අයවැය හා කටකතා ගැන පී. බී. කතාකරයි
මා හොඳ නැත්නම් ජනාධිපතිවරයාට කියා අයින් කර දමන්න

පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනය (2014) පිළිබඳව මෙන්ම මහා භාණ්‌ඩාගාර ලේකම්වරයා ලෙස ආචාර්ය පී. බි. ජයසුන්දර මහතාට අදාළ තීරණාත්මක කරුණු කාරණා ගණනාවක්‌ ගැන අපි ඔහුගෙන් ප්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ "දිවයින ඉරිදා සංග්‍රහය" ඇසූ ප්‍රශ්නවලට ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ලබාදුන් පිළිතුරුයි.

ප්‍රශ්නය- පසුගියදා ඉදිරිපත් වූ අයවැය ලේඛනය ඔබ හඳුන්වා දෙන්නේ කෙසේද?

පිළිතුර - මේක ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු නවවන අයවැය. එනම් අවුරුදු 9 ක්‌ අඛණ්‌ඩව පියවරෙන් පියවර ජාතික ආදායම වැඩිවන විදියට රැකී රක්‌ෂා හිඟය අඩුවන විදිහට දුප්පත්කම අඩුවන ලෙස වගේම ජනතාවට මූලික පහසුකම්වලට තිබෙන ප්‍රවේශය වැඩිවන ලෙස ආපු ගමන් මාර්ගයේ තවත් පියවරක්‌. අර සංවර්ධන ක්‍රියාවලිය තව තවත් ඉදිරියට ගෙන යැමට හැකි වන ලෙස ඉදිරිපත් කරපු අයවැයක්‌. මහින්ද චින්තන අලුත් ශ්‍රී ලංකාවක්‌ කියන ප්‍රතිපත්තිය තුළ සාමය ඇතිකර ගැනීමේ ප්‍රතිලාභ උතුරේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීම වගේම, රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මගින් දේශීය ආර්ථිකය වගේම රටේ විදේශ වෙළෙ¹ම සහ ආයෝජනයට අවශ්‍ය පරිසරය සකස්‌ කිරීමේ ක්‍රියාවලිය තවත් ශක්‌තිමත් අවස්‌ථාවකට පත්වූ අයවැයක්‌ ලෙසයි මම මේ අයවැයේ අන්තර්ගතය දකින්නේ.

ප්‍රශ්නය - මෙවර අයවැයෙන් ආනයනික ආහාර ද්‍රව්‍ය රැසකට සෙස්‌ බදු හා විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බදු පැනවීම ගැන ඇතැම් අය විරෝධය දක්‌වනවා. ඒ නිසා බඩු මිල ඉහළ යන බවට රජයට චෝදනාවක්‌ තියෙනවා.?

පිළිතුර - මේ අලුත් බදු කතාව එන්නෙ අපේ රටේ වර්ෂයෙන් වර්ෂය අර අය වැය හිඟය, උද්ධමනය අඩුවෙනව වගේ අපේ රටේ පසුගිය වර්ෂ කිහිපය තුළ යුද්ධයෙන් පසු ඇති වන තත්ත්වය තමයි සමස්‌ත වශයෙන් රටේ තියන කෘෂිකාර්මික සම්පත් ටික ප්‍රථම වරටනෙ මේ අවුරුදු 30 කින් පසු රට භුක්‌ති විඳින්නෙ. රටේ මේ තරම් ආනයන ප්‍රමාණයක්‌ වර්ධනය වෙන්න එක හේතුවක්‌ තමයි අපේ කෘෂිකර්මයට යොදාගත හැකි භූමි ප්‍රදේශ පවා අහිමි වෙලා තිබුණා. කෘෂිකාර්මික කියන සමස්‌ත ක්‌ෂේත්‍රය වගේම සංචාරක කර්මාන්තයට මෙය බලපෑවා. දැන් වසර 4 ක්‌ විතර සිට මේ භෝග වැවීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. දැන් මෙහේ කරවල, හාල්මැස්‌සො, උම්බලකඩ, වගේ ඒව හදනවා. දේශීය කිරිපිටිත් හදනව මෙහෙන් ගන්න කිරිවලින්. යෝගට්‌, බටර් හදනවා. චොක්‌ලට්‌ හදනවා. ඒ වගේම අපට අවශ්‍ය එළවළු පළතුරු වර්ග අපි නිෂ්පාදනය කරනවා. දේශීයව හදන මේ කිසිවකට බදු ගහල නෑ.

