කත්තු මුක්‌කු හා දිගං සපයා ජීවිතේ ගැටගසා ගන්නා
මුක්‌කු පොළේ ඇත්තෝ


මැණික්‌ ගැරීම කර්මාන්තයකි. මේ කර්මාන්තය අවුරුදු දහස්‌ ගණනක්‌ පැරණිය. විජය කුමාරයා ලංකාවට එන්නටත් බොහෝ කාලයකට පෙර ලංකාව මැණික්‌වලට ප්‍රසිද්ධ දිවයිනක්‌ වූ බව ඉතිහාසය කියන්නේය. තවමත් අපේ පතල් කර්මාන්තයේa ඒ අතීත සම්ප්‍රදාය යම් තරමින් ආරක්‍ෂා වී තිබෙන්නේය. ඒ තාක්‌ෂණය තවමත් සුරැකිව තිබෙන්නේය. ඒ තාක්‌ෂණයේදී භාවිත කරන්නේ පරිසරයේ සුලභ දැව හා පැළෑටිය.

ගැඹුරු පතල් කර්මාන්තයේදී රත්නපුරයේ මැණික්‌ සම්පත ගොඩදැමෙන වාරයක්‌ පාසා පරිසරයේ ඇති ශාක කොටස්‌ විනාශ වන්නේය. ප්‍රදේශයේ මෙතෙක්‌ බහුලව හමුවූ කැකිල්ල ද , පුවක්‌, රබර්, ගිනිකූරු සහ පයිනස්‌ වැනි දැව කඳන් ද මැණික්‌ පතල්වලට තොග පිටින් වාහනවල පටවා ගෙන යනු අතීතයේ රත්නපුරේදී දැකිය හැකිය. මේ නිසා අද රත්නපුර, පැල්මඬුල්ල, රක්‌වාන, කහවත්ත, නිවිතිගල සහ බලංගොඩ ඇතුළු මැණික්‌ බහුල ප්‍රදේශවල පතලකට වුවමනා දැව සොයා ගැනීම දුෂ්කර වී තිබේ.

මැණික්‌ පතල් කර්මාන්තය සඳහා පොළොව කැණ, මූලික පතල් වළක්‌ හෑරිය යුතුය. රත්නපුරයේ පස කොහොමත් තෙත සහිත බුරුල් පසකි. මැණික්‌ ලැබෙන ප්‍රදේශවලට මෙය විශේෂයෙන් අදාළ වෙයි. අනෙක්‌ අතට වර්ෂාවද නොඅඩුව ලැබෙන සබරගමුවේ විශේෂ කාලගුණ රටාව පස තවදුරටත් ලිහිල් කරයි. එහෙයින් පතල්වල පස්‌ ඉවුරු කොයිවේලේ කඩා පාත්වේදැයි කාටවත් කිව හැකි නොවේ.

ඒ නිසා පතල් කඩා වැටීම වැළැක්‌විය යුතුය. ශක්‌තිමත් දැව කඳන් ලී රාමු වශයෙන් සකස්‌ කර ගනු ලබන පතල්කරුවෝ එමගින් පතල් කටේ සිටම පස්‌ ඉවුරු කඩා වැටීමේ අවදානම සීරුවට කළමනාකරණය කර ගනිති.

පතල් කටේ සිට පතල්වළ දක්‌වාද ඉක්‌බිති ඉල්ලම විහිදෙන හාත්පස පස්‌ ඉවුරු බිඳීමෙන් සාදනු ලබන දෝනා දිගේද එසේම දෝනා පතුල කැණ යළි සාදා ගන්නා ''දොරුව'' හෙවත් ''බංගලාවළ'' දක්‌වාද පස්‌ ඉවුරු කඩා වැටීම වැළැක්‌වීමට යොදා ගන්නේ සාම්ප්‍රදායික තාක්‌ෂණයයි.

