'කොළරා කාලේ ආලේ' සමග ආ මිනිසා සමඟ

* ලෝක සාහිත්‍යයේ දියුණුවත් එක්‌ක බැලුවහම
අපේ සාහිත්‍ය දියුණුවෙලා නෑ
*අසමානත්වය අවම කරන සමාජයක්‌
ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුළත් ඇතිකරන්න පුළුවන්
*ප්‍රබල සමාජ සාධක හරහා හොඳ නිර්මාණයක්‌
තවමත් අපි අතර බිහිවෙලා නෑ

ගාබ්රියෙල් මාකේස්‌ගේ "කොළරා කාලේ ආලේ" කියෑවූ කෙනකුට එහි පරිවර්තකයා වූ ගාමිණී වියන්ගොඩ ද "කොළරා කාලේ ආලේ" තරමටම මතකයෙහි රැඳෙනු බැව් නිසැකය. ලාංකීය පරිවර්තන කලාවේ නව මානයන් හඳුන්වා දුන් මේ පරිවර්තක ලේඛකයා මේ වන විට පරිවර්තන කෘති 27 ක්‌ ලාංකීය පාඨකයා වෙත ප්‍රදානය කර ඇත. ඒ සෑම පරිවර්තනයක්‌ම පාඨකයා උසස්‌ වින්දනාත්මක තලයකට ගෙන යනු ලැබූ අතර ඒ නිසාම ගාමිණී වියන්ගොඩ ලාංකීය සාහිත්‍ය කලාවේ කීර්තිමත් ප්‍රබල නමක්‌ බවටද පත්වී ඇත.

මේ ඔහු සමග කරන ලද දීර්ඝ පිළිසඳරකින් ස්‌වල්පයකි.

ඔබ ප්‍රධාන වශයෙන් පරිවර්තන කාර්යයට තෝරා ගත්තේ ලතින් ඇමරිකානු සාහිත්‍යයයි. ඊට විශේෂ හේතුවක්‌ තියෙනවද?

අපේ සාහිත්‍යයට පරිවර්තන ගලා ආ ප්‍රධාන ධාරා තුනක්‌ තිබුණා. රුසියානු ඉංග්‍රීසි, ප්‍රංශ සාහිත්‍ය ධාරා. ඊට අමතරව අප්‍රිකානු සාහිත්‍යයේ ගලා ඒමකුත් තිබුණා. ලතින් ඇමරිකානු සාහිත්‍ය කොහෙත්ම ලංකාව ස්‌පර්ශ කරල තිබුණෙ නෑ. මම ලතින් ඇමරිකානු සාහිත්‍ය ඇසුර වැටුණෙ අහම්බෙන් වගේ. මම 1980 වගේ කාලෙදි ඉස්‌සෙල්ලම ස්‌පාඤ්ඤයට ගියේ. ලතින් ඇමරිකානු කලාපයේ (බ්‍රසීලය හැරුණුවිට) මව් භාෂාව ස්‌පාඤ්ඤ. ස්‌පාඤ්ඤයේදී ඉංග්‍රීසියට නැගී තිබුණු මාකේස්‌ වගේ අයගේ පොත් කියවන්න ලැබුණා. ඒ නවකතා නිර්මාණ ඉතාම තදින් මගේ හිතට වැදුණ. අප මෙතෙක්‌ කියවා තිබුණු ඉංග්‍රීසි, රුසියානු, අප්‍රිකානු සාහිත්‍යයට වඩා ලතින් ඇමරිකානු සාහිත්‍යයේ අමුත්තක්‌ මට දැනුණා. එතකොට තමයි මට හිතුනෙ මුලින්ම පරිවර්තනය කරන්න.