ක්‍රමයෙන් මේ නිෂ්පාදනය අවුරුදු පතා වැඩිවන විට අපි මේ මිල ආරක්‌ෂා කර ගන්න ඕන. ජාත්‍යන්තර වශයෙන් අද සිනී මිල, කිරිපිටිමිල බැහැල. නැත්නම් මේ බදු වැඩියි. හැබැයි අපේ නිෂ්පාදකයා ආරක්‌ෂා කර ගන්න මේක ඕන එක පැත්තකින්. විශේෂ භාණ්‌ඩ බද්දේ හරය ඒකයි.

සෙස්‌ බද්ද ඊට වඩා වෙනස්‌. සමහර භාණ්‌ඩ තියෙනවා අපේ රටේ අමුද්‍රව්‍ය යනව තාම පිටරට. එතකොට මේ අමුද්‍රව්‍යවලට වටිනාකමක්‌ එකතු කරන්න ඔවුන් දිරිගැන්වෙන්නේ ඒ භාණ්‌ඩය අමුද්‍රව්‍යක්‌ හැටියට පිටරට යෑවීමේදී බදු ගත්තොත් තමයි. තේ කොළ ලෙස යෑව්වොත් බද්දක්‌ තියෙනවා. හැබැයි නිමි භාණ්‌ඩයක්‌ ලෙස යෑව්වොත් ඒ බද්ද නෑ. ඒ දිරිගැන්වීම නිෂ්පාදකයාට අවශ්‍යයි. සෙස්‌ එකේ ආදායම යන්නෙ ඒ කර්මාන්තයට. තේ ගත්තොත් තේවලට පොහොර සහනාධාරය දෙනවා. මේ මුදල් අයවැය මගින් ගියාට ඒ ක්‌ෂේත්‍රය විසින්ම ජනිත කරගන්නව එම ක්‍ෂේත්‍රය ගමන් කළ යුතු ගමන් මාර්ගයට අවශ්‍ය මුදල් සම්පත්.

ආණ්‌ඩුවේ විශ්වාසය තියෙනකම් මගේ වගකීම හරිහැටි ඉටුකරනවා

ප්‍රශ්නය - සංචාරක ව්‍යාපාරය ඉලක්‌ක කරගනිමින් රජය කැසිනෝ ශාලා සඳහා අවසර දීමට යනවා. මේ සඳහා විවිධ මත පළ වෙනවා. ඇතැම් අය මේ සඳහා දැඩි විරෝධය පළ කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්‌ද?

පිළිතුර - පසුගිය අයවැයක යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නීතියක්‌ නැතුව හැමතැනම කැසිනෝ ක්‍රියාත්මක වන එක නවත්වන්න ඕන කියලයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නීතියක්‌ ඉදිරිපත් කරල එය සම්මත කරල දුන්න වෙනත් කටයුතුවලට බාධා නොවන පරිදි මේවා විධිමත් පාලනයකට සහ රජය කියන තැනකට ගෙන යැමට. දැන් මත්පැන් අලෙවිසලකට වුණත් බලපත්‍රයක්‌ දෙනකොට අපි කියනවනෙ පාසලක සිට මෙතරම් දුරක්‌ තියෙන්න ඕන කියල. දැන් එහෙම නිසි නියාමනයක්‌ නැතුවයි මෙය (කැසිනෝ) ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා දැන් නීතියක්‌ ගෙනත් කියල තියෙනව, මේව රජය නියම කරන ස්‌ථානවලට ගෙනියන්න. ඒත් බලපත්‍රයක්‌ නෑනෙ. ඒ නිසා බදු ගෙවන්නෙ නෑ. දැං කැසිනෝ නීතියක්‌ නැතුව ප්‍රසිද්ධියේ කරනවා. ඒ අනුව 2013 වසරට ඉදිරිපත් කරපු අයවැයෙන් ජනාධිපතිතුමා කියනවා 2013 මැයි මාසයට කලින් බදු ලිපිගොනුවක්‌ ඇරියෙ නැත්නම් මේවා බදු නීතිය යටතේ ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන් තහනම් කියල. ඒ උඩ 20 ක්‌ විතර තිබුණු ඒව 5 කට සීමාවුණා. ඒවත් වර්ග දෙකයි. එකක්‌ රේස්‌ දැමීම. හරි මුදලක්‌ හොයනව ඒකෙන්. ඊළඟට අරව තියෙනව තුනක්‌. ඒ අය බදු ලිපි ගොනු විවෘත කළ විට අනික්‌ ඒව ඔක්‌කොම 15 ක්‌ පමණ පොලිසියට දැනුම් දීල තියෙනව නීති විරෝධී සහ රටේ බදු අහිමි කරන ව්‍යාපාර වශයෙන්. හැබැයි ඒ අතරම ප්‍රතිපත්තියක්‌ එනව කැසිනෝවලට අලුත් ලයිෂන් දෙන්නෙ නෑ කියල. එතකොට මේ ඉන්න අය නීත්‍යානුකූලව කටයුතු කරන්න ඕන විදෙස්‌ සංචාරකයන් වෙනුවෙන්. ඒකටත් නීති ගෙනත් තියෙනව දේශීය අයට භාවිත කරන්න බැරි විදිහට. දැන් තියන තත්ත්වය අනුව ඇත්තටම දේශීය අය මේක භාවිත කරනව. අලුත් කොන්දේසි යටතේ කැසිනෝ ශාලාවලට යන කෙනෙක්‌ට රජය කියන ගාස්‌තුවක්‌ ගෙවන්න සිදුවේවි.