මෙහිදී මෙම පතල් බිත්ති හා දෝනාවන් පතල තුළට කඩා වැටී ජීවිත විනාශයක්‌ වීම වළක්‌වන්නේ එම බිත්ති ර¹ තබා ගන්නා දැව කඳන් රාමුය. කොටින්ම පතල් කර්මාන්තයේදී පතල තුළට ඇතුළු වන පුද්ගලයන්ගේ ජීවිත ර¹ පවතින්නේ බිත්ති සඳහා යොදා ගන්නා ශක්‌තිමත් දැව කඳන් මතය. මැණික්‌ කර්මාන්තයේදී මේ දැව කඳන් වලට කියන්නේ කත්තු මුක්‌කු හා දිගං ය.

මේ වන විට කර්මාන්තය මුහුණදී ඇති බරපතළම ප්‍ර්‍රශ්නයක්‌ වන්නේ අවශ්‍ය කැරෙන සවිමත් දැව කඳන් සොයා සපයා ගැනීමේදීය. රත්නපුර දිස්‌ත්‍රික්‌කයටම දැන් මෙය දැවැන්ත ප්‍රශ්නයක්‌ වී තිබේ. හාත්පස වනාන්තරත් ගහකොළත් පතල් කර්මාන්තය නිසා විනාශවෙමින් ඇති අයුරු ශෝචනීයය. මේ පරිසරයේදී පතල් වලට අවශ්‍ය කත්තු ලී, මුක්‌කු ලී හා දිගං සපයා දීම සඳහා පිරිසක්‌ ඉදිරිපත්වී සිටිති. මේ පිරිස එය ස්‌වයං රැකියාවක්‌ කරගෙන ජීවත් වෙති. මේ ඒ මනුෂ්‍යයන්ගේ ජීවිත කතාවේ පැතිකඩකි.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ මැණික්‌ පතල් කර්මාන්තයට අවශ්‍ය ලී, දැව කඳන්, කත්තු සහ මුක්‌කු ලී සපයනු ලබන්නේ පැල්මඬුල්ල කේන්ද්‍ර කරගත් ''පතල් මුක්‌කු පොළ'' කිහිපයකිනි. මෙහිදී පළමුවෙන්ම අපට මුණගැසුණේ පැල්මඬුල්ලේ කුට්‌ටාපිටිය හන්දියේ පතල් මුක්‌කුපොළ හිමි එම්. එම්. කමලවංශ (60) ය. මේ ඔහු අපට කී කතාවයි.

''මැණික්‌ වාසනාව චක්‍රලේඛ, අණපනත්, රෙගුලාසි, නීති රීති මගින් පමණක්‌ පාලනය කරන්න බැහැ. විශ්වාසය මත මේ කර්මාන්තය වගේම අපේ මේ මුක්‌කු සැපයීමේ වෙළෙ¹මත් ර¹ පවතිනවා. වෙළෙ¹මට ස්‌ථිර භූමියක්‌ නැහැ. වර්ෂාව වැටෙන කාලවලට අපට වැඩ නැහැ. අද ලී, කත්තු මුක්‌කු ලී සොයා ගැනීමත් හරිම අමාරුයි. ඈත. දුර පළාත්වලට ගිහින් අපි රැගෙන එන ලී පාරෙ අයිනේ තියාගෙන පතල් මුදලාලිලාට විකුණනවා.

''හෙට මේ රස්‌සාව අපට මෙතන කරන්න බෑ. සංවර්ධනය වෙනවා පාර පළල් වෙනවා. සතුටුයි ඒත් අපිට යන එන මං නැති වෙනවා...''

තත්ත්වය එසේ වී තිsබියදීත් මැණික්‌ පතල්වලට කෙළින්ම ලී සපයන කොන්ත්‍රාත්කරුවන් පිරිසක්‌ බිහිවීම නිසා තමන්ට දැන් ආදායම අඩුවී ඇතැයි කමලවංශ කියයි.