මීට අමතරව ලතින් ඇමරිකානු කලාපයේ අපේ රට සමාන සංස්‌කෘතික අත්දැකීම් තියෙනවා. ජන ගී, ජනකවි, බලිතොවිල් වගේ මායාවී දේවල් ලතින් ඇමරිකානු ජන ජීවිතයෙත් තිබුණ. ඉන්ද්‍රජාලික ස්‌වරූපය අපේ ජාතක කතාවලත් තියෙනවනෙ. ලතින් ඇමරිකානු ලේඛකයො ඒ ජන සංස්‌කෘතීන්වල මායා ස්‌වරූපයත් රැගෙනයි ඔවුන් නිර්මාණ කළේ.

ඔවුන් තේරුම් අරං තිබුණු දෙයක්‌ තමයි මනුෂ්‍යයා විග්‍රහ කිරීම සම්භාව්‍ය යථාර්ථයෙන් පමණක්‌ කරන්න බැහැයි කියන එක. ඒ සඳහා ඔවුන් අධි යථාර්ථවාදය භාවිතා කළා. අන්න ඒ සාහිත්‍ය විධි ක්‍රමය විශේෂිත එකක්‌. මම ඒකට ප්‍රිය කළා. ඒ නව්‍ය ස්‌වරූපය ලාංකීය පාඨකයාට හඳුන්වා දීමේ වුවමනාවකුත් මට ඇති වුණා.

ඔබේ එක නවකතාවක පෙරවදනෙහි ලියා තිබුණෙ සිංහල පාඨකයා දියුණු පාඨකයෙක්‌ කියල. සැබවින්ම එහෙමද?

ඒක මෙහෙමයි. උම්බර්තෝ එකෝ කියන ලේඛකයා දාර්ශනිකයෙක්‌. ඉතිහාසඥයෙක්‌. සාහිත්‍ය විචාරකයෙක්‌ සහ නිර්මාණකාරයෙක්‌. ඔහු ඔයෑ භ්පැ දෙ Rදිe නමින් නවකතාවක්‌ ලිව්වා. ඒක සිංහල පාඨකයන්ට සමීප වුණේ නෑ. ඒකට හේතුව සිංහල පාඨකයාගේ නොදියුණුකම නෙමෙයි. අර ලේඛකයාගේ අත්දැකීම අපේ පාඨකයාට ආගන්තුක වීමයි. ලෝකය අලුත් වෙනවා. ලේඛකයන්ගේ රචනා අලුත් වෙනව. හිට්‌ලර් ගෑස්‌ කාමරවල දාල මිනිස්‌සු මැරුව. මුලින්ම සිංහල පාඨකයාට ගෑස්‌ කාමර නුහුරු දෙයක්‌ වුණා. නමුත් ගෑස්‌ කාමර ඝාතන ගැන කියවලම සිංහල පාඨකයට දැන් එය ආගන්තුක නෑ. ඒ නිසා ආගන්තුක අත්දැකීම් සහිත කතා කියවීමෙන්ම සිංහල පාඨකයාගේ අනුභූතික විෂය පථය පුළුල් වෙනවා.

අපි මෙහෙම උදාහරණයක්‌ ගනිමු. සම ලිංගිකත්වය ගැන ආදර කතා බටහිර සාහිත්‍යයේ තියෙනව. ලියෑවෙනව. ඒව බටහිර ලෝකයට සාමාන්‍යයයි. නමුත් අපේ රටට හරිම ආගන්තුකයි. අපේ රටෙත් සමලිංගික ජීවිත තිබෙනවා. හැබැයි බටහිර සමාජෙ වගේ විවෘත නැහැ. අන්න ඒ විවෘත මනස අපේ සමාජයට පුරුදු කළ යුතුයි. සමලිංගිකත්වය නෙමෙයි, සමලිංගික ජීවිත අපේ වටපිටාවෙ කොටසක්‌ කියල භාරගන්න අපේ සමාජය පුරුදු වෙන්න ඕන. ඒ කාරණාවෙදි සාහිත්‍යයෙන් විශාල බලපෑමක්‌ කරන්න පුළුවන්. එවිටයි පාඨකයාගේ අත්දැකීම් පරාසය පුළුල් වෙන්නෙ.

