මේක.... මාළුවා ගඟේ ඉද්දි |
හොද්ද ලිපේ තියන ජාතියේ අයවැයක්‌!

මෙවර අයවැය සම්බන්ධයෙන් බොහෝ විවේචන එල්ලවීමට පටන්ගෙන තිබේ. අයවැය ඉදිරිපත් කරනදා පාර්ලිමේන්තුවේ නොසිටි විපක්‍ෂය පවා මේ වන විට එහි ඇති දොස්‌ බුරුතු පිටින් එළිදක්‌වන්නට පටන්ගෙන තිබේ. එජාපය වෙනුවෙන් මේ ගැන කතාබහ කරන්නට එක්‌වන්නේ එජාප බදුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුය.

අයවැය සහන නොලැබූ බව හරීන් කියයි

ප්‍රශ්නය - අයවැය ගැන මේතරම්ම විරෝධයක්‌ ඇයි?

පිළිතුර - මුලින්ම කියන්නත් අහන්නත් ඕන කාරණය තමයි, අයවැයෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ ලැබුණාද කියන එක. මම බොහෝම කෙටියෙන් ඒක කතා කරනව නම් ජනතාව මෙයින් තමන්ට සහනයක්‌ ලැබෙයි කියලා බලාපොරොත්තුව ඉන්න මොහොතක සිද්ධවුණේ තද බඩගින්නකින් ඉන්න දරුවෙකුට ලොසින්ජරයක්‌ දුන්න වගේ වැඩක්‌. මේ රටේ දැවෙන ප්‍රශ්න, ජීවන වියදම ගැන අතිවිශාල ප්‍රශ්නයක්‌ තියෙන මොහොතක මේ අයවැය තුළින් ඒ එකදු කාරණයකට හෝ විසඳුමක්‌ ලැබුණාද කියන ප්‍රශ්නය තියෙනවා. අපි දකින්නේ මේ අයවැය රටේ බහුතරයකට සාධාරණය ඉටු නොවුණු අයවැයක්‌ හැටියටයි.

ප්‍රශ්නය - ඔබ සාධාරණය ඉෂ්ට නොවුණු අයවැයක්‌ හැටියට හැඳින්වුවත්, ආණ්‌ඩුව කිව්වේ මේක සංවර්ධනය ඉලක්‌ක කරගත් අයවැයක්‌ කියලයි. කොහොමද ඒ තර්කයට මුහුණ දෙන්නේ.

පිළිතුර - අපි කෙළින්ම අහන්නේ ඒකයි. මොනවද මේ අයවැයෙන් රටේ ජනතාවට ලැබුණේ.

ප්‍රශ්නය - නෑ මම ඇහුවේ මේක සංවර්ධනය වෙනුවෙන් ඉලක්‌ක කරගත් අයවැයක්‌ නිසා ඒ ගැන අදහස මොකක්‌ද කියලයි. විශේෂයෙන් යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මේ අයවැයෙන් ලබාදී තිබෙන පහසුකම් ප්‍රමාණවත් මදිද?

පිළිතුර - මම විශ්වාස කරනවා, යටිතල පහසුකම් දියුණු කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්‌ කියලා. එතැනින් තමයි රටක සංවර්ධනය පටන් ගන්න ඕන. මේ ආණ්‌ඩුව අමුතුම ක්‍රමයකටයි, දේශපාලනය කරන්නේ. ඒ කියන්නේ ආදායම් උපද්දමින් රටක්‌ දියුණු කරනවා වෙනුවට, ලොකු ආයෝජනයක්‌ කරලා ඊළඟට බලනවා රටක්‌ දියුණු කරන්න. ඒක හරියට..."මාළුවා තවම ගඟේ හැබැයි හොද්ද ලිපේ තියාගන්නවා" ඒ කියන්නේ හොද්ද ලිපේ තියලා තමයි මාළුවා බාන්න යන්නේ. මෙතන තිබෙන ප්‍රශ්නය තමයි, කොමිස්‌ ගැහිල්ල. නැත්නම් යටිතල පහසුකම් දියුණු කිරීම ඇත්තටම හොඳයි. ඒ ගැන විවාදයක්‌ නෑ. දැන් කොළඹ දැක්‌කොත් ඇත්තටම ලස්‌සනයිනේ. කාටවත් ඒක නෑ කියන්න බෑ. කොළඹ ප්‍රදේශය විශාල ශීඝ්‍ර දියුණුවකට ලක්‌වෙලා තියෙනවා. ඒක අගයන්න ඕන. ඒ ක්‍රියාවලියට දායක වෙන අයට ඒ කීර්ති ප්‍රශංසාව ලබා දෙන්න ඕන. ඒ හොඳත් එක්‌කම මේවාට වියදම් කරපු මුදල් ගැන විනිවිද භාවයක්‌ තියෙන්න ඕන. දැන් කටුනායක අධිවේගී මාර්ගයට වියදම් වෙලා තියෙනවා ඒ වගේ දෙගුණයක්‌ සල්ලි... ඉතිං අපේ විවේචනය පාරවල් දෙකක්‌ හදන්න ඕන තැන එක පාරක්‌ හදලා ඒ සල්ලි ගසාකන එක ගැනයි. අපි එහෙම අහන එක අසාධාරණද?

