විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව
විපක්‍ෂයේ පක්‍ෂවල පුළුල් එකමුතුවක්‌!


සමගි බලවේගය, ජවිපෙ, චන්ද්‍රිකා, රනිල්, ෆොන්සේකා සාකච්ඡා අරඹති

ඉකුත් සතිය

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගිය සිකුරාදා (22 දා) සවස අනුරාධපුරය බලා පිටත්ව ගියේය. ඔහු ගියේ පුණ්‍යකර්ම රාශියකට හා විශේෂ නිල කටයුත්තකට සහභාගි වීමේ අරමුණ ඇතිවය.

ජනාධිපතිවරයාගේ උපන් දිනය, පදවි ප්‍රාප්තිය හා පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සභාපතිත්වය ලැබීම යන සුබ කරුණු තුනම එකම දින කිහිපයක සිදුවීම නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් අනුරාධපුරයේ එම ආගමික උත්සව සියල්ල සංවිධානය කර තිබිණි. උතුරුමැද මහ ඇමැති සහ එම ප්‍රදේශයේ දේශපාලනඥයන් ගණනාවක්‌ ඒවා සංවිධානය කරන්නට හැකි උපරිමයෙන් මැදිහත් වී තිබීම ද විශේෂත්වයකි.

ජනාධිපතිවරයා අනුරාධපුරයෙන් ගුවන් යානයෙන් බැස කෙළින්ම ගියේ ජනාධිපති මන්දිරයටය. ඔහුව පිළිගන්නට ඒ වන විට උතුරුමැද ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, මහ ඇමැති එස්‌. එම්. රංජිත්, එස්‌. එම්. චන්ද්‍රසේන, ඩබ්ලිව්. බී. ඒකනායක, ෂෙහාන් සේමසිංහ, වීරකුමාර දිසානායක ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේ දේශපාලනඥයෝ ගණනාවක්‌ පැමිණ සිටීම ද විශේෂත්වයකි.

ජනාධිපතිවරයා එදින රාත්‍රියේ පැමිණ සිටි හිතවතුන් සමඟ දිගු වේලාවක්‌ අල්ලාප සල්ලාපයේ යෙදී සිටීමෙන් අනතුරුව රාත්‍රි ආහාරය ගත්තේ ද සැහැල්ලුවෙන් විනෝදයෙන් කතාබහ කරමිනි. එහෙත් එදින රෑ බෝ වනතුරු අවදිව සිටියේ නැත. ඊට හේතුව පසුදා අලුයම 4.30 වන විට උඩමළුවේ සිටින්නට සියලු වැඩ කටයුතු සංවිධානය වී තිබීමය.

රාත්‍රි සමුගන්නට මත්තෙන් ජනාධිපතිවරයා එස්‌. එම්. චන්ද්‍රසේනට කතා කොට මෙසේ කීවේය.

"එස්‌. එම්... එහෙනම් හෙට උදේ ලෑස්‌ති වෙන්න අනුරාධපුරයේදී කැබිනට්‌ ඇමැති ධුරයක දිවුරුම් දෙන්න. ඔයාට ලැබෙන්නේ කාටවත් මෙතෙක්‌ කලක්‌ ලැබිලා නැති විශේෂ අවස්‌ථාවක්‌."

පසුදා පාන්දරම නින්දෙන් පිබිදුන ජනාධිපතිවරයා හොඳින් පේවී සූදානම් වී රුවන්මැලි සෑය අභියසට ගියේ එස්‌. එම්. චන්ද්‍රසේන පදනම සූදානම් කර තිබූ කිරි අම්මා දානමය පූජාවට සහභාගිවීමටය. කිරිඅම්මාවරු 1100 ක්‌ එම දානය සඳහා පැමිණ සිටීම විශේෂත්වයකි.

එම කිරි අම්මා දානයට පසු ජනාධිපතිවරයා රුවන්මැලි සෑය අභියස අලුතින් ඉදිකළ විහාරය ද බලන්නට ගියේය. රුවන්මැලිසෑයට පූජා කරන ලද කිරි ආහාර වැනි දානමය ආහාර වඳුරන් හා රිළවුන්ගෙන් බේරාගැනීම සඳහා යම් ආවරණයක්‌ අවශ්‍ය බව පසුගිය මාසයක ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කළේ පල්ලේගම හේමරතන හිමියන්ය. මෙම විහාර ගෙය කඩිනමින් ඉදිකෙරුණේ එම ඉල්ලීමට අනුවය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා මන්දිරයට පැමිණ උදේ ආහාර ගෙන තම හිතවත් දේශපාලනඥයන් සමඟ කෙළින්ම පිටත්ව ගියේ කලාවැව ආසනයේ තිබූ ජයගංගාරාම විහාරස්‌ථාන පිරිවෙනටය. පිරිවෙනෙහි ඉගෙනුම ලබන ස්‌වාමීන්වහන්සේ වෙනුවෙන් අලුතෙන් තනන ලද භික්‍ෂු නේවාසිකාගාරය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