ප්‍රශ්නය - ඒ කියන්නෙ අලුතින් දේශීය පුද්ගලයන්ට සීමාවන් දාල තියෙනවා?

පිළිතුර - ඔව්. සීමාවන් දාල තියෙන්නේ. එතකොට මේක විදේශිකයන් මෙහෙට සංචාරකයන් ලෙස ආවහම ඒ අය සඳහා සම්පූර්ණයෙන්ම මෙය නියාමනය වූ කටයුත්තක්‌ බවට පත් වීම තමයි මේ වෙමින් පවතින්නේ. දැන් ඒ කොන්දේසි යටතේ ලංකාවෙ අයට යන්න බැරි වෙනව. එනම් එය සංචාරක අවශ්‍යතාවක්‌ සඳහාම සීමා වෙන නියාමනයක්‌ තමයි මේ වෙන්නේ. මම දකින්නෙ මේ වගේ දේවල් නීතියක්‌ රීතියක්‌ නැතුව ක්‍රියාත්මක වෙනවට වඩා එය හොඳයි. මේක කසිප්පු වගේ වැඩක්‌. කසිප්පු මර්දනය කරන්න නීති ගේන්න ඕන. ඉන්පසු සුරා බලපත්‍රයක්‌ සහිතව මත්පැන් අලෙවි කරන තැන් ඇති කරන්න ඕන. එහෙම නැත්නම් මත්පැන් සම්පූර්ණයෙන් තහනම් කරන්නත් පුළුවන්නෙ. දැන් මේක (කැසිනෝ) තියෙන්නෙ කසිප්පු වගේ. දැන් එය නියාමනය කිරීමේ ක්‍රියාවලියකටයි ප්‍රවේශ වෙලා තියෙන්නෙ. ඒකෙන් මේක ඉතාම සීමිත පිරිසකට සීමා වෙනව. කොටින්ම කියනවනම් මේක විදේශ සංචාරකයන්ට සීමා වෙනව. මම දකින්නේ අපේ අය තමයි මේවට යොමු වීමෙන් වළක්‌වා ගන්න ඕන. ඒ සඳහා රටේ පරිසරය හදා ගෙනයි තියෙන්නෙ. හැබැයි විදේශිකයන් ඇවිත් ඒ අය ගෙනාපු සල්ලිවලින් මෙහේ හෝටල්වලට ගෙවල, ඒ සල්ලි ටික අහිමි කරගෙන ගියාට අපට ප්‍රශ්නයක්‌ නැහැ. මෙහේ සල්ලි ටික ඉතුරුවෙනව, සංචාරකයා යනව. රටට අවශ්‍ය වන්නේ මනා නීතියක්‌. පවතින තත්ත්වය අනුව දැන් මේව හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි සුවිශේෂි වූ ප්‍රදේශවලට සීමා කරන්න කියලා කියන්නෙ. ඒ අනුව අනිත් ඒව වහන්න වෙනව.

ප්‍රශ්නය - එජාප රජය යටතේ සිටි පාස්‌කරලිංගම් සහ චරිත රත්වත්තේ මෙන් ඔබ මේ රජයේ ප්‍රබලම නිලධාරියෙක්‌. ඒ නිසා ඇමැතිවරු බොහෝ දෙනෙක්‌ ඔබ සමඟ අමනාප බව පැවසෙනවා. මේ ගැන ඔබේ විග්‍රහය මොකක්‌ද?