දැන් මුල් දවස්‌වල ප්‍රේමදාස මහත්තයා ගම් උදා හදනකොට, ගමට යන්න පාර හදනවා. ඊළඟට ප්‍රජා ශාලාව හදනවා. පන්සල, පල්ලිය, කෝවිල හදනවා. ඊට පස්‌සෙ ඇඟලුම් කම්හලකුත් දානවා. එතකොට හැම දෙයක්‌ම ඉබේම දියණු වෙනවා. ආර්ථිකයත් දියුණු වෙනවා. අද එහෙම වෙනවද? පාර හැදෙනවා. එතැනින් එහාට මුකුත් නෑ. අපි කියන්නේ පාරවල් හදනවා වගේම රටේ මානව සම්පතත් දියුණු කරන්න ඕන. ඒක වෙන්නේ නෑ. දැන් රජයේ සේවකයන්ට මේ ආණ්‌ඩුව කරපු බොරුවම ප්‍රමාණවත්. තත්ත්වය තේරුම් ගන්න.

ප්‍රශ්නය - රජයේ සේවකයන්ට රු. 1200 ක පඩි වැඩිවීමක්‌ වුණා.

පිළිතුර - ඔව්.. පත්තරවල නම් පොල්ගෙඩි අකුරෙන් තිබුණා. රජයේ සේවකයන්ට රු. 1200 ක පඩි වැඩිවීමක්‌ කියලා. හැබැයි ඇත්තටම පඩිය නොවෙයි, වැඩිවුණේ. ඒ වැඩිවුණේ ජීවන අංකය. ඇත්තටම මේ වැඩිවීම අනුව කෙනකුට දිනකට වැඩිවෙලා තියෙන්නේ රු. 40 යි. අද කාලයේ ප්ලේන්ටියක්‌ රුපියල් 20 ක්‌ විතර වෙනවා. ලක්‍ෂ 12 - 13 ක්‌ වූ රාජ්‍ය සේවකයන්ට එහෙම හරි ලැබුණා. නමුත් ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයන් ලක්‍ෂ 60 කට වඩා ඉන්වා. ඒ විතරක්‌ නොවෙයි, ඒ දෙකටම අයත් නොවන රැකියා කරන අයත් විශාල ප්‍රමාණයක්‌ ඉන්නවා. උදාහරණයකට බස්‌ රථයක කොන්දොස්‌තරවරයෙක්‌ කඩේක බඩු කිරන ශ්‍රමිකයෙක්‌ ඒ ගොඩට වැටෙන අය නොවෙයි. ඒ අයට දුන්න දේවල් මොනවද?

ප්‍රශ්නය - ඇත්තටම අයවැයක්‌ කියන්නේ සහන ලබාදීමම නොවෙයි නේද?

පිළිතුර -සහන ඕන නෑ. මේ අයට කරදරයක්‌ නැතිව එදා වේල කන්න පුළුවන් විදියට බදු බර අඩුකරලා දෙන්න ක්‍රමවේද දුන්න නම් හොඳටම ඇති. ඒත් කොලේ වහලා ගහලා මේ අය කරන්නේ තව තවත් බදු බර පටවන එකයි. දැන් ජනාධිපතිතුමා අයවැය කියවගෙන යනකොට එතුමාම කිව්වා ගිය අවුරුද්දේ පවුලක තිබුණු වියදමට වඩා මේ අවුරුද්දේ වියදම රු. 2500 කින් වැඩිවෙලා කියලා. එතකොට ජීවන අංකය වැඩිවෙලා තියෙන්නේ රුපියල් 1200 කින් විතරයි. ගැලපීමක්‌ තියෙනවද?