එස්‌. එම්. ගේ දිවුරුමට දුමින්දත් සාක්‌කි

9.30 ට පැවැත්වුණු එම විවෘත කිරීම අවසන් කර ජනාධිපතිවරයා යළි අනුරාධපුර ජනාධිපති මන්දිරයට ආවේ නව කැබිනට්‌ අමාත්‍යවරයකු පත්කිරීමටය. 11.05 වන විට ඒ නිල කටයුතු සියල්ල සංවිධානය වී තිබිණි. ජනාධිපතිවරයා එස්‌. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාට විශේෂ ව්‍යාපෘති කැබිනට්‌ අමාත්‍ය ධුරය ලබා දුන්නේය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග එය නම් කළේ කොළඹින් පිට තැනකදී මෙරට ජනාධිපතිවරයෙක්‌ හෝ අගමැතිවරයෙක්‌ මන්ත්‍රීවරයකුට ලබාදුන් ප්‍රථම කැබිනට්‌ අමාත්‍ය තනතුර මෙය වන බවය. අමාත්‍යවරයා දිවුරුම් දුන්නේ පල්ලේගම සිරිනිවාස හිමි, පල්ලේගම හේමරතන හිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්Cධායනය කරන අතරතුර වීම විශේෂත්වයකි. මෙම අවස්‌ථාවට කරුණාරත්න දිවුල්ගනේ ආණ්‌ඩුකාරවරයා, මහ ඇමැතිවරයා, තිස්‌ස කරල්ලියද්ද, ඩබ්ලිබ්. බී. ඒකනායක ඇතුළු මැති ඇමැතිවරු ද පළාත් සභාවේ මැති ඇමැතිවරු ගණනාවක්‌ පැමිණ සිටීම විශේෂත්වයකි. දුමින්ද දිසානායක ඇමැතිවරයා ද මෙම උත්සවයට පැමිණ සිටීම කැපී පෙනෙන කටයුත්තක්‌ ලෙස සැලකිණි. සාමාන්‍යයෙන් පසුගිය දිනවල අනුරාධපුරයේ දිසානායකලා අනුරාධපුර එස්‌. එම්. ලාගේ උත්සවවලට පැමිණියේම නැති තරම්ය. දැන් ඒ විරසකය ටිකෙන් ටික දුරුවන ලකුණු පහළ වී තිබිණි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා අනුරාධපුරයේ ඉදිකළ රණවිරුසෑයේ ධාතු නිධන් කිරීමේ උත්සවයට ද ගියේය. එම දිනය අනුරාධපුරයට වැසි සහිත කාලගුණයක්‌ පැවැති දිනයකි. එහෙත් ජනාධිපතිවරයා "සඳගිරිසෑය" නමින් නම් කර තිබූ රණවිරු සෑයේ ධාතු නිධන් කිරීමේ උත්සවයට යන විට එම ප්‍රදේශය වැසි බර බවින් මිදී ආලෝකවත් වී පැහැබර කාලගුණයක්‌ සහිතව තිබීම කාගේත් මවිතයට හා කුතුහලය ඇවිස්‌සූ කාරණයක්‌ව තිබිණි.

ජනාධිපතිවරයා අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කර ප්‍රදේශවල පාසල් ගණනාවකට පුස්‌තකාල පහසුකම් ලබා දෙන්නට ද ගියේය. ත්‍රස්‌තවාදී ප්‍රහාර නිසා කලක්‌ භීතියෙන් ඇළලී ගිය කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පාසලක පුස්‌තකාලයක්‌ විවෘත කිරීමක්‌ ද ඒ අතර විය. එහිදී එක්‌තරා පාසල් ශිෂ්‍යාවක්‌ ජනාධිපතිවරයා පිළිගනිමින් ඉතා සංවේදී කතාවක්‌ කළාය. යුද්ධය පැවති කාලයේ නිතර ඇසුණ වෙඩි හඬ හා පිපිරීම් සද්ද නිසා පාසල්වල ළමෝ අකුරු ලීවේ තිගැස්‌සෙමින් බව කීවේ දීපිකා ප්‍රියදර්ශනී ගායනා කරන "වෙඩිහඬට පොඩි අකුරු ඇදවෙයි මක්‌කරන්නද පැංචියේ" ගීතය ද සිහිගැන්වෙන ආකාරයෙනි. සිසුවිය කතා කළේ ඒ අවධිය නිමකරමින් පාසල් දරුවන්ගේ සිත්වලට සහනය හා සැනසිල්ල ලබාදුන් ජනාධිපතිවරයාට ස්‌තුති කරමිනි. ජනාධිපතිවරයා ඒ දියණියව ළඟට ගෙන විස්‌තර විමසුවේය. ඔහු නැවත පැමිණියේ ඒ දරුවන්ට තෑගි බෝග ද පිරිනැමීමකින් අනතුරුවය.