පිළිතුර- පාස්‌කරලිංගම් හෝ චරිත රත්වත්තේ හෝ මම හෝ වෙනත් පුද්ගලයෙක්‌ හෝ වේවා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, අමාත්‍ය මණ්‌ඩල ලේකම්වරයා හැරුණු විට හැම අමාත්‍යාංශයකටම දෛනිකව සම්බන්ධ වෙන එකම ලේකම්වරයායි. අමාත්‍ය මණ්‌ඩල ලේකම්වරයා සම්බන්ධ වෙන්නේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හෝ කැබිනට්‌ මණ්‌ඩලයට අදාළ කටයුතු සම්බන්ධයෙනුයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස අමාත්‍යාංශය වෙනුවෙන් සම්බන්ධ වෙන්නේ මුදල් පාර්ශ්වයට. බදු වෙන්න පුළුවන් රේගුවෙන් ගෙනාපු දේකට බදු සහනයක්‌ ගන්න වෙන්න පුළුවන්, එහිදී පවතින්නේ නීතියේ ප්‍රශ්න. මගේ ප්‍රශ්නයක්‌වත් කලින් සිටි ලේකම්වරුන්ගේ හෝ ප්‍රශ්නයක්‌ නොවෙයි.

අනිත් පැත්තෙන් ඊටත් වඩා වැදගත් වන්නේ හැම අමාත්‍යංශයකටම මුදල් දෙන එක. මුදල් දීමේදී ගැටලු ගණනාවක්‌ තියෙනව. එකක්‌ මුදල් අපට දිය හැක්‌කේ පාර්ලිමේන්තුව විසින් අපට අනුමත කරල දීල තියන ප්‍රතිපාදනවලට පමණයි. දෙවැනි කාරණය ඒ ප්‍රතිපාදනවල කිසියම් වෙනසක්‌ කළ හැක්‌කේ එනම් මාරු කිරීමක්‌ වගේ දෙයක්‌ කළ හැක්‌කේ මහා භාණ්‌ඩාගාර ලේකම්වරයාට වුණත් විසර්ජන පනතින් නියම කර ඇති විධිවිධාන යටතේයි. මෑත කාලයක්‌ වෙනතුරුම දුන්නනෙ විසර්ජන පනතින් මෙන්න මේ කොන්දේසි යටතේ විතරයි භාණ්‌ඩාගාර ලේකම්වරයාට වුණත් මුදල් මාරු කරන්න පුළුවන් කියල. එය අමාත්‍යාංශයකින්, අමාත්‍යාංශයකට භාණ්‌ඩාගාරයෙන් අමාත්‍යාංශයකට විය හැකියි. දැන් හදිසි ගංවතුරක්‌ ආවොත්, අනපේක්‌ෂිත වියදමක්‌ ආවොත් ඒ සඳහා විවිධ වියදම් සඳහා අපි ගාව තියන මුදල්වලින් දෙන්නත්, ඒ මුදල දාල පාර්ලිමේන්තුවට වාර්තා කරල ගැසට්‌ කරන්න ඕන. ඒක තනිකරම නිලධාරීන් වගකියන වැඩක්‌. අයවැය අධ්‍යක්‍ෂතුමිය නියෝජ්‍ය ලේකම්වරයා සහ මම අපි තනතුරු වශයෙන් වගකියන්න ඕන.

ඊට අමතරව දැන් අමාත්‍යාංශවලට මුදල් දෙනකොට පාර්ලිමේන්තුව අනුමත කළ වියදමක්‌ වුණත් ඒක වියදම් කරන්නෙ කිසියම් නීත්‍යානුකූල පටිපාටියකින්. අපට පුද්ගලික සමාගමකට වගේ මුදල් වියදම් කරන්න බෑ. සේවකයකු ගන්නව නම් බඳවා ගැනීමේ පටිපාටියක්‌ තියනව. අනුමත කාර්ය මණ්‌ඩලයක්‌ තියෙනව. ඒ උඩ සේවකයයි රජයයි අතර කිසියම් බැඳීමක්‌ ඇති කරනව. එවිට පඩි ගෙවීමේ ගැටලුවක්‌ නෑ.

දැන් කෙතරම් ප්‍රශ්න තිබුණත් රජයේ සේවකයන්ට පඩි ගෙවලා නෑ කියල චෝදනාවක්‌ නෑනෙ. පොලී ගෙවීම් නීතිරීති යටතේ පනත්වලින්ම ක්‍රියාත්මක වෙනව. ඒ අතර සමහර ගනුදෙනු තියෙනව ප්‍රසම්පාදන ක්‍රියාවලියක්‌ තිබෙන. ඒ ක්‍රියාවලිය කෙරිල ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ඇතිවූ ගිවිසුමක්‌ උඩ ඒ ගිවිසුමේ ප්‍රකාරව තමයි වියදම් කරන්න පුළුවන්. කෙතරම් පිළිවෙළට කළත් වියදම් කළමනාකරණයේදී මෙන්න මේ ගැටලු ඇති වෙනවා. අනිත් පැත්තෙන් මේ වියදම්වලට මුදල් සපයන්න සිද්ධ වෙන්නෙ රජයට ලැබෙන ආදායම් සහ රජයට ලබා ගත හැකි ණය මුදල්වල ප්‍රමාණයටනෙ. අපිට රු. 100 ක වියදම් තියෙනවනම් රු. 100 ක ආදායම් තියෙන්න ඕන. එනම් බදු බදු නොවන ආදායම්, ලාභාංශ සහ ණය යන මේ ලැබීම් සියල්ල සමාන වෙන්න ඕන ගෙවීම්වලට. සමහර විට අමාත්‍යාංශවලින් ඉල්ලන ගාන හරියටම නැහැ. එවිට ප්‍රමුඛතාව සලකන්න සිදු වෙනව.

