අය වැය ලේඛණය පරාදයි
පෑලියගොඩ සභාපති ගෙදර යයිද?



රට පුරා තිබෙන පළාත් සභා නගර සභා හා ප්‍රාදේශීය සභාවල සිටින ජනතා නියෝජිතයින් ගැන දැන් අසන්නට දකින්නට ලැබෙන්නේ අරුම පුදුම පුවත්ය. එහෙත් ඒ ඔවුන් ජනතාව වෙනුවෙන් කරන සේවාවන් ගැන නම් නොවේ. මහජන ඡන්දයෙන් තේරී පත්වී ජනතාව වෙනුවෙන් සේවය කිරීමට යෑයි කියමින් පැමිණෙන මේ පිරිස ජනතාව වෙනුවෙන් කරන දෙයක්‌ නැත. පෙනෙන්නට පාරවල් කොන්ක්‍රීට්‌ කිරීම හා කාණු සුද්ධ කිරීම හැරෙන්නට ඔවුන් කරන්නේ කුමන හෝ මගඩියක්‌ කර තමන්ගේ බඩකට පුරවා ගැනීමයි. රටක තිබෙන නීතිය තඹයකටවත් මායිම් නොකර, වංචා, දූෂණ ක්‍රියාවල නිරතවීම ඒ දේශපාලනඥයන්ගේ ස්‌වභාවයයි.

එහිදී කැලණිය, පෑලියගොඩ ප්‍රාදේශීය සභා නගර සභා දේශපාලනය ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක්‌ නැත. මේ කතා කරන්න යන්නේ පෑලියගොඩ නගර සභාවේ සිදුවූ තවත් අපූරු සිදුවීමක්‌ ගැනය. පසුගියදා එහි සභාපතිව සිටි නිහාල් ආනන්ද මහතාගේ පුටුව අහිමි විණි. අයවැය ලේඛනය සති දෙකක්‌ ඇතුළත දෙවැනිවරටත් පරාජයට පත්වීම නිසා ඔහුගේ සභාපතිධුරය අහිමි වීම සිදුවිණි.

පෑලියගොඩ නගර සභාවේ 2014 ට අදාළ අය වැය ලේඛනය සති දෙකක්‌ ඇතුළතදී දෙවැනි වරටත් ඊයේ (27 වැනිදා) පරාජයට පත්වීමත් සමග පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනතේ 178 වන සංශෝධිත වගන්තියට අනුව සභාපති නිහාල් ආනන්ද පෙරේරා මහතාගේ සභාපති ධුරය අහෝසි වෙයි.

"අයවැය ලේඛනයක්‌ නැවත සභාවට ඉදිරිපත් කරනු ලැබ එය එසේ නැවත ඉදිරිපත් කරනු ලැබීමෙන් සති දෙකක්‌ ඇතුළත සම්මත කරනු නොලැබූ අවස්‌ථාවක එකී සති දෙකක කාලය අවසන් වීමේදී සභාපතිවරයා සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌වූ ලෙස සලකනු ලැබිය යුතුය යන්න පනතේ සඳහන්ව ඇති අතර එම පනත මෙම වසරේ සිට ක්‍රියාත්මක වේ.

මේ අනුව සභාපති නිහාල් ආනන්ද මහතාගේ සභාපති ධුරය අහෝසි වන්නේදැයි පෑලියගොඩ නගර සභාවේ ලේකම් එල්. එස්‌. චාන්දනී ශ්‍රියානි මහත්මියගෙන් දිවයින කළ විමසීමකදී ඇය කියා සිටියේ මෙම පනත අලුතෙන්ම ක්‍රියාත්මක වන නිසා තමන් ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව බස්‌නාහිර පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්‌වරයාගෙන් ලිතව උපදෙස්‌ ඉල්ලා සිටි බවය.

එම නගර සභාව තුළ තමන්ට වැඩි බලයක්‌ තිබියදීත් අයවැය ලේඛනය සම්මත කර ගැනීමට නොහැකි වූයේ විශාල කුමන්ත්‍රණයක්‌ නිසා බව ඔහු පවසයි. ඒ පිළිබඳව ඔහුගෙන් විමසූ විට පැවසුවේ මෙවන් අදහසකි.

ඇත්තටම මේක කුමන්ත්‍රණයක්‌. මාස කිහිපයක සිට මෙය ක්‍රියාත්මක වුණා. ඒක මම දැනගෙන සිටියා. ඔය විරුද්ධ වුණ උදවිය හරියට අයවැය ලේඛනය කියවූවෙත් නැහැ. ඔහේ පුටුවලට වෙලා නිකන් හිටියා. මගෙන් දේශපාලනය ඉගෙන ගත්ත මගේම ගෝලයෝ තමයි මට කැපිල්ල දැම්මේ. ඒක ගැනනම් මට ඇත්තටම දුකයි. මේ කුමන්ත්‍රණය පිටුපස ඉන්නේ මම හොඳටම උදව් කරපු ඇමැතිවරයෙක්‌. එයා වෙන ඇමැතිවරයෙක්‌ එක්‌ක කළ කතාවකදී ඒක හෙළිවෙලා තියෙනවා. ඔය මට උදව් කරපු ඇමැතිවරයා කිසිම කෙළෙහිගුණයක්‌ දන්න කෙනෙක්‌ නොවෙයි.

අපේ පක්‍ෂයේ මන්ත්‍රීවරු විරුද්ධ වුණේ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ගෙන් අරක්‌කු බීලා. ඇත්තටම ඒ ගැන ලැඡ්ජයි. තව එක්‌කෙනෙක්‌ මට කිව්වා ලක්‍ෂ 5 ක්‌ දුන්නොත් අයවැය අනුමත කරලා දෙන්නම් කියලා. ඒකටත් මම කැමති වුණේ නැහැ.

මේ සිදුවන දේවල් සියල්ලම මුල ඉඳලා කියන්න ඕන අයට මම කිව්වා. අපේ මහ ඇමැතිතුමාටත් කිව්වා. මම එක එක තරාතිරමේ අය එක්‌ක වැඩ කරලා තියෙනවා. ඒක නිසා මම කාටවත් බය නැහැ. බලමු ඉස්‌සරහට මොකද වෙන්නේ කියලා. හැබැයි ඔය සභාපති පුටුවේ ආයි වාඩිවෙන්නෙ මම තමයි.

මේ පිළිබඳව අපි බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ පෑලියගොඩ නගර සභාවේ ගැටලුවක්‌ ඇතිවූ බවත් දැන් එය සමථයකට පත්වී ඇති බවත්ය.

මේ කතා කියන්නේ රටට ආදර්ශයක්‌ සැපයිය යුතු දේශපාලනඥයන්ය. රටට බණ කියමින් ගැටුම් ඇතිකර ගන්නේද ඔවුන්මය. ඉතින් රටේ ජනතාව ගැන කුමන කතාද?

නෝමන් පළිහවඩන
ගයාන් සමරසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.