එදින රාත්‍රියේ ද ජනාධිපතිවරයා සිටියේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේය. මහ ඇමැති රංජිත්, ආණ්‌ඩුකාරවරයා, තිස්‌ස කරලියද්ද, එස්‌. එම්., දුමින්ද, වීරකුමාර, ඩබ්ලිව්. බී., ෂෙහාන් සේමසිංහ, මුතුකුමාරණ ඇතුළු අනුරාධපුරයේ දේශපාලනඥයෝ ගණනාවක්‌ම ජනාධිපතිවරයා හා කතාබහ කරන්නට එදා රාත්‍රියේ එහි පැමිණ සිටියහ.

මෙහිදී ජනාධිපතිවරයා හා මැති ඇමැතිවරු කතා කරමින් සිටියේ රටේ දේශපාලන තත්ත්වය ගැනය.

ඩේවිඩ් කැමරන්ගේ ලංකාවේ චාරිකාව හා සිරිකොත ජවනිකාව ගැන කවුරුත් කතා කරන්නට පටන් ගත්හ. වීරකුමාර දිසානායක පැහැදිලි කළේ කැමරන්ගේ ක්‍රියාවලියට උඩගෙඩි දෙන්නට මංගල සමරවීර මෙහි සිට රඟපෑ ජවනිකාව ගැනය.

කවුරු මොනවා කීවත් කළත් අපි අපේ රටට යම් දෙයක්‌ කරල තියෙනවයි කියලා බටහිරට අද පිළිගන්න වෙලා තියෙනව නේ. ජනාධිපතිවරයා කීවේය.

කැමරන් මෙහේ ඇවිත් කළේ හිලරි ක්‌ලින්ටන් තමිල්නාඩුවට ගිහින් ජාතිවාදය අවුස්‌සමින් කළ දේම තමයි. මංගලලා ඒවා අල්ලන් ජාත්‍යන්තරයට උඩගෙඩි දුන්නේ මෙහේ ඡන්දදායකයෝ එයාලට ආයෙත් ඡන්දය දේවි කියල විශ්වාසයක්‌ නැති නිසයි. වීරකුමාර කීවේය.

ඔව් ඔය කවුරුත් බලාගෙන හිටියේ ජාත්‍යන්තරය ඇවිත් මාව කුදලගෙන යාවි කියල නේ. ජනාධිපති කීවේය.

මේ අයුරින් ඇදී ගිය කතාබහට පසුව මැති ඇමැතිවරු විසිර ගියේ ජනාධිපතිවරයා හා රාත්‍රි ආහාරය ද ගැනීමෙන් අනතුරුවය.

පසු දින ශ්‍රී මහා බෝධිය අසල සන්නිපාත ශාලාවේ මහා සංඝරත්නය දහස්‌ නමක්‌ වෙනුවෙන් දානමය පින්කමක්‌ පැවැත්විණි. ජනාධිපතිවරයා ඊට සහභාගි වී තම දැතින්ම දානය බෙදීම ද කළේය.

දහවල් ජනාධිපතිවරයා ජනාධිපති මැඳුරින් ආහාර ගෙන ශිරන්ති මැතිනිය ද සමඟ ඊළඟට පිටව ගියේ මින්නේරිය යුද හමුදා කඳවුරටය. එස්‌. බී. දිසානායක අමාත්‍යවරයාගේ ආරාධනාවෙන් ජනාධිපතිවරයා එහි ගියේ විශ්වවිද්‍යාලවලට තෝරාගන්නා ළමුන් වෙනුවෙන් පවත්වන නායකත්ව පුහුණුවේ ආරම්භක අවස්‌ථාවට සහභාගි වන්නටය.

එහි යන්න හෙලිකොප්ටරයට ගොඩවන අවස්‌ථාවේ කාටත් ඇහෙන්නට ඔහු මෙසේ කීවේය.

"දැන් ඔන්න අනුරාධපුරයෙත් තියෙනවා එස්‌. එම්. සමාගම කියල දේශපාලන සමාගමක්‌. කලින් තිබුණේ රාජපක්‍ෂ සමාගම විතර නේ..." කියමින් එස්‌. එම්ටත්, රංජිත්ටත් විහිළුවක්‌ කළේය.

අය වැය විවාදය

සන්ධාන රජයේ 8 වැනි අයවැය ලෙස සලකන 2014 වසර සඳහා වූ අය වැය විවාදය ආරම්භ වූයේ පසුගිය සතියට පෙර සතියේය. පසුගිය 22 වැනි සිකුරාදා විවාදය ආරම්භ කරමින් මුලින්ම විපක්‍ෂයෙන් කතා කළේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහය. ඔහුට බරපතළ ලෙස අස්‌වර් මන්ත්‍රීවරයා බාධා කළේය. බාධා කරමින් අස්‌වර් ඇසුවේ අය වැය ඉදිරිපත් කරන මොහොත වර්ජනය කළ විපක්‍ෂය මේ විවාදයට එන්නේ මොන එකකටද කියාය.

