අලුත්ගමදී දණ ගැහැව්වේ
රාජිතගේ අයද...? රෝහිතගේ අයද...?

අලුත්ගම කළුවාමෝදර මොරගල්ල ප්‍රදේශය නිතරම ගැටුම්කාරි තත්ත්වයක්‌ පවතින අතර දේශපාලන උණ රෝගීන් සෑහෙන පිරිසක්‌ වෙසෙන ප්‍රදේශ වශයෙන් පොලිස්‌ පොත්වලද සටහන් වී ඇත.

ඉකුත් 23 වැනිදා රාත්‍රි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ දෙපිරිසක්‌ අතර ඇතිවූ ගැටුමකින් පසු රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයාගේ ආධාරකරුවන් පිරිසක්‌ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ආධාරකරුවන් දෙදෙනකු දණ ගැස්‌සූ බවට ආරංචි පැතිර යන්නට විය.

මොරගල්ල ප්‍රදේශයේ සිට මියගිය ව්‍යාපාරිකයකු වන තව්සන් උපාලිගේ පිළිරුව අසලදී මෙම දණ ගැස්‌සීම සිදුවූ බවත් දණ ගසාගෙන සිටි අය තව්සන් උපාලිගේ පිළිරුවට වැද නමස්‌කාර කළ බවටද ආරංචි පැතිර යන්නට විය.

ඉකුත් 24 වැනිදා උදැසනම "දිවයින" පත්‍රයට දස දෙසින් මේ පුවත පාඨකයන් දුරකථනයෙන් දැන්වූ අතර පොලිස්‌ පොත්වල මේ පිළිබඳව කිසිම සටහනක්‌ නැතැයි අළුත්ගම පොලිසියෙන් පවසන්නට විය.

මං ඉන්නේ කුට්‌ටිගල හමුදා කඳවුරේ. සිද්ධියක්‌ තියෙනවා. කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා අමතන ලෙස ඔහුට මම දැන්වීමි.

පැයකට පමණ පසු මා නැවතත් ඇමතූ චමින්ද සිල්වා එස්‌. පී. ගෙන් තොරතුරු ගන්න තවත් වැදගත් තොරතුරු රැසක්‌ රාජිත සේනාරත්න ඇමැතිවරයා දුන්නා. රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයා සම්බන්ධ කර දෙන්න යෑයි මගෙන් ඉල්ලීමක්‌ කළේය.

රෝහිත ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් චමින්ද කරුණාරත්න මාර්ගයෙන් මම රෝහිත අබේගුණවර්ධන මහතා චමින්ද සිල්වාට සම්බන්ධ කර දුන්නෙමි.

නිවුස්‌ එක හරියට හරි සමබර නිවුස්‌ එකක්‌ අපට ලැබුණා. කාටවත් අසාධාරණයක්‌ නැතැයිද චමින්ද සිල්වා සිනාසෙමින් පැවැසීය.

පසුදින "දිවයින" ප්‍රධාන ශීර්ෂ පාඨය "හිතගේ අය ජිතගේ අය දණ ගස්‌සති" යන පුවත පලවී තිබූ අතර එම සිද්ධිය අනිකුත් ජාතික පුවත්පත්වලින් ගිලිහී ගොස්‌ තිබිණි.

25 වැනිදා රාත්‍රි නැවතත් මා ඇමතූ චමින්ද සිල්වා මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නරේන්ද්‍ර රාජපක්‍ෂ දණ ගස්‌වා ඇත්තේ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ආධාරකරුවන් නොවන බවට පැහැදිලි කිරීමක්‌ එවා ඇතැයි කලකිරීමකින් යුතුව පැවසීය. මා ධීවර ඇමැතිවරයාගේ කථාව සම්පූර්ණයෙන්ම පැහැදිලිව ලියාගෙන තමයි වාර්තාව ලිව්වේ යෑයි ඔහු පැවැසීය.

කුමන අන්දමකින් හෝ මොරගල්ල ගාලු පාරේදී දෙදෙනකු දණ ගැස්‌සූ පුවත සත්‍ය සිද්ධියකි. මේ පිළිබඳව පැමිණිලි කරන්නට 24 වැනිදා බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක්‌ කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයට පැමිණ සිටි අතර පසුව දෙපිරිසම කැඳවා පොලිස්‌ අධිකාරිවරයා මෙම ගැටුම සමථයකට පත්කර තිබූ බව දැනගන්නට ලැබිණි.

ව්‍යාපාරිකයන් දෙපිරිසක්‌ අතර ඇති වූ මෙම ගැටුම ඉකුත් 27 වැනිදා දක්‌වා කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට වාර්තා වී නොතිබිණි.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ මනාප අරගලයේ එක්‌ ප්‍රතිඵලයක්‌ ලෙස මෙම ගැටුම ඇති වූ බව මොරගල්ල ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයයි.

ඉකුත් මහ මැතිවරණයෙන් පසුව කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල ඇමැතිවරුන් තිදෙනකු පයාගල ප්‍රදේශයේ ගැටුමකට සම්බන්ධ වූ අතර එය මනාපයට කෑදර වූ ගැටුමක්‌ වශයෙන් හැඳින්විය හැකිය.

ලබන මැතිවරණයට පෙර කළුතර කෑදර මනාප සටනට තිත තැබිය යුතුය. නැත්නම් ජීවිත හා දේපළ රැසක්‌ විනාශ වීමට ඉඩ ඇති බවට අනාවැකි පළකළ හැකිය.

විජයසිරි විද්‍යාසේකර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.