''පතල් මුදලාලිලාගෙන් මුක්‌කු ඕඩර අරගෙන කෙළින්ම ලී සපයන අය නිවිතිගල, කරවිට, හත්තැල්ල වගේ ප්‍රදේශවල ඉන්නවා. ඒකෙනුත් අපිට පාඩුම තමයි.

හය දෙනකු සමග එක්‌ව මෙම මුක්‌කු පොළ කමලවංශ විසින් පවත්වාගෙන යයි. රැකියාව ස්‌ථිර නැත. වර්ෂාව කාලවලදී වෙළෙ¹ම බින්දුවට බසියි.

පතල් මුක්‌කුපොළ කම්කරු රිල්හේනේ එන්. ඒ. පොඩි අප්පුහාමි (66) ''දිවයින'' ට මෙසේ කීවේය.

''මගේ වයස හැට හයයි. මගේ මේ රැකියාවට දැන් අවුරුදු 35 යි. කරගත්තු දෙයක්‌ නැහැ. දැන් දිගං ලී කත්තු මුක්‌කු කර ගහනවා. වාහනවලට පටවනවා. තව වැඩිම වුණොත් අවුරුදු දෙකක්‌ මට වැඩ කළ හැකි වේවි. අත පය පණ නැති වුණාම මොකක්‌ද කරන්නේ.'' ඔහුගේ දෑස අසරණ වේදනාවකින් දැවෙනු වැන්න.

කමලවංශගේ මුක්‌කු පොළේ කම්කරුවන් වශයෙන් සේවය කරන එන්. ගාමිණී මෙන්ම ආර්. ඒ. පියසිංහ අප සමග කතා කෙළේය. මේ රැකියාව අවුරුද්දේ මැණික්‌ පතල් කණිනු ලබන කාලවලදී පමණක්‌ කළ හැකි එකක්‌. ආදායමේ අස්‌ථිරභාවයේ මෙන්ම ආදායම වෙනස්‌වීමෙන් ද කෙළවරක්‌ නැත. ඇතැම් දිනක හවස්‌ වන විට සැලකිය යුතු මුදලක්‌ සොයා ගත හැකි වන බවද ඔවුහු කියති.

කමලවංශලාගෙන් සමුගෙන පැල්මඬුල්ල ඉන්ධන පිරවුම්හල අසල (ෂෙට්‌ එක ළඟ) පතල් මුක්‌කු පොළේ ''චුට්‌ටෙ අයියා'' හෙවත් එච්. එµa. ඥනසේන මුණ ගැසුණෙමු. මේ ඔහු අපට කී දේය.

''මැණික්‌ පතල් මුක්‌කුපොළ පවත්වාගෙන යැම හරිම දුෂ්කරයි. දැව කඳන්, පුවක්‌ කොට සොයා ගැනීම හරි අමාරුයි. මේ පළාතේ දැන් දැව හිඟයි. අපි දම්මුල්ල, දැරණියගල, අයගම, කිරිපෝරුව, පරකඩුව වගේ දුර බැහැර ප්‍රදේශවලට ගිහින් තමයි මේ ලී ගෙන එන්නේ. ගෙන එන ලී මේ වගේ වර්ග කරලා ගොඩවලට වෙන්කර පාර අයිනෙ දා ගන්නවා.''

''රබර්, ගිනි කූරු වගේ ලී කඳන් තමයි පතල් බාස්‌ලා අපෙන් ඉල්ලන්නේ.µයිනස්‌ කඳන් හොඳයි. නමුත් මිළ ඉහළයි. µයිනස්‌ කඳන් ගාල්ල, කොස්‌ගම, කලවාන වගේ ප්‍රදේශවලින් අපි ගෙන්වා දෙනවා. පුවක්‌ කඳනුත් දැන් රත්නපුරේ හිඟයි. කඹුරුපිටියෙන් පුවක්‌ කඳන් ගෙන්වනවා.''