අපට උත්තර දෙන්න ආණ්‌ඩුව දාල ඉන්නේ මේ වගේ අය. ඒකෙන්ම ආණ්‌ඩුව අද ඉන්න අර්බුදය පැහැදිලියි. රනිල් කීවේය.

අය වැය විවාදය පාර්ලිමේන්තුවේදී එසේ ආරම්භ විය. රනිල් සිය ආර්ථික විශ්ලේෂකයන් යොදවමින් අයවැයේ අඩු ලුහුඬු තැන් හා අඩු පාඩු සොයමින් උපරිම ප්‍රහාරය එල්ල කරන්නට සූදානම් වීම සඳහා පසුගිය සති අන්තය මිඩංගු කළේය.

මේ අතරතුර පසුගිය සඳුදා මංගල, තිස්‌ස ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂයේ පිරිසක්‌ මාතර බලා පිටත්ව ගියහ. ඒ මංගල ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂයේ කණ්‌ඩායමකට මාතර උසාවියේ පවරා තිබූ නඩුව විභාග කිරීමට පෙනී සිටීමටය. එහෙත් එම නඩුව ලබන වසරේ මාර්තු 24 වැනිදා දක්‌වා කල් තැබීමට උසාවිය තීන්දු කළේය.

මංගලගෙන් "මාධ්‍ය නඩු"

මේ අතර මංගල සමරවීර එදාම හවස සියලු විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවල කතාබහට ලක්‌වෙන තව අපූරු වැඩකට මුල පිරුවේය. ඒ වූ කලී එක්‌සත් ජාතික පක්‍ෂයට හා රනිල්ට ප්‍රහාර එල්ල කරන්නේ යෑයි කියමින් උසාවිය හමුවේ එක්‌තරා විද්යුත් මාධ්‍යයකට එරෙහිව බැඳුම්කරයකට නතුකර ගැනීමය.

එක්‌සත් ජාතික පක්‍ෂයට හා එහි නායක රනිල්ට එරෙහිව ජනතාව කුපිත කරවීමට තුඩු දෙන පුවත් ද්වේශ සහගතව පළකරනවා යෑයි චෝදනා කරමින් මෙම ප්‍රකට මාධ්‍ය ජාලයට එරෙහිව නඩුවක්‌ ගොනුකළ හැකි බව මංගල යෝජනා කළේ කලක සිටය. එය පසුගිය දිනවල නායකත්ව මණ්‌ඩලය තුළ ද කතාබහට ලක්‌ වූ කරුණකි. එහෙත් නායකත්ව මණ්‌ඩලයේම සිටින සමහර අය ඊට එරෙහි වූහ. මංගල සැලකුවේ ඒ අය එකී මාධ්‍ය ජාලයට සම්බන්ධ හිතවතුන් කියාය.

එහෙත් මංගල වැඩේ අතහැරියේ නැත. ඔහු දිගින් දිගටම සුදානම් කළ එම පැමිණිල්ල සකස්‌ කරමින් වැඩි දියුණු කරමින් පසුගිය සතිය ආරම්භයේදී මාතර දිසා අධිකරණයට ඉදිරිපත් කළේය. එය පිළිගත් අධිකරණය ලබන මස 11 වැනිදා එකී මාධ්‍ය ජාලයේ හිමිකාර වගඋත්තරකරුට උසාවිය හමුවේ පෙනී සිටින්නට නියෝග නිකුත් කිරීමට තීරණය කළේය.

ඔහෙත් දකුණේ - මමත් දකුණේ

ජනාධිපති මහින්ද පසුගිය 25 වැනිදා කඩුවෙලට ගියේය. ඔහු ගියේ ඕමල්පේ සෝභිත හිමියන්ට කාම්භෝජ බෞද්ධයන් තනා නිම කර දුන් බෝමිරියේ විහාරය විවෘත කරන්නටයි. එය විවෘත කළ ජනාධිපතිවරයා ඊළඟට තව පරණ ඥාතියකුගේ නිවසකට ගියේය.

ගාල්ලේ මහත්තයා නමින් හැඳින්වුණ එම ඥතියාගේ බිරිඳ තරමක්‌ අසනීපයෙන් පසුවන බැවින් ජනාධිපති ගියේ ඇය බලන්නටය. එම නිවසෙන් සමුගෙන කඩුවෙලට පැමිණි ජනාධිපති ජී. එච්. බුද්ධදාස නගරාධිපතිවරයා ඉදිකළ බස්‌ නැවතුම්පළ විවෘත කළේය. අමාත්‍ය බැසිල්, දිනේෂ්, සුසිල්, තිලංග ඇතුළු දේශපාලනඥයෝ ගණනාවක්‌ම එහි පැමිණ සිටියහ.