අපේ මිනිස්‌සුන්ට මේක තේරනේනේ නෑ. දේශපාලනික වශයෙන් මිනිස්‌සුන්ට ඇහැට පේන්න පාරවල්, පාලම් පෙන්නලා, පිටිපස්‌සෙන් පොකට්‌ එකට ගහනවා. අපේ අයත් හරි ආසයිනේ බයිස්‌කෝප් බලන්න. ඒ අය ආණ්‌ඩුවේ මේ ෂෝ එකට රැවටෙනවා. ඒක තමයි ආණ්‌ඩුවේ ආර්ථික න්‍යාය. මේ ෂෝ එකේa, සංදර්ශන, ක්‍රිකට්‌, ගිනිකෙළි, වෙඩි තියාගැනිලි, µයිට්‌ තියෙනවා. ඒ විතරක්‌ නොවෙයි, කොමඩි තියෙනවා. මර්වින්ලා වගේ ජෝකර්ලා ඉන්නවා. අපේ මිනිස්‌සු මේවා බලන්න හරි ආසයි. අපි ඒවා බලාගෙන ඉන්නකොට පී. බී. ජයසුන්දර පිටිපස්‌සෙන් ඇවිත් සාක්‌කුවට තට්‌ටු කරන් යනවා. මෙහෙන් අපේ මිනිස්‌සුන්ගේ පොකට්‌ එකට තට්‌ටු කරන් යනවා. අනිත් පැත්තෙන් ජත්‍යන්තරයට සරම උස්‌සගෙන පාට්‌ පෙන්නන ගමන් උහුලන්න බැරි තරම් ණය ගන්නවා.

ප්‍රශ්නය - ණය ආධාර ලබා ගැනීමක්‌ නැතුව රටක්‌ දියුණු කරන්න පුළුවන්ද?

පිළිතුර - ණය ගන්න ඕන. හැබැයි ඒක රටට බරක්‌ නොවන්න. ඒ ණය වලිනුත් කොටසකට කොමිස්‌ ගහන්න බැරි විදිහට. දැන් මේ අයවැයේදී දුන්න සංඛ්‍යාලේඛනවල විශාල ප්‍රශ්නයක්‌ තියෙනවා අපි දන්නවා. අපේ ආදායමත්, වියදමත් ගත්තම අපේ වැඩිම වියදමක්‌ යන්නේ පුනරාවර්තන වියදම්වලට. පුනරාවර්තන වියදම් ගත්තොත් අපිට විශාල වශයෙන් පඩි ගෙවන්නයි. ණය ගෙවන්නයි තමයි විශාල වියදමක්‌ දරන්න සිදු වන්නේ. නමුත් ඒ තුළ පවා තියෙන්නේ "ණය පොලී" ගෙවීම පමණයි. ණයයි, ණය පොලියයි දෙකම එකතු වුණාම එක වසරක්‌ තුළ අපේ රට විශාල ආර්ථික අර්බුදයකට ගිහින් තියෙන්නේ. ඒකත් මේ අයවැයෙන් වහලා තියෙන්නේ. එතකොට මේ අයවැයේ අයවැය හිඟයට ණය පොලිය විතරයි එකතු කරලා තියෙන්නේ. ණය වාරිකය එකතු කරලා නෑ. ඒක දැම්මොත් අයවැය පරතරය මේ වගේ දෙගුණයක්‌ වෙනවා. එතකොට රටේ ජනතාවට මේ අය වැය පරතරයක්‌ නෑ කියලා කරන්නේ බොරුවක්‌. ඊළඟට මේ රටේ දල දේශීය නිෂ්පාදනය වැඩියි කියලා පෙන්වනවා. නමුත් අපේ රටේ දල දේශීය නිෂ්පාදනය මනින්න පුළුවන් ක්‍රමවේදයක්‌ නෑ. මෙච්චර මිරිස්‌, තක්‌කාලි, වම්බටු, වැවුණා කියලා නිසි තක්‌සේරුවකට එන්න බෑ. ඒක හොයන්න පුළුවන් හොඳම ක්‍රමය බදු ගෙවන්නන්ගේ බදු ප්‍රමාණය වැඩි වෙනවද කියලා හොයලා බලන එක. හැබැයි බදු ආදායම වැඩිවෙලා නෑ. ඒ නිසා මේ අයවැයේ විශාල ප්‍රශ්න තියෙන බව කියන්න ඕන. අනිත් ප්‍රධානම කාරණය තමයි පසුගිය වසරේ, ඒ කියන්නේ 2012 වර්ෂයේ 2013 අයවැය ඉදිරිපත් කරනකොට පොදු රාජ්‍ය මණ්‌ඩලීය සමුළුවට වෙන් කරපු මුදල ගැන සඳහනක්‌ නෑ. දැන් 2014 අයවැයෙත් ඒ ගැන සඳහනක්‌ නෑ. එතකොට ඒ සල්ලි කොහෙන්ද?