ප්‍රශ්නය- ඇමැතිවරයෙකුට තම අමාත්‍යාංශයේ වැඩ කටයුතු වඩාත් ප්‍රමුඛයි. මේ ගැන ඔබ කියන්නේ මොකක්‌ද?

පිළිතුර- සාමාන්‍යයෙන් යම් අමාත්‍යාංශයක ඕනෑම ඇමැතිවරයෙක්‌ ආසයි තම අමාත්‍යාංශයට පැවරිලා තියන කාර්ය තමන්ගෙ කාර්යක්‍ෂමතාව අනුව ඉක්‌මනින්ම කරන්න. ඒක අදාළ ඇමැතිවරයාගෙ පැත්තෙන් සාධාරණයි. හැබැයි ඒ කාරණය අන්තිමට ර¹පවතින්නේ ක්‍රමවේදයට අනුවයි. ඇමැති කෙනෙක්‌ කිව්වත් රාජ්‍ය නිලධාරියාට ටෙන්ඩර් නැතුව කරන්න බෑනෙ. යථාර්ථය ඒකයි. මුදල් නිකුත් කිරීම ක්‍රමවේදයක්‌ අනුව තිබෙන නිසා ඒ අමාත්‍යාංශවලට තිබෙන මේ ඉක්‌මන එක පැත්තකින් තියෙන පීඩනයක්‌. අපේ පැත්තෙන් මේ ලැබීම්, ගෙවීම් ගැලපිල්ලෙත් පීඩනය අපට තියනව. අපිත් ඒකට මුහුණ දෙනව. එතකොට අමාත්‍යාංශයක්‌ හෝ වියදම් ඒකකයක්‌ ගත්තහම ඒ අයගෙ ප්‍රමුඛතාව ඒක පමණයි. දැන් අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තොත් එහි ප්‍රමුඛතා හදාගන්නෙ ඒ අය. මෙතනට ආවම අධ්‍යාපන, සෞඛ්‍ය වගේ ඒව රජයේ ප්‍රමුඛතා. හැබැයි තව දෙයක්‌ ඒ තරම්ම හදිසි හෝ ප්‍රමුඛ නොවෙන්න පුළුවන්. දැන් ආරක්‍ෂක අමාත්‍යාංශය ගත්තොත් යුද්ධය තියන කාලෙදි, ඒ තරම් වෙන කිසිම ප්‍රමුඛතාවක්‌ නෑ. එහෙම ප්‍රමුඛතා අනුව වියදම් ගැලපීමට සිදුවෙනව. තවමත් අපි කළමනාකරණය කරන්නෙ හිඟ අයවැයක්‌නෙ. රජයේ ආදායමට වියදම ගලපන්නත් වෙනව. අපට හිඟ තියන්නත් බෑ. ණය ගන්න පුළුවන් පාර්ලිමේන්තුව අනුමත කරන ප්‍රමාණය පමණයි. ඊළඟට මුදල් සැපයුම වැඩි කරන්නත් බෑ රටේ උද්ධමන ඉලක්‌කයක්‌ තියෙනව. ඒ වගේම අයවැය ඉලක්‌ක තියෙනව. එහෙම වුණහම සමහර අය හිතන්න පුළුවන් මේ මනුස්‌සය මුකුත් කරන්න දෙන්නෙ නැහැ, මෙයා හරි ප්‍රබලයි අරව මේව. නමුත් මම නම් දකින්නෙ මේක මේ තනතුරට අදාළ තත්ත්වයක්‌ ලෙසයි. මම නෙවෙයි, ඔබ ආවත්, කොයි රජය යටතේ මුදල් ලේකම්වරයෙක්‌ ආවත් පළමු වසර ගිය හැටියෙ ඒ ලේකම්වරයා බලවතෙක්‌ කියල හිතෙන්න පුළුවන්. නමුත් මම එහෙම දකින්නෙ නැහැ. හේතුව ඇමැතිවරු ලේකම්වරුන්ට උඩින් ඉන්නෙ. ඇමැතිවරු තමයි ජනාධිපතිතුමා සමග ආණ්‌ඩුව කියන්නෙ. මගේ අදහසේ හැටියට ඒ අනුව සාමුහික වගකීමකට බැඳිල ඉන්නව. හැම සතියෙම අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමක්‌ තියෙන්නෙ අමාත්‍ය මණ්‌ඩලය වශයෙන් ගතයුතු තීන්දු ගන්නයි. නීතිමය වශයෙන් වලංගුත් එහෙමයි. ඊළඟට ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරගන්න ඇමැතිවරයාට වැඩිය බලයක්‌ අවශ්‍ය නිසා තමයි සාමුහික වගකීමක්‌ තියෙන්නෙ.