උත්සවයට පසු ඇමැතිවරු විසිර ගියත් ජනාධිපතිවරයා ගියේ නැත. ඔහු බුද්ධදාසත්, ඔහුගේ පුත් මංජුලත් බුද්ධදාස සමඟ තේ බොන්නට උඩුමහලට ගියේය. තිලංග, කොඩිකාර, ඉන්දික ගුණවර්ධන, දුමින්ද ඇතුළු පිරිසක්‌ ද එතන සිටියහ.

ඒ අතර එළඹෙන බස්‌නාහිර පළාත් සභාවේදී බුද්ධදාස වෙනුවෙන් මංජුල බුද්ධදාස තරග වදින බව තිලංග කීවේය.

"ඔව්... ඔව්... තාත්තාගේ උරුමය මෙයා ගන්න එපායෑ. අනිත් එක මෙයාට දිනන්න හරි ලේසියි. මේ කොළඹ තියෙන්නේ 60% ක්‌ම දකුණේ ඡන්ද. දකුණේ මිනිස්‌සු හරි ආවේගශීලියි. ඉක්‌මනට ලේ රත් දෙනවා. හරි හොඳයි වරදට ඔළුව නමන්නේ නැහැ. අන්න ඒක දැනගෙන දකුණේ කෙනෙක්‌ වගේ ඉන්න ඕන. ඒ වගේම දකුණේ කෙනෙක්‌ වග කියන්නත් ඕන.

ඔහේට තියෙන්නේ ජනාධිපතිතුමත් දකුණේ, අපේ තාත්තත් දකුණේ, මමත් දකුණේ කිය කිය යන එක විතරයි. ජනාධිපතිවරයා එසේ ඡන්දය දිනන හැටි මංජුලට අවවාද කළේ සීනි කෙසෙල් ගෙඩියක්‌ හා හැලපයක්‌ කමින් තේ බොන අතරතුරය.

මංගල බ්‍රිගේඩියර්

මංගල සමරවීර පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් දේශපාලන කරලියේ වැඩිපුරම කතාබහට ලක්‌වූ විපක්‍ෂයේ දේශපාලනඥයා යෑයි කිවහොත් නිවැරැදිය. ඒ ඔහු පසුගිය දින කිහිපය තුළ කළ කී දේ නිසාය.

විශේෂයෙන්ම අය වැය විවාදයේදී මංගල රජයේ ප්‍රතිපත්ති හා ආර්ථික දර්ශනය මෙන්ම ක්‍රියාදාමය සිය විවේචනයට ලක්‌කරමින් වේගවත් කතාවක්‌ කළේය. ඒ අතරතුර පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු වැඩක්‌ නැති සංවිධානයක්‌ බවත් එය වර්තමානයේ ලොම් හැලිච්ච දත් හැලිච්ච මැහැල්ලක්‌ බවත් ප්‍රකාශ කළේය. ඒත් සමඟම ඔහු තවත් කතාවක්‌ කළේය. ඒ වූ කලී ඔහු පොදු රාජ්‍ය සංගමයේ මහ ලේකම් කමලේෂ් ෂර්මාට ලිපියක්‌ ද යවා ලංකාවේ වර්තමාන සමාජ යථාර්ථය කියා දුන්නේය කියාද කීවේය.

මංගලගෙන් හුඟදෙනෙක්‌ ප්‍රශ්න කළේ පොදු රාජ්‍ය මණ්‌ඩලය ලොම් හැලුණු මැහැල්ලක්‌ නම් එහි මහ ලේකම්වරයාට ලිපි යවන්නේ මොන එකකටද කියාය.

පසුගිය සතියේ මංගල පාර්ලිමේන්තුවේදී සිය කතාව කළදා උදේ ආණ්‌ඩු පක්‍ෂයේ කථික ලැයිස්‌තුව බැලූ සමහර රජයේ දේශපාලනඥයන් මුහුණු ඇඹුල් කර ගත්හ.

"අයියෝ මංගලට උත්තර දෙන්න කට තියෙන, කැත්තට පොල්ල වගේ කෙනෙක්‌a අද නැහැනේ. එහෙම කෙනෙක්‌ දාන්නම ඕන යෑයි කීහ. ඒ අතර ජගත් පුෂ්පකුමාරට කතා කළ සමහරු මංගලගේ කතාවට පසු ජගත්ට කතා කරන ලෙස ආරාධනා කළහ. ජගත් එය සතුටින් බාරගත්තේය. මංගල සිය කතාව ඉවර කළ පසු ජගත් කතාව ආරම්භ කළේ මෙසේය.