ඉසබෙල් අයියන්දේ ලතින් ඇමරිකානු නියෝජනයකින් ලිව්වට දැන් එයා ඉන්නෙ ඇමරිකන් පුරවැසියෙක්‌ විදියට. ධනවාදී රටාවක ගිලුණු ඇගෙන් හොඳ සාහිත්‍යයක්‌ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

පළමු කාරණාව තමයි ඉසබෙල් අයියන්දේ පැරැණි අර්ථයෙන් සමාජවාදී ලේකාවක්‌ නෙමෙයි. ධනවාදී ඇමරිකාවේ ඒ අර්ථ ක්‍රමයට දේශපාලන ක්‍රමයට එරෙහිව ලියන ලේඛකයො ඉන්නව. ඉසබෙල් අයියන්දෙගෙ මූලික ප්‍රතිපත්තිත් කීපයක්‌ තිබුණ. ස්‌ත්‍රියට සමතැන සමාජ සාධාරණත්වය වගේ දේවල් මූලික කොටගෙනයි ඇය ලියන්නෙ. ඇය ඉන්නෙ සමාජවාදී වේදිකාවක නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් මනුෂ්‍යයා වඩාත් හොඳ තැනකට රැගෙන යැමේ ලේඛනයක ඇය යෙදී ඉන්නවා. අනිත් අතට ඇය ලෝකය, සාහිත්‍යය පෝෂණය කරන සම්භාව්‍ය වගේම නූතන ශ්‍රේෂ්ඨ නවකතා ලියලා තියෙන්නෙත් ධනවාදී සමාජවල ඉඳගෙනයි.

ඔබ කියන අයියන්දෙලා, මාකේස්‌ලා දැන් පවතින ධනවාදය තුළ පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදය හොයන අයද?

ධනවාදය කියන්නෙ ආර්ථික ක්‍රමයක්‌. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ දේශපාලන ක්‍රමයක්‌. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ සමානාත්මවාදයක්‌. සියලු පුද්ගලයන්ට සමානව සැලකීමක්‌ ප්‍රජාතන්ත්‍රවාදය තුළ තිබිය යුතු ලක්‌ෂණයක්‌. මනෝරාජික සමාජවාදී සමාජයක්‌ අදහන්නෙත් සමාන බව. මනෝරාජික සමාජවාදී සමාජය තුළ වෛද්‍යවරයාත්, කම්කරුවාත් සමාන වැටුප් ලබන්නෙක්‌ විය යුතුයි. එහෙම සමාජයක්‌ පවතින්නෙ නෑ. වැටුප සමාන නම් වෛද්‍යවරයෙක්‌ අසීරු සැත්කම් කරමින් මහන්සි වන්නේ කුමටද? ඊට වඩා ලේසියි කම්කරු වෘත්තියේ යෙදෙන එක. එවිට සිදු වන්නේ වෛද්‍යවරුන්ගේ හිඟයක්‌ ඇතිවන එක. ඒ සමාජවාදය මනෝරාජික එකක්‌.

