව දනිමි.

කාන්තාවන් නම් පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා, තෛරරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, ගලනාලයේ පිළිකා, ඩිම්බකෝෂ පිළිකා යන පිළිකාවන්ගෙන් පීඩා විඳින්නේ විවිධ වූ කරුණු මතය. හේතු මතයි. පිරිමින් නම් මුඛ පිළිකා, පෙනහලු පිළිකා, ගලනාල පිළිකා, මහා ප්‍රාචීරයේ පිළිකා, ආදී වූ පිළිකාවන් ගෙන් පීඩා විඳිති. ඒ බොහෝ විට මධ්‍යසාර මත්පැන් දුම්වැටි පාවිච්චිය නිසාය.

මේ සෑම පිළිකාවක්‌ හඳුනාගත් අවධියේම බටහිර ප්‍රතිකාර ලබා දුනහොත් සුව වී නිරෝගී ජීවිත ගත කළ හැකි වන්නේය. දුර්මතවලින් බැහැරව නවීන දැනුම යොදවන්නන් සොයා යා යුත්තේ නිරෝගී දිවි පෙවෙතක්‌ උදෙසාය.

සෑම විටම නවීන විද්‍යාව බැහැර කළ යුතු නොවේ. කාලයක්‌ මත පදනම් වූ තොරතුරු පර්යේෂණ මත එළඹෙන නිගමන කිසිවිටෙක අසත්‍ය වූ ඒවා නොවන බව දැන් දැන් වටහා ගත යුත්තේ රෝගයකට ගොදුරු වන මිනිසාමය.

උපේක්‍ෂා වීරසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.