මහා භාණ්‌ඩාගාරය කියන්නෙ මම සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් 17 දෙනෙක්‌. ඒ අයට තියන බලයක්‌ මිස මේක මගේ තනි බලයක්‌ නෙවෙයි. එහෙමයි මේක සකස්‌ වෙලා තියෙන්නෙ. මම හිතන්නෙ නැහැ මම එහෙම ප්‍රබල චරිතයක්‌ කියල. සාමාන්‍ය ජීවිතමයි මම ගත කරන්නෙ. මම මේකට ආපු විදිහටම තමයි මම ආපසු මේකෙන් යන්නෙත්. හැබැයි අවංකව ආණ්‌ඩුවෙ විශ්වාසය තියෙනකම් ඒ වගකීම හරිහැටි ඉටු කරනව. ඒක තමයි මම කරන්නෙ.

ප්‍රශ්නය - ලේකම්තුමනි, විමල් වීරවංශ ඇමැතිවරයා සමඟ තිබෙන ප්‍රශ්නයත්, ඔබ තුමා ඔය කියන භාණ්‌ඩාගාර ලේකම් ධුරයේ තිබෙන වගකීම් හා ස්‌වභාවය අනුව මතුවූවක්‌ද?

පිළිතුර - ඔව්. මට කිසිම ප්‍රශ්නයක්‌ නෑ. විමල් වීරවංශ ඇමැතිතුමා එක්‌ක හෝ මට දොස්‌ කියන වෙනත් අය සමග. මොකද මම දන්නව ලේකම්වරයෙකුගේ වගකීම. අපි සෑහෙන වයසක්‌ ගිහින් විවිධ ආණ්‌ඩු යටතේ වැඩකරලා, වැඩ කිරීම තුළින්නෙ අත්දැකීම් ලබන්නේ. මේව පොතපත කියවල නෙවෙයිනෙ ඉගෙන ගත්තෙ. ඒ මිස මට කිසිම ප්‍රශ්නයක්‌ නෑ. නමුත් මමත් දකින හැටියට ලේකම්වරයෙකුට, මටම නොවෙයි, එතුමාගේ ලේකම්වරයෙකුටවත්, වෙන ලේකම්වරයෙකුටවත් එහෙම ප්‍රසිද්ධියේa අපහාස කරන එක වැරදියි. මොකද එතුමා හෝ වෙන කවුරු හෝ විශ්වාස කරනව නම් මම මේ රටේ ආර්ථිකයට හානියක්‌ කරන්නෙ කියලා, ඒක එතුමා ජනාධිපතිතුමාට කතා කරල, ඇමැති මණ්‌ඩලයේ අවධානය යොමු කරලා මාව අයින් කරන එකනෙ කරන්න ඕන.

ප්‍රශ්නය - නමුත් ඔහු ඔබව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමයි කරන්නේ?