නමුත් අසමානත්වය අවම කරන සමාජයක්‌ නිර්මාණය කිරීම ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුළත් කරන්න පුළුවන්. ධනපති සමාජය තුළ නිෂ්පාදනය ඉහළට ගිහින් අතිරික්‌තයක්‌ ඇති වෙන්න පුළුවන්. අපි හතර දෙනෙක්‌ ඉන්න තැන තියෙන්නෙ එක බත් පාර්සලයක්‌ නම් ඒක හතර දෙනාට බෙදන්න ගියොත් හතර දෙනාම ඉන්නෙ බඩගින්නෙ. එක වෙරළු ගෙඩිය හතකට කපා කෑ සිංදු සුන්දර බව ඇත්ත. හොඳයි බත් පාර්සල් පහක්‌ තියෙනවයි කියල හිතමු. මම දෙකක්‌ ගන්නව. ඔයා තුනක්‌ ගන්නව. එතැනත් අසාධාරණයක්‌ තියෙනව. මොකද අනිත් දෙන්න එතකොට බඩගින්නෙ සමාජවාදයකට යනව නම් යන්න ඕන. ධනපති ක්‍රමයෙ සමෘද්ධියේ ඉහළ මට්‌ටමකට ළඟා වීමෙන් පසුවයි. එවැනි සමෘද්ධියකින් තොර සමාජයක සමානව යෙදීම තුළ ගැටළු පැන නගිනවා. ධනපති සමාජය සමෘද්ධිමත්ව නිෂ්පාදනය කරන කොට තමයි ප්‍රශ්නයකින් තොරව සමාන බෙදා හරින්න පුළුවන් වෙන්නෙ. එහෙම නැතිවුණාම සලාක ක්‍රමයට ගන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සීමා පටු වෙනවා. අවශ්‍යතා සම්පූර්ණ වෙන්නෙ නෑ. එතකොට අරගල ඇති වෙනවා. එතකොට මර්දනය කරන්න වෙනව.

ධනපති ක්‍රමයට අවුරුදු 500 ක්‌ විතර වෙනව. ධනපති ක්‍රමය ඉක්‌මණින් කඩා වැටෙන එකක්‌ නෙමෙයි. ධනපති ක්‍රමය කියන්නෙ වැඩවසම් ක්‍රමය හා බලද්දී දියුණු සංස්‌කෘතියක්‌. අපේ රටේ තියෙන්නෙ දියුණු ධනපති ක්‍රමයක්‌ නෙමෙයි. පාදඩ ධනපති ක්‍රමයක්‌. කොල්ලකෑමක්‌. දියුණු ධනපති ක්‍රමය රටකට හොඳයි. දියුණු ධනපති ක්‍රමය තුළ නියම ජනතා ස්‌වෛරීත්වය නියොජනය කරන පාර්ලිමේන්තුවක්‌ තියෙනව. මානව අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් තියෙනව. ආර්ථික අවශ්‍යතා ප්‍රශස්‌ථව පිරිමැහෙනව. හිඟන්නොත් ඉන්න පුළුවන්. එකපාරට හිඟන්නො නැති කරන්න බෑ. ඒ වගේම ධනපති ක්‍රමය තුළ දියුණු සංස්‌කෘතියක්‌ තියෙනව.

නමුත් අපේ රටේ ධනපති ක්‍රමය තුළ ඒ ලක්‌ෂණ නෑ. දියුණු සංස්‌කෘතියක්‌ කියන්නෙ පොත්පත් සාහිත්‍ය සංස්‌කෘතිය පමණක්‌ නෙමෙයි. දියුණු දේශපාලන සංස්‌කෘතියකුත් තිබිය යුතුයි. අද අපෙන් ඡන්දෙ අරං පත්වෙන මන්ත්‍රී හෙට වෙන පක්‌ෂයකට ගිහින් වාඩිවෙනව නම් ඒක දියුණු දේශපාලන සංස්‌කෘතියක ලක්‌ෂණයක්‌ නෙමෙයි. ධනපති ක්‍රමය තුළ හොරු මහා පරිමාණ වංචාකාරයො ඉන්නවා. හැබැයි දියුණු ධනපති ක්‍රමය තුළ හොරා අල්ලල හිරේ දමනව. අපේ දේශපාලන සංස්‌කෘතිය තුළ හොරා නිදහස්‌ කරනව. අපට ධනපති ප්‍රජාතන්ත්‍රවාදය ඇවිල්ල තියෙන්නෙ දියුණු දේශපාලන සංස්‌කෘතියක්‌ සමග නෙමෙයි. අපේ තියෙන්නෙ විකෘති පුද්ගලයන් මෙහෙයවන විකෘති වී ගිය ධනපති ප්‍රජාතන්ත්‍රවාදයක්‌.