"අභිනවයෙන් ස්‌ථාපිත කරන ලද කුරුඳු පොලු හමුදාවේ ආඥපති බ්‍රිගේඩියර් මංගල මැතිතුමාගේ කතාවෙන් පසු කතා කරන්නට ලැබීම මම සතුටු වෙනවා"

ඉන්පසුව ජගත් එක්‌තරා යුගයක ලංකාවේ ආර්ථික වර්ධන වේගය සෘන 2.8 ට අඩු වූ ආකාරය පෙන්වා දුන්නේය. එවකට ජනාධිපතිනිය චන්ද්‍රිකාය. ඇගේ ප්‍රධාන උපදේශකයා මංගල බව කී ජගත් දැන් ආර්ථික වර්ධන වේගය 8% දක්‌වා වර්ධනය වී තිබියදී ඒ ගැන කතා කරන්නේ ඇයිදැයි විමසීය.

මංගල ඒ මොහොතේම නැගිට එළියට ගියේය.

එදින දහවල් අවන්හලේ කෑම කන විටදී ජගත්ට මංගලව මුහුණට මුහුණ හමුවිය.

ඔබතුමාට බොහොම ස්‌තුතියි. ඔබතුමා මට බ්‍රිගේඩියර්කමක්‌ දුන්නා නේ. මෛත්‍රිපාල දුන්නේ කෝප්‍රල්කමක්‌ විතරයි. ඔබතුමා ලෝබ නැහැ යෑයි කියමින් සිනාසෙමින් කෑම බෙදා ගත්තේය.

මේ අතරතුර රජයට සම්බන්ධ ගුවන් විදුලි මාධ්‍ය හා රූපවාහිනි සේවාවන්වලින් මංගල පසුගිය දිනවල කළ කතා පට්‌ට ගසන්නට පටන් ගත්තේය.

එහෙත් මංගලට ලොකුම ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේ රජය සම්බන්ධ මාධ්‍ය නොව, එක්‌තරා පෞද්ගලික විද්යුත් මාධ්‍ය ජාලයකි. ඒත් සමඟම එකට බැඳුණු ළඟදී පටන්ගත් එක්‌තරා පත්තරයක්‌ ද මංගලව පතුරු ගසමින් සිටියේය. පසුගිය සතිය වන විට එම පත්තරය හා එකී ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකාව නිසා මංගල සිටියේ කන් දෙකේ ඇඟිලි ගසා ගත් තරමටම කනස්‌සල්ලෙන් බව කීම අතිශයෝක්‌තියක්‌ වන්නේ නැත.

අපලය සිරිකොතේද?

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුල්වීමට යද්දී ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්‌ටිගේට හමුවිය.

"මන්ත්‍රීතුමා මොකක්‌ද ඔය සිsරිකොත ගොඩනැඟිල්ලේ අගුණයක්‌ තියෙනව කියන්නෙ? හෙට්‌ටිගේ ඇසුවේය.

"මං හිතන්නෙ නෑ. එහෙම අගුණයක්‌ තියෙයි කියල. කාලයක්‌ හොඳට වැඩ කෙරෙන්නත් කාලයක්‌ නරක්‌ වෙන්නත් විදියක්‌ නෑනේ. අපේ සමහර අයගෙ පිස්‌සු කතා පිස්‌සු වැඩ නිසා තමයි ප්‍රශ්න ඇති වෙන්නෙ." අමරතුංග මන්ත්‍රීවරයා හෙට්‌ටිගේට කීවේය.

"සිරිකොතට අසුබ නං වාසනාව තියෙන තැනකට ගෙනියන්න. ඒකට හොඳම දේ තමයි අරලියගහ මන්දිරය ළඟින් හරි ජනාධිපති මන්දිරය ළඟින් හරි ඉඩම් කොටසක්‌ අරන් එතැන හදන එක" හෙට්‌ටිගේ කියද්දී අමරතුංග මන්ත්‍රීවරයා කොක්‌හඬලා සිනාසෙමින් එතැනින් ගියේ "එහෙම වුවමනාවක්‌ නෑ. ඉදිරියට අපි බලාගමුකෝ" කියමිනි.

නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා තවත් මන්ත්‍රීවරුන් පිරිසක්‌ සමඟ හෙට්‌ටිගේගේ කාමරයට පැමිණියේ "සමහර ප්‍රාදේශීය සභාවල ප්‍රධානීන්ගේ හැසිරීම එච්චර හොඳ නැහැ. හොඳින් දේශපාලනය කරන අයටත් මේක ප්‍රශ්නයක්‌" කියමිනි.

"අපිටත් මේක ලොකු ප්‍රශ්නයක්‌. සමහරුන්ගෙ සාමුහික වගකීමක්‌ ඇත්තෙම නෑ" ශාන්ත බණ්‌ඩාර මන්ත්‍රීවරයා කීවේය.

