'අද හුඟදෙනකුට සැප නම් තියෙනව
සනීප තමයි නැත්තෙ...'

වෛද්‍ය ඩැනිස්‌ටර් එල්. පෙරේරා
දිවයින ඉරිදා සංග්‍රහය සමග පැවැත්වූ
සාකච්ඡාවකි මේ.

බෝනොවන රෝග වර්තමාන සමාජය තුළ නිහඬ මාරයකු ලෙස හිස ඔසවාගෙන එයි. මෙම රෝග නිසා අද දිනකට නව සියයකට ආසන්න පිරිසක්‌ මියයැමෙන් ම මෙය කෙබඳු අනතුරක්‌ ද යන්න පැහැදිලිය.

බෝ නොවන රෝගත් වසංගතයක්‌ ලෙස මෙලෙස පැතිර යන්නේ ඇයි?

බෝ නොවන රෝග වසංගතයක්‌ ලෙස අද රට පුරා පැතිර යමින් තිබෙනවා. මේ තත්ත්වයට ඔබ දකින හේතුව කුමක්‌ද?

මග තොටේදී මිත්‍රයෙක්‌ හමුවුණහම අපි සාමාන්‍යයෙන් අහන දෙයක්‌ තමයි කොහොමද අයිබෝවන් සැප සනීප කියල. අද මේකට කියන්නෙ පොසිටිව් තින්කින් කියල. නමුත් පොසිටිව් තින්කින් නැත්නම් ධනාත්මක චින්තනයට එහා ගිය යහ චින්තනයක්‌ ඔය සැප සනීප කියන වචන දෙක තුළ ගැබ්වෙලා තියෙනව. ඕනම කෙනෙක්‌ තමුන්ගෙ ජීවිතය තුළ බලාපොරොත්තු වෙන්නෙ සැප සහ සනීප කියන දෙක. අපි සියලු දේ කරන්නෙ මේ කාරණා දෙක අරමුණු කරගෙන. මේ කාරණා දෙක අතර යම් සහයෝගිතාවක්‌ සමබරතාවක්‌ තිබීම අවශ්‍යයි. සැප වැඩිවන විට සනීප නැති වෙනවා. සැප සහ සනීප දෙකම කොහොමද අපි එකවර අත්පත් කර ගන්නෙ.

අද දෙන්නෙක්‌ හමුවුණාම සැප සනීප ගැන ඇහුවහම හුඟක්‌ වෙලාවට කතා කරන්න වෙන්නෙ තම තමුන්ට තියෙන අසනීප ගැන. කොහොමද පෙෂර් එක, දියවැඩියාවට බේත් ගන්නවද... මේ තත්ත්වය අද අපේ රටේ හැම ප්‍රදේශයකම සාමාන්‍ය දෙයක්‌ බවට පත්වෙලා.

මෙබඳු තත්ත්වයක්‌ රටේ ඇතිවෙලා තියෙන්නෙ ඇයි?

පළමු වැනි හේතුව කුපෝෂණය. එනම් වැරදි පෝෂණය. ඉස්‌සර කතා කළේ මන්ද පෝෂණය ගැන. අද කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ වැරදි ආකාරයට සිදුකරන පෝෂණය ලබාගැනීම ගැනයි. දෙවැනි හේතුව අයහපත් ජීවන රටාව. තුන්වැන්න මානසික ආතතිය. මෙන්න මේ කාරණා තුන අද අපේ රටේ ජන ජීවිත වටා කැරකැවෙන විශාල තර්ජන තුනක්‌. අද බෝ නොවන රෝග නිසා සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යැම මේ තර්ජන තුන නිසා ඇතිවුණු මාරාන්තික ප්‍රතිඵලයක්‌. බෝ නොවන රෝග වසංගතය ලෙස අද අපි හඳුන්වන්නෙ මේ කරුණු තුන නිසා අපට මුහුණදීමට සිදු වී තිබෙන අභියෝගයයි.

වසංගත විදිහට අපි හඳුන්වන්න පුරුදු වෙලා ඉන්නෙ කොලරාව, පාචනය වැනි බෝවන රෝග. බෝ නොවන රෝගත් කොහොමද වසංගතයක්‌ වෙන්නෙ?

දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු රෝග ආදිය අපි පිළිගන්නෙ බෝ නොවන රෝග විදිහට. නමුත් අද මේ රෝගත් බෝ වෙන රෝග වගේ ශීඝ්‍රයෙන් පැතිරෙමින් දවසින් දවස මේවාට බිලිවෙන පිරිස වැඩිවෙමින් තිබෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබෙනවා. අනිත් භයානකම තත්ත්වය නම් අද සෑම වයස්‌ කාණ්‌ඩයකම පුද්ගලයන් මේ රෝගවලට ගොදුරු වෙමින් තිබෙනවා. මේ බෝ නොවන රෝගවලට ලක්‌වන පුද්ගලයා එකවරම මිය යන්නේ නෑ. ඔහුට ජීවිතයෙන් සමුගන්න වෙන්නෙ දීර්ග කාලයක්‌ විවිධ ශාරීරික දුබලතාවන්ට ලක්‌වෙලා. බොහෝ විට අතපය පවා අහිමිකරගෙන සෑහෙන කාලයක්‌ දුක්‌ විඳලයි.

මේ බෝ නොවන රෝග පිළිබඳ අපේ රටේ තවමත් විශාල අවධානයක්‌ යොමු නොවුණත් මෙය අද විශාල සමාජ ප්‍රශ්නයක්‌ බවට පත්වෙලා හමාරයි. මේ රෝග අද සමාජයට සිදුකර ඇති බලපෑම ඔබ දකින්නෙ කොහොමද?

අපේ රට තුළ දිනපතාම විශාල ගුවන් යානය බැගින් කඩා වැටෙනවා නම් එය රට තුළ කෙබඳු අවධානයක්‌ ඇති කරන ප්‍රවෘත්තියක්‌ද? අද කිසිවෙකු තුළ එබඳු අවධානයක්‌ ඇති නොවුණත් මේ බෝවන රෝග නිසා දිනපතා පුද්ගලයන් 700-900 ත් අතර ප්‍රමාණයක්‌ මියයනවා. එකවර ගුවන් යානයක්‌ කඩා වැටී මෙතරම් පිරිසක්‌ මිය ගියහොත් මාධ්‍යවලටත් එය විශාල ප්‍රවෘත්තියක්‌ වුවත් අද බෝ නොවන රෝග නිසා රට පුරා දිනපතාම මියයන මේ පිරිස පිළිබඳ විශාල අවධානයක්‌ යොමුවෙලා නෑ. අද එක්‌ වසරක්‌ තුළ බෝ නොවන රෝග නිසා මියයන පිරිස ඉතා විශාලයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ අද මෙය බරපතළ තත්ත්වයක්‌.

දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ගේ මූලයන් දෙස බලන විට අධික සැප සොයා යැම එක හේතුවක්‌ ලෙස වෛද්‍යවරුන් සඳහන් කරනව. අධික සැප නිසා ජීවිතය අසනීප වීම අද සුලබ දෙයක්‌. ආයුර්වේදයෙන් මෙයට විසඳුමක්‌ නැද්ද?

අපේ පැරණි කියමනක්‌ තියෙනව ඇවිද්ද පය දහස්‌ වටී අඩහ කෑම දහස්‌ වටී කියල. මෙය ආයුර්වේද ජීවන දර්ශනයේ එක සංකල්පයක්‌. එදා අපේ ගැමියා මේක දැනගෙන හිටිය. අද ජනතාව ඇවිදින්නත් සල්ලි දෙනව. රජයත් ඒ සඳහා විශාල ආයෝජනයක්‌ කරනව. ඇවිදීම ස්‌වාභාවිකව ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභයක්‌. අනෙක තමන්ගෙ කුසෙන් අඩකට සෑහෙන තරම ආහාර ගැනීම. මෙයත් ආයුර්වේද සංකල්පයක්‌. මේ සංකල්ප දෙක යමෙකු ක්‍රියාත්මක කරනව නම් සැප සනීප ලබාගන්න වෙනත් කිසිවක්‌ අවශ්‍ය නෑ. නමුත් අද බොහෝ දෙනෙක්‌ වියදම් අධික ජීවන රටාවකට හුරුවෙලා සෞඛ්‍යය රැකගැනීම වෙනුවෙන් විශාල මුදලකුත් වියදම් කරනවා. ඇතැම් රටවල පුද්ගලයකු දිනකට ඇවිදිය යුතු දුර ප්‍රමාණය ඔවුන්ගේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළින්ම නිර්දේශ කරල තියෙනව. කොතරම් දියුණු ප්‍රවාහන ක්‍රම තිබුණත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ යොදල තියෙනවා.