ප්‍රශ්නය - රාජය තාන්ත්‍රික මට්‌ටමේ සමුළුවක්‌ වෙනුවෙන් පෙර සූදානමක්‌ තිබිය යුතුයි. ඒත් අය වැයකින් ඒ වගේ දේකට මුදල් වෙන් කිරීම ප්‍රායෝගිකද?

පිළිතුර - අපිට දල සැලසුමක්‌ තියාගන්න බැරිද? දැන් මේකට බිලියන 20 ක්‌ විතර වියදම් වෙලයි තියෙන්නේ. විවිධ ගණන් හිලව් තියෙනවා. හැබැයි ඒ හැම ගාණක්‌ම බිලියන 15 ට වැඩියි. අපි හිතමු බිලියන 18 ක්‌ කියලා. එතකොට ඒකෙන් අපිට ලැබුණු ප්‍රයෝජනය මොකද්ද? මම මුලදීම කිව්වා. මේක මනමාලි නැති මඟුල් ගෙයක්‌ කියලා. රටවල් 54 කින් විශාලම රටවල් තියෙන්නේ 4 යි. ඔස්‌ටේ්‍රලියාව, එංගලන්තය, කැනඩාව, ඉන්දියාව එතකොට කැනඩාව සහ ඉන්දියාව මේකට ආවේ නෑ.

ප්‍රශ්නය - ඔබ එවැනි විවේචනයක්‌ කළාට හම්බන්තොට තිබ්බ පොදු රාජ්‍ය මණ්‌ඩලීය තරුණ සමුළුවට ක්‍රියාකාරී විදියට සම්බන්ධ වෙලා හිටියා.

පිළිතුර - ඔව්. මම ඒ සමුළුවට සහභාගි වුණා. ඒ පක්‍ෂයක්‌ හැටියට නොවෙයි. එංගලන්තයේ හා අපේ තරුණ මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ සාමාජිකයන් ලෙස එකතුවෙලා සංහිඳියාව සම්බන්ධයෙන් වැඩසටහනක්‌ පටන්ගත්තා. අපි එංගලන්තයට ගියා. එංගලන්ත කණ්‌ඩායම මෙහෙ ආවා. ඒ තරුණ මන්ත්‍රීවරු හැටියට. පොදු රාජ්‍ය මණ්‌ඩලීය තරුණ සමුළුවේදී අපිට ඒ වැඩසටහන ගැන වැඩසටහනක්‌ කරන්නයි අවස්‌ථාව ආවේ. මම එහි ප්‍රධාන භූමිකාවක්‌ කළා. ඒකට යන්න මට එජාප නායකතුමා අවසර දුන්නා. මම එතනදී හොඳ දෙයක්‌ දැක්‌කා. සමුළුවේ සංවිධාන ශක්‌තිය බොහොම හොඳට තිබුණා. ස්‌ථානය හොඳට තිබුණා. හොඳ දේට හොඳයි කියන්න ඕන.

ප්‍රශ්නය - දැන් එජාපය බලයට ආවොත් මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න මීට වඩා හොඳ සැලසුමක්‌ තියෙනවද?

පිළිතුර - පැහැදිලිවම ඔව්. එජාපයට ඒ ශක්‌තිය තියෙනවා. අපි ජාත්‍යන්තරයත් සමඟ එකතුවෙලා. මේක හරියට කළමනාකරණය කරගන්නවා. ජාත්‍යන්තරය එජාපය පිළිගන්නවා. මොකද ජාත්‍යන්තරය දන්නවා. මේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපිට නිශ්චිත සැලසුම් තියන බව.

ප්‍රශ්නය - ආණ්‌ඩුව ලෝකෙට ණය වෙනවා කිව්වට එජාපයත් ඒකමනේ කරන්න යන්නේ.

පිළිතුර - නෑ... අපි ඒක නිසි විදියට කළමනාකරණය කර ගන්නවා. ණය හෝ ආධාර නිශ්චිතවම අදාළ දේට යොදවන්න පුළුවන් ක්‍රමවේදයක්‌ අපිට තිබෙනවා.

සාකච්ඡා කළේ
උදේශ සංජීව ගමගේ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.