"සමහර ආසන සංවිධායකවරුන් නිසාත් ප්‍රශ්න ඇති වෙනවා. කණ්‌ඩායම් හදාගන්න ගියාම තමයි අවුල" නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා කියද්දී උදිත ලොකුබණ්‌ඩාර මන්ත්‍රීවරයා කීවේ "ප්‍රාදේශීය සභාවල නියෝජිතයො සියලු දෙනා ජනාධිපතිතුමා හමුවට ගෙනැල්ල මේ ප්‍රශ්නය විසඳන්න ඕන. නැත්නං මේක සෙල්ලමක්‌ වෙනවා" කියාය.

"නාමල් මන්ත්‍රීතුමා මේක හරියට දකිනවා. ඇත්තටම සමහර ප්‍රා. සභා සංවිධායකවරුන්ගෙ හැසිරීම තමයි ප්‍රාදේශීය සභාවලටත් බලපාන්නෙ. ඒ අය ජනාධිපතිතුමාට සිද්ධවෙන අපහසුතා ගැන හිතන්නෙ නෑ. ජනාධිපතිතුමාට තියෙන ආදරය නිසා මිනිස්‌සු ඉන්නෙත් පුදුම ඉවසීමකින්" හෙට්‌ටිගේ උදාහරණ සහිතව කීවේය.

සමගි බලවේගයේ රැස්‌වීමක්‌ පසුගිය 26 වැනිදා නුගේගොඩ නාලන්දාරාමයේදී පැවැත්විණි. රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්‌වීමට මනෝ, හේමකුමාර, බ්‍රිටෝ, අසාද් සාලි, මංගල, තිස්‌ස, මනමේන්ද්‍ර ඇතුළු පිරිසක්‌ සහභාගි වී සිටියහ. ඒ අතර ඊට රවී කරුණානායක ද පැමිණීම විශේෂත්වයක්‌ ගත්තේය.

මේ වන විට රවී සමඟ සමගි බලවේගයේ හුඟදෙනකුට ප්‍රශ්නයක්‌ තිබිණි. ප්‍රශ්නය වූයේ රවී හා දයා ගමගේ බොදු බල සේනා කණ්‌ඩායමෙන් සමාව ගැනීම ගැනය. ඔවුන් කීවේ කවුරුවත් එසේ බොදු බල සේනාවෙන් සමාව ගත යුතු නැති බවය.

රවී එදා පැමිණීම නිසා සමගි බලවේගයේ අය කලබල වූහ. ඔවුන් රවීගෙන් ප්‍රසිද්ධියේම ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.

කේන්ති යැම රවීගේ සාමාන්‍ය සිරිතකි. රවීට කේන්ති යැම නිසා රවි සමගි බලවේගයේ සමහර පක්‍ෂවලට රිදෙන සේ කතා කළේය.

මේ "ත්‍රීවීලර්" පක්‍ෂවලට එහෙම කතා කරන්න අයිතියක්‌ නෑ.

සරත් මනමේන්ද්‍ර හා සිරිමාදුර ඊට එරෙහිව රවී සමඟ පැටලෙන්නට වූහ. ප්‍රශ්නය උණුසුම් වූයේ ඔය ආකාරයටය.

මෙවිට හේමකුමාර නානායක්‌කාර මැදිහත්ව ප්‍රශ්නය විසඳුවේය. රවීලා එදා කළ වැඩේ නිසා එක අතකින් බොදු බල සේනා ප්‍රශ්නය ඉවර වූ බව කීවේය.

එක අතකින් හොඳ බව කී හේමකුමාර කුඩා පක්‍ෂවලට "ත්‍රීවීලර් පක්‍ෂ" කියා රවී අපහාස කිරීම වැරදි බව ද කීවේය. ඔහු කීවේ මෙවෙලේ ලොකු කුඩා සියලුම පක්‍ෂ වාද බේද අමතක කර එකතු වී රජයට එරෙහිව ලොකු හඬක්‌ නගන්නට එකතු විය යුතු බවය.

ඒ අයුරින් එම කතාව ඉවර විය. රනිල් ද හේමාගේ කතාව අනුමත කළේය.

මේ අතර සමගි සන්ධානයේ නායකත්වයෙන් අය වැයට එරෙහිව ලොකු විරෝධතාවක්‌ ගොඩනගන්නට අවශ්‍ය බව යෝජනා විණි.

ජනතා පවුරෙන් සජිත්

ජනතා පවුර යනු ශිරාල් ලක්‌තිලක, මෛත්‍රි ගුණරත්න ආදී එජාපයේම පිsරිසක්‌ එක්‌ව පිහිටුවා ගත් දේශපාලන සමාජ සංවිධානයකි. එහි රැස්‌වීමක්‌ පසුගිය 24 වැනිදා කොළඹ මහජන පුස්‌තකාලයේ පැවැත්විණි. එහිදී ඉතා වැදගත් දේශපාලන කරුණක්‌ ශිරාල්ගේ කතාවකින් එළියට පැන්නේ බළලා මල්ලෙන් එළියට පනින්නාක්‌ මෙනි.