පිළිතුර - මටත් ආත්ම ගෞරවයක්‌ තියෙනවා. මටත් පවුලක්‌ තියෙනවා. පවුලේ ඥාතීන් ඉන්නවා. අපටත් යම්කිසි සමාජ ගෞරවයක්‌ තියෙනවා. අපි හොරකම් කරලා නැහැ. අපි වැරදි කරල නැහැ. එතකොට ඒ සමාජ ගෞරවය පමණක්‌ නොවෙයි අපි රජයේ නිලධාරීන් වුණහම, ඒ තනතුරේ ගෞරවයකුත් තියෙනවනෙ. දැන් මම හොඳ නැත්නම් තනතුරටයි හොඳ නැත්තෙ මට නොවෙයි. එතකෙට තනතුරේ ගෞරවය ආරක්‌ෂා කිරීමයි රජයේ ගෞරවය. එතුමා ඇමැතිවරයෙක්‌ ලෙස මිසක්‌ විමල් වීරවංශ හැටියට නෙවෙයිනෙ අපි ගරු කරන්නෙ. මට පී. බී. ජයසුන්දර ලෙස කවුරුත් ගරු කරන්නෙ නැතුව වෙන්න පුළුවන්. හැබැයි තනතුරකින් අවධානමක්‌ තියෙනවනෙ, අපි දරන වගකීම් එක්‌ක. ඉතිං මම දකින්නේ ප්‍රසිද්ධියේ අපහාස කරන එකá දැන් ඒවා ටීවීවල එහෙම දානවා. ඒව දැක්‌කහම අපිට වැඩ කරන්නෙ හිතෙන්නෙ නෑනෙ. ඒ නිසා මම නම් ජනාධිපතිතුමාටම දැන්නුවා. ජනාධිපති ලේකම්තුමාටත් කිව්ව. මම එපා නම් මෙහෙම රැස්‌වීම්වල අපහාස කරල හරියන්නෙ නැහැ. ජනාධිපතිතුමාට කියල රජයේ මතයක්‌ හදලාá ඒ අය ජනමතය හදන අයනෙ. ආණ්‌ඩුවට ජනමතයක්‌ හදන අයට පුළුවන් මේ ලේකම් එක්‌ක අපිට බෑá මේ ලේකම් රජයට හරි නෑá හේතුව ඔහු රජයේ ප්‍රතිපත්තිවලට විරුද්ධයිá අනිත් අතට ආර්ථිකය විනාශ කරනවා කියන්න. ඉතිං එහෙම කිව්වම අපිට ඇමැතිරවයෙක්‌ නිසා පිළිතුරු දෙන්නත් බෑනෙ. එතුමා ඇමැතිවරයෙක්‌ නොවුණ නම් මටත් පිළිතුරු දෙන්න පුළුවන්. හැබැයි මට ඒක කරන්න බෑ.

ප්‍රශ්නය - ඔබතුමා රාජ්‍ය නිලධාරියෙක්‌ ලෙස ඒක කරන්න බෑ...?

පිළිතුර - රාජ්‍ය නිලධාරියෙක්‌ හැටියට මගෙ පැවැත්මේ හැටියට. අනික උඩ බලල කෙල ගහන්න බෑනෙ මට. නේද?....... මොකද රජයක්‌ හැටියටනෙ මේක ආරක්‌ෂා කරන්නෙ. දැන් මම දරන මතය සමහර දේ සම්බන්ධයෙන් වෙනස්‌ වෙන්න පුළුවන් රජයේ ප්‍රතිපත්තිය එක්‌ක. හැබැයි මම මෙතනට ඇවිත් තියෙන්නේ මගේ මතය කරන්නම නෙවෙයිනෙ. මට රජයෙන් පඩි ගෙවල ජනාධිපතිවරයා විශ්වාසයක්‌ ඇතිව මාව පත්කරලා තියෙන්නේ ඒ කාර්යය කරන්න. ඒ කාර්යය කළේ නැත්නම් අපට විරුද්ධව විනයානුකූල පියවර ගන්න පුළුවන්. ඒ නිසා මම ජනාධිපතිතුමාටත් කිව්ව. ජනාධිපති ලේකම්තුමාට සහ කැබිනට්‌ ලේකම්තුමාටත් මේ ගැන කිව්වා.

දැන් අපි අයවැයක්‌ වර්ෂයකට හදනවා. එතකොට ඒ වර්ෂය තුළ ඒක කරන්න යනව මිසක්‌ ඊට පස්‌සෙ ආයි වෙන ව්‍යාපෘතියක්‌ දැක්‌කම කොහෙන්ද සල්ලි හොයන්නෙ. එහෙනම් කියන්න ඕන අයවැය හදනකොට මෙහෙම කරාට, දැන් අපිට ඊට වඩා ප්‍රමුඛතා මතුවෙලා තියෙන හින්ද, මේක ලබන වසරට දාල එය දැන් කරන්න අවශ්‍යHs කියලා. එහෙම යෝජනාවක්‌ එනවනම් මිස නැත්නම් අයවැය හදන එකේ තේරුමක්‌ නෑ. පාර්ලිමේන්තුවේ මුදල් වගකීමේ තේරුමක්‌ නෑ. මේවට මුදල් දෙන අයට ඒ වගකීම ඉෂ්ට කරන්න බෑ. එවැනි ගැටලු ඇතිවීම නිසා මම දකින්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉතාම දුෂ්කර කර්තව්‍යයක්‌ ලෙසයි. ඒ කර්තව්‍ය ඉෂ්ට කරද්දි අපට කිසිවෙක්‌ සමඟ පුද්ගලිකව ගැටළුවක්‌ නෙවෙයි මේ. ඒ නිසා මම හිතන්නෙ නෑ විමල් වීරවංශ ඇමැතිතුමත්, එතුමා හිතාමතාම මට ඒක කළා කියලා.