''චුට්‌ටෙ අයියා'' පවසන අන්දමට අදින් දසක තුනකට පමණ පෙර පැල්මඬුල්ලේ පතල් මුක්‌කුපොළ සංස්‌කෘතියක්‌ තිබී නොමැත. එවක මෙම ප්‍රදේශයෙන්ම පතලට අවශ්‍ය ලී සොයා ගැනීමට හැකි විය. ක්‍රමයෙන් ප්‍රදේශය ජනාකීර්ණ වීමත් සමග පතලටත් දැව හිඟය දැනෙන්නට විය. පතල් කර්මාන්තය අර්බුදයට යන්නට වූයේ ''චුට්‌ටෙ අයියා'' පවසන පරිදි කත්තු මුක්‌කු සහ දිගං ලී සොයා ඔවුන්ට රට වටා යන්නට සිදුවීමත් සමගය.

පතල් මුක්‌කුපොළ කම්කරු පහළ බෝපිටියේ පදිංචි 41 හැවිරිදි ජගත් පුෂ්ප කුමාර ''දිවයින'' ට මෙසේ කීය.

මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. තේ, රබර්, වී, පොල් මොකුත්ම අපට නැහැ. එම ඉඩකඩම් නැතිව මගේ පවුල ජීවත් කරවන්න මේ රැකියාව මේ කාලෙ කරනවා. වැස්‌ස කාලෙට වෙන කම්කරු රැකියා සොයාගෙන යනවා. දරුවෝ දෙන්නාම 5, 9 ශ්‍රේණිවල ඉගෙන ගන්නවා. දරුවන්ගේ පන්ති ගාස්‌තු ගෙවන්ඩත් ඕනෑ. ඒ වැඩේ තමයි දුෂ්කරම කාර්යය වෙලා තිබෙන්නේ. හරිම අමාරුවෙන් තමයි දැන් අපි ජීවත් වෙන්නේ.

''දිගං ලී'' කඳන් 40 ක්‌ ට්‍රැක්‌ටරයට පැටෙව්වාම අපි කම්කරුවන් තුන්දෙනාට පැටවුම් ගාස්‌තු රුපියල් තුන්සීයක්‌ ලැබෙනවා. එතකොට අපි එක්‌ කෙනෙකුට රුපියල් සීයයි. ඒත් දැන් ආදායම නම් වියදමට අනුව හොඳටම මදි. ජගත් පුෂ්පකුමාරගේ වෘත්තීය කටුක වෘතාන්තයකි. එනමුදු හෙතෙම ඒ දෙන ලද බුලත් විටෙන් පදම් වූ රතු පැහැගත් මුව හැර හිනැහුණේය. ඉක්‌බිති බරැති රබර් දැව කඳක්‌ එකලාව කරට ගෙන යන්නට විය. ''ගොර ගොර හඬින් මහ මග නැවතී හුස්‌ම අදිමින් තිබෙන ට්‍රැක්‌ටර් ටේලර් තට්‌ටුවට සිය උරමත වූ දැව කඳ නිදහස්‌ කළ ජගත් අප දෙස බැලීය.

ඔහුගේ පාලනයෙන් නිදහස්‌වූ අමු දැව කඳ සෙමෙන් පෙරළී ගොස්‌ වාහන තට්‌ටුව මත නිසල විය. අද සවස පතලේ බාස්‌ උන්නැහේ මේ දැව කඳ කපා, කොටා, සැස, කීරි හැර පතල් ''දබරයක්‌'' හදනු ඇත. එහෙත් ජගත් පුෂ්පකුමාරලාගේත්, කමලවංශ පොඩි අප්පුහාමි හා චුට්‌ටෙ අයියලාගේත් ජීවිතය නම් දබරේ මෙන් ආපස්‌සට කැරකෙන්නේ නැත. ඒ ජීවිත රචනය, ''දොaනාව'' ''දොරුව'' හෙවත් ''බංගලාවළ'' බඳු මැණික්‌ පතල් කර්මාන්තයේ අඳුරු බියකරු සංකල්ප ද එක්‌කොට ගෙන ඉදිරියට යන පුදුමාකාර කතාවකි.

තුසිත් සාගර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.