ඔබේ පිළිගැනීම අනුව අපේ වර්තමාන සාහිත්‍ය දියුණු මට්‌ටමක තියෙනවද? වික්‍රමසිංහලා, සරච්චන්ද්‍රලා දියුණු කළ සාහිත්‍යය දැන් කම්මැල්ලවීරලා, සුමිත්‍රලා, සුනේත්‍රලා අත තිබෙන්නෙ. ඔවුන්ගේ කාර්යභාරය ගැන සෑහීමකට පත්වෙනවද?

නවසිය තිස්‌ හතළිස්‌ ගණන්වල සාහිත්‍යය එක්‌ක බලද්දි අද අපේ සාහිත්‍යය බොහෝ දියුණුවෙලා තියෙනව. සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේනල ඒක හුඟාක්‌ ඉස්‌සරහට ගෙන ගියා. නමුත් මේක ප්‍රමාණවත්ද කියන එකයි ප්‍රශ්නෙ. මේක අනිත් පැතිවලින් අපි ලබල තියෙන ජයග්‍රහණවලට සමානුපාතික නෑ. මතුපිට උදාහරණයක්‌ ගනිමු. ටෙලිෙdaන්, මොබයිල්, ස්‌කයිප්, රේඩියෝ, රූපවාහිනී ආදී භෞතික වශයෙන් අපි ලොකු දියුණුවක්‌ ලබල තියෙනව. මේක අපි ලබපු දියුණුවක්‌ නෙමෙයි. මේක ලෝකය ලබපු දියුණුව අපට කාන්දුවීමක්‌. නමුත් ලෝක සාහිත්‍යයේ දියුණුවත් එක්‌ක බැලුවහම අපේ සාහිත්‍ය දියුණුවෙලා නෑ.

රටක සාහිත්‍ය දියුණු වෙන්න නම් නිර්මාණ ආවේශයෙන් යුතු සාහිත්‍යකරුවනුත් සිටිය යුතුයි. ඒ නිර්මාණ ආවේශය මතු වෙන්නෙ සමාජ ආවේශය තුළින්. උදාහරණයකට 71 කැරැල්ල, 89 කැරැල්ල ගනිමු. උතුරේ යුද්ධය ගනිමු. මේ ප්‍රබල සමාජ සාධක හරහා හොඳ නිර්මාණයක්‌ තවමත් අපි අතර බිහිවෙලා නෑ. සාහිත්‍යකරුවා සමාජයට වඩා හුඟක්‌ ඉදිරියෙන් ඉන්න ඕන කෙනෙක්‌.

වික්‌ටර් හියුගෝ 20 වැනි ශත වර්ෂයේ සිදුවන දැ කලින් දැක ලියූ කෙනෙක්‌. නමුත් අපේ ලේඛකයො ඉන්නෙ පිටිපස්‌සෙන්. අපේ ලේඛකයන් තියෙන වටපිටාව පමණක්‌ පරිහරණය කරමින් ලියන්නෙ. ඔවුන් අපෙන් පිටස්‌තර අත්දැකීම් උකහා ගන්න අසමත් බවක්‌ දක්‌වනව. අපේ ලේඛයාගේ අත්දැකීම් මේ කුඩා දිවයිනට පමණක්‌ සීමාවෙලා. අප්‍රිකාවෙ, ලතින් ඇමරිකාවෙ සිදුවූ සිදුවුණු සමාජ ආර්ථික විපර්යාසයන් ඔහු අධ්‍යයනය කොට සිටියා නම් ඔහුට මෙහි ලබන අත්දැකීම් ලියන විට අර දැනුමින් විශාල ප්‍රයෝජනයක්‌ ගත හැකියි. එවිට ඔහුගේ නිර්මාණය තවත් උත්කෘෂ්ට වෙනවා.