ප්‍රශ්නය - නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාත් ඔබ සමඟ එතරම් හිත හොඳ නැති බව පැවසෙනවා එය සත්‍යයක්‌ද?

පිළිතුර - නෑ. ඒව කියනවා. මට ඕව ඇවිල්ල කියනවා. වටපිටාවෙන් කියනවා. දැන් ඒක සාධාරණීකරණය කරගන්න ඔන්න එක්‌කො නාමල් මන්ත්‍රීතුමාගේ නම කියනවා. දැන් නාමල් මන්ත්‍රිතුමාට විමල් වීරවංශ ඇමැතිවරයා එක්‌ක එකතු වෙන්න ඕනද? නාමල් මන්ත්‍රීතුමාට කෙළින්ම ජනාධිපතිතුමාට කිව්වම තාත්තෙ මෙයා තියාගෙන ඉන්න එපා ආණ්‌ඩුවට හොඳ නෑ කියලා. එහෙම කිව්වම ජනාධිපතිතුමා දරුවා කියන එක අහනවනෙ විමල් වීරවංශ ඇමැතිතුමා කියනවට වඩා ඔහුත් දැන් මන්ත්‍රී කෙනෙක්‌නෙ. එයත් රටේ තරුණ නායකත්වයක්‌ දරන පුද්ගලයෙක්‌. ඊටමත් වැඩිය ගෙදරදි කියනවනෙ. ඒ නිසා ඒ අර නාමල් මන්ත්‍රීතුමාගෙ නම පාවිච්චි කිරීමක්‌. එක වෙලාවක ආරක්‌ෂක ලේකම්තුමාගෙ නම කියල කියනව. මේගොල්ල ඉන්නකං කරන්න බෑ කියලා. වෙලාවක බැසිල් ඇමැතිතුමාගෙ නම කියනව මම බැසිල් ඇමැතිතුමා එක්‌ක වැඩකරන නිසා. මම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙත් ඉන්නවනෙ. සමහරු මම බැසිල් ඇමැතිතුමාගෙ කණ්‌ඩායමේ කියනවා.

දැන් මම ගමක මිනිහෙක්‌නෙ. එතකොට අපේ ගම්වල පවා කෙටවිලි, එක කෙක්‌නාගෙ නම් පාවිච්චි කිරීම් තියෙනවා. ඒ වගේ ජනාධිපතිතුමාගේ නම කියනවා. නාමල් මන්ත්‍රීතුමාගෙ නම කියනවා. ඝෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම කියනවා. බැසිල් ඇමැතිතුමාගේ නම කියනවා. දැං මම ජනාධිපතිතුමාව උදේ හවා හමුවෙන කෙනෙක්‌. අපි මෝඩයො නොවෙයිනෙ. අපිට වැඩ කරනකොට තේරෙනවනෙ. මේකෙ පිටුපස්‌සෙ ජනාධිපතිතුමා ඉන්නවද කියලා. එතකොට බැසිල් ඇමැතිතුමා මම උදේ හවහ හමුවෙන මගේ අමාත්‍යාංශයේ ඇමැතිවරයා. ඒ ඇමැතිතුමාට මම උපදේශයක්‌ දෙනවිට ඒකට හා කියල ඇමැතිතුමා වෙන එකක්‌ කරන්න හේතුවක්‌ නෑනෙ. හැබැයි අර මතයක්‌ ඇති කරන්න හදනව රාජපක්‍ෂ පවුලේ අය අතර අවුලක්‌ කියලා. මම දකින්නෙ ඒක ඉතාම අසාධාරණ එකක්‌. හේතුව එය හොඳ සහෝදරත්වයෙන්, පවුල් වටිනාකමින් සංස්‌කෘතික දේවල්වලින්, ගෞවරයෙන් සකස්‌ වූ එකක්‌. එම පවුලේ සහෝදරකම්, ඥාතිකම්, දූ දරුකම් හොඳට තියෙනවා. ඒක හොඳ ලක්‌ෂණයක්‌. ඒ නිසා මම දකින්නෙ නෑ එහෙම නාමල් මන්ත්‍රීතුමාවත් වෙන කවුරුවත් ඕක පිටුපස්‌සෙ ඉන්නව කියලා.

සාකච්ඡා කළේ -
ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඡායා - ජූඩ් ඩෙනසිල් පතිරාජ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.