ඔහුගෙන් එසේ කියවුණේ ඊළඟ ජනාධිපතිවරණයකදී ජනතා පවුර සංවිධානයෙන් සජිත් ප්‍රේමදාස අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන්නට සූදානමක්‌ ඇති බවය. මෙම ප්‍රකාශය නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයෝ ද යම් තිගැස්‌මකට ලක්‌ව කල්පනා කරන්නට පටන් ගත්හ. ඒ සමඟම මාධ්‍යවලින්, ඊට ලොකු ප්‍රසිද්ධියක්‌ ලැබිණි. එය නිකන්ම නිකම් මතු වූ කතාවක්‌ නොවන බව එජාපය තේරුම් ගත්තේ ඉන් පසුවය.

එක්‌සත් ජාතික පක්‍ෂය මේ පිළිබඳව කල්පනා කරමින් ඊට මුහුණ දෙන ආකාරය සොයන්නට පටන් ගත්තේය.

මේ අතර දේශපාලනයේ 2014 තුළදී සිදුවන පෙරළි පිළිබඳව ද කතා කරන අය සිටියහ. ඒ ගැන අනාගත වාක්‍ය හා අනාවැකි කියන්නට ද සමහරු පටන් ගත්හ.

ජනවාරියේ දැවැන්ත උද්ඝෝෂණ

තත්ත්වය මෙසේ තිබියදී එක්‌සත්a ජාතික පක්‍ෂයේ තවත් පිරිසක්‌ නිල නොවන මට්‌ටමේ සාකච්ඡා වටයක්‌ අත්හදා බලන්නට පටන් ගත්හ. එහිදී සැලසුම වූයේ 2014 දී රජයට එරෙහිව පුළුල් සන්ධානයක්‌ ගොඩනගා ගැනීමට අවශ්‍ය පාර්ශ්වයන් සමඟ නියෝජිතයෝ තනි තනිවම කතා කිරීමය.

ඒ අනුව සැලසුමේ කොටස්‌ ලෙස විවිධ පාර්ශ්වයන් හමුවී අදහස්‌ විමසමින් කරන මූලික සාකච්ඡාව මේ වන විටත් ඇරඹී තිබිණි. සැලසුමට අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා, ජනතා විමුක්‌ති පෙරමුණ, පෙරටුගාමී පක්‍ෂය, ෙµdන්සේකාගේ කණ්‌ඩායම, සමගි බලවේගය, ආණ්‌ඩුවේ ඇතැම් කලකිරුණු ඇමැතිවරු හා සෙසු කුඩා දේශපාලන පක්‍ෂ වෙන වෙනම හඳුනාගෙන සාකච්ඡා අරඹන්නට තීරණය කෙරිණි. එහි පෙරහුරුවක්‌ හා අත්හදා බැලීමක්‌ ලෙස ලබන ජනවාරියේ රජයට එරෙහි පුළුල් විරෝධතා ව්‍යාපාර යක්‌ කොළඹදී ඇරඹීමට මූලික සැලසුම සකස්‌ කෙරිණි. ඒ පිළිබඳ මූලික වගකීම් කොටස ද එක්‌සත් ජාතික පක්‍ෂයේ විශේෂ මෙහෙයුම් කමිටුව යටතේ ඒ ඒ අංශවලට පැවරිණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග පසුගිය දිනවල විටින්විට දක්‌වා තිබූ අදහස්‌ ද මෙහිදී වැදගත් විය. ඇය කියා තිබුණේ ඕ නැවත දේශ පාලනයකට නම් මැදිහත් නොවන බවකි.

එහෙත් ඇය ගැන හොඳින් දත්, ඇගේ වැඩ පිළිබඳ හසල අත්දැකීම් ඇති එජාපයේ දැනට සිටි නායකයෙක්‌ එජාපයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී සිය විශ්වාසවන්තයන් සමඟ කියා ඇත්තේ තීරණාත්මක සටන් පාඨයක්‌ තුළ ඇගේ සහාය ද සටනකට ගොනුකර ගැනීම අපහසු නැති බවය. යම් හෙයකින් "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම" වැනි ප්‍රධාන සටන් පාඨයක්‌ පෙරමුණට පැමිණියහොත් ඇයගේ සහාය ලබාගැනීම අපහසු නොවන බව හේ මහත් විශ්වාසයකින් යුතුව කියා තිබිණි. කළ යුත්තේ අදියර කිහිපයකින් ඒ මාතෘකාව පිළිබඳ සාකච්ඡාව අරඹන එක බව ඔහු කියා සිටියේය.

මේ පිළිබඳව තතු දත් ආරංචි මාර්ගවලට අනුව ලබන වසරේ රජයට එරෙහි ප්‍රධාන සටන් පාඨය ලෙස විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි සටන කරළියට බසිනු ඇත. ඊට අවශ්‍ය අදාළ මූලික සාකච්ඡා මේ වන විටත් ඇරඹී ඇති බව අනාවරණය විය.

නාගසේන
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.