ඝාතනය ලොව කොතැනක සිදු වුවත් එකයි. මනුෂ්‍යයාගේ ස්‌වභාවය ලොව කොතැන මනුෂ්‍යයාගේ වුවද එකයි. කුඩා දිවයින තුළ කුඩා අත්දැකීම විශාල පැතිරුණු එක්‌ක බවට පත්කර ගන්න පුළුවන් වෙන්නෙ විශ්ව අත්දැකීම් තිබෙනවා නම් තමයි.

ඔබ අපට සිටින වටිනා පරිවර්තකයෙක්‌. ඔබේ ලේඛන ජීවිතය පරිවර්තන කලාවට ගැට ගැහුණෙ කොහොමද?

මුලින්ම මම "දිවයින" පුවත්පතට පරිවර්තන කළා. බදාදා අතිරේකයට පලස්‌තීන විමුක්‌ති අරගලය පිළිබඳව ලිව්වා. ඉට පස්‌සෙ චාල්ස්‌ ඩිගෝල්ගේ ජීවිත කතාව ලිව්ව. මට හිතුණා මේක නිරර්ථකයි කියල. කෙටිකතා පරිවර්තනය කළා. ඊට පස්‌සෙයි මම ලතින් ඇමරිකානු සාහිත්‍යය පරිවර්තනය කරන්න පටන් ගත්තෙ. එතෙන්දිත් මට මුලින් හිතුණ මේ පරිවර්තන ජනතාව අතරට යන්නෙ නෑ කියල.

නමුත් නොසිතූ තැන්වලින් ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්ත. ඈත පළාත්වලින් පාඨකයො ලියුම් එව්වා. අසනීපෙකට මම විශේෂඥ වෛද්‍යවරියක්‌ ළඟට ගියා. ඇය පුරුදු පරිදි මගේ නම ඇහුවා. මගේ නම අහපු ගමන් ඈ කතා කළේ "කොළරා කලේ" පොත ගැන. මා නොසිතූ අය මගේ පරිවර්තන කියවන බව මට දැනුණෙ එදා. විශාල තරුණ පිරිසක්‌ මගේ පරිවර්තන කියවන බව දැනෙන්න පටන් ගත්තා. ඒ නිසා මට හිතුණා මේ කාර්යය නිරර්ථක නැහැ කියල. මම මුලින්ම වැඩකළේ ගුරුවරයෙක්‌ විදියට 1980 ජූලි වර්ජනයට සම්බන්ධ වුණු නිසා මගේ රැකියාව නැතිවුණා. ඉන් පස්‌සෙයි ස්‌පාඤ්ඤයට ගියේ. ලතින් ඇමරිකානු සාහිත්‍යය ඇසුරට වැටුණු නිසාම තමයි මම පරිවර්තකයෙක්‌ වුණේ.

"කොළරා කාලේ ආලේට" මේ තරම් අපේ පාඨකයා ආකර්ෂණීය වූයේ ඇයිද යන්න ගැන ඔබ මොකද හිතන්නෙ?

ලෝකයේ සියලු මනුෂ්‍යයන්ට පොදු ගුණාංග කිහිපයක්‌ තියෙනවා. වෛරය, ඊර්ෂ්‍යාව, තරගය, ආදරය වගේ දේවල්. ආදරය එයින් එකක්‌. ආදරය ගැන අපේ ලේඛකයන් කොයි තරමක්‌ ලියල තියෙනවද? අපි කරුණාසේන ජයලත්ගෙ ඉඳල ආදරේ කියවල තියෙනව. ඒ නව යොවුන් ආදරය. මේකෙ තියෙන්නෙ වයස අසූවෙ ගෑනියෙකුගෙයි, මිනිහෙකුගෙයි ආදරයක්‌. මාකේස්‌ මේ ආදරයේ අලුත් මානයක්‌ දැක්‌ක. අන්න ඒ අපූර්ව දැකීම දකින්න පුළුවන් නම් එයා අපූර්ව නිර්මාණකාරයෙක්‌. එවැනි නිර්මාණශීලීන් අපට නැතුවා නෙමෙයි. නිශ්ශංක විෙ-මාන්න වගේ කෙටිකතාකරුවො සුමිත්‍රා, සුනේත්‍රා, කැත්ලීන්, කම්මැල්ලවීර, ටෙනිසන් පෙරේරා, පියල් කාරියවසම් සහ අනුරසිරි, කේ. කේ. සමන් කුමාර වගේ පිරිසත්, හෙට්‌ටිගේ, මස්‌ඉඹුල වැනි අලුත් නවකතා කාරයොත් අපට ඉන්නව. නමුත් මේ පිරිස ප්‍රමාණවත් මදි.

අපේ ලේඛකයන් ගමන් කරන දුර ප්‍රමාණවත් නැහැයි කියල හිතෙන්නෙ නැද්ද? ඔවුන් තමා අවට ළඟපාත කුඩා වපසරියක අතගාමින් සිටින බවක්‌ පෙනෙන්නෙ නැද්ද?

අපි පරම්පරාවෙන් පරම්පරාවට ඉස්‌සරහට යනව. අලුත් දේවල් ඉල්ලා හිටින පරම්පරාවල් බිහිවෙනව. සාහිත්‍ය ලෝකයත් එහෙමයි. ලෝක සාහිත්‍යයේ මේ දේ සිද්ධ වෙනව. අලුත් පරම්පරාව ඉල්ලා හිටින දේ ඉෂ්ට කරන්න අපේ සාහිත්‍යකරුවන්ටත් සිද්ධ වෙනව.

ලංකාවෙ රසිකයාට ප්‍රශ්නයක්‌ තියෙනවා. කලා ලෝකයේ තමන්ගෙ ෙච්ෂ්ටාවන් ඉටුකර ගැනීමේ නොහැකියාවක්‌ දැනට තියෙනව. අපි හිතමු හෙට ටවර් හෝල් එක හරි වෙනත් රංග ශාලාවක්‌ වහලදාවි කියල. එතකොට අපේ මිනිස්‌සු පාරට බහීවිද? නෑ. පාරට බහින්නෙ නෑ. ඒ මොකද කලාව ආශ්වාදනය කරන්න අපේ මිනිස්‌සුන්ට තියෙන වුවමනාවට වඩා වෙන ප්‍රශ්න තියෙනව.

ඡේ. ආර්. ඇහුව සාහිත්‍ය කන්නද කියල. හැබෑ අර්ථයෙන් ගතහොත් කලාවක්‌ අනිත් කෑම බීම වගේ ආහාරයට ගත යුතු දෙයක්‌. කය පෝෂණය කරන්න ආහාර ගන්නව වගේ ආධ්‍යාත්මික පෝෂණය සඳහා කලාව අවශ්‍යයි. නමුත් අපේ රටේ අධ්‍යාත්මික පෝෂණය සඳහා කලාවට බරපතළ ඉල්ලුමක්‌ නෑ.

එතැන පරතරයක්‌ තියෙනව. කලාව පරිභෝජනය කරන්න නම් හොඳ ආර්ථික දේශපාලනික සාධක රටක තියෙන්න ඕන. ඒක අපේ රටේ නෑ. ඉතින් හොඳ චිත්‍රපටි, නාට්‍ය, නවකතා කියවන්න ඉල්ලුමක්‌ නැති දේශයක හොඳ කලා කෘතීන් බිහිවෙන්නෙත් අතරින් පතර. හොඳ ලේඛකයන් අතින් හොඳ නිර්මාණ බිහි වෙන්නෙත් නෑ. ඉල්ලුම නැත්නම් සැපයුමකුත් නැහැනෙ.

සාකච්ඡා කළේ චන්ද්‍රසිරි දොඩන්ගොඩ ඡායාරූප - සමන් අබේසිරිවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.