නමුත් අද අපේ රටේ අතීතයේ ස්‌වභාවයෙන්ම කාන්තාවක හෝ පුරුෂයකු සිදුකළ යුතු වැඩකටයුතු තාක්‍ෂණය දියුණු වීම තුළින් මඟ හැරී තිබෙනවා. උදාහරණයක්‌ ලෙස පොල් ගෙඩියක්‌ ගත්තොත් අද පොල් කඩන්න, ලෙලි ගහගන්න, බිඳින්න, ගාන්න, අඹරන්න, කොටන්න ආදී මේ ක්‍රියාකාරීත්වයක්‌ අද අවශ්‍ය නෑ. එදා කළ මේ හැම ක්‍රියාකාරිත්වයක්‌ තුළම කායික ව්‍යායාමයක්‌ තිබුණා. තාක්‍ෂණික මෙවලම් ආදේශ කරගෙන අද ඉතාමත් සංවිධානාත්මකව මේ කායික ව්‍යායාමය අපි අයින් කරගෙන තිබෙනවා. ජීවිතයට තාක්‍ෂණය අනවශ්‍යයි කියල නෙමෙයි මම කියන්නෙ. නමුත් තාක්‍ෂණය නිසා අපේ සාම්ප්‍රදායික ජීවන රටාවේ අත්‍යාවශ්‍ය අංග අහිමිවීම පිළිබඳ අවධානය යොමුකළ යුතු වෙනවා. අපේ සම්ප්‍රදායික ආහාර රටාව හා ජීවන රටාව අමතක කරල මේ බෝ නොවන රෝග වසංගතයට මුහුණ දෙන්න බෑ.

අද වැඩිදෙනෙක්‌ සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභෝජන රටාවකට හුරුවීමත් මේ බෝ නොවන රෝග වසංගතයට ප්‍රධාන හේතුවක්‌ නේද?

අද මේක විශාල ප්‍රශ්නයක්‌. අපේ රටේ සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ගවල ලැයිස්‌තුවක්‌ සකස්‌ කළොත් මුලින්ම ලියන්න වෙන්නෙ කොත්තු කියල. අද අපේ රටේ කොත්තු කියන කෑම ජාතික ආහාරය තරමට ජනප්‍රියයි. නාගරික ජනතාව සියයට 70 කට වඩා වැඩිපුර කන්නෙ කොත්තු. මේවයේ සියයට අනූවක්‌ම තියෙන්නෙ පිටි. ආගන්තුක කෑම බීමවලට අද අපේ සමාජය තුළ ලොකු පිළිගැනීමක්‌ ලැබිල තියෙනවා. දේශීය ආහාර පාන ක්‍රමයෙන් භාවිතයෙන් ඈත් කරමින් යනව. මේ නිසා වර්තමාන වැඩිහිටි පරපුර වගේම ළමා පරපුරත් විවිධ රෝගාබාධවලට ගොදුරුවෙමින් සිටින පිරිසක්‌ බවට පත්වෙමින් සිටිනව. දෙමවුපියන්ගෙ වැරදි තීරණ නිසා බොහෝ දරුවන්ට සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභෝජනය කරන්නට සිදු වී තිබෙනවා. අද ආහාර වෙළෙඳපළ තුළ දරුවන්ට අහිතකර ආහාර විශාල ප්‍රමාණයක්‌ නිෂ්පාදනය වෙමින් තිබෙනවා. එක උදාහරණයක්‌ කඩචෝරු. ගෙදර හදන ආහාර වලට අමතරව කඩවල්වලින් කන කෑම කඩචෝරු. මොන කඩේක තිබුණත්, සුපර් මාර්කට්‌ එකක තිබුණත් එය ගෙදර හදන ආහාරයක්‌ තරම් සෞඛ්‍ය සම්පන්න නෑ. අද හැම දෙමවුපියෙකුටම උවමනා කරන්නෙ පෘෂ්ටිමත් දරුවෙක්‌ හදන්න. නමුත් පිටි කිරි බීල පෘෂ්ටිමත්ව ඉන්න දරුවෙකුට වඩා මවුකිරි බීල හැදෙන දරුවෙක්‌ නිරෝගියි.

අද තරුණ, බාල, මහලු සමස්‌ත සමාජයම පෝෂණය පිළිබඳ එකම ආකාරයේ අර්බුදයක්‌ කරා ගමන් කරමිනුයි ඉන්නෙ. මේ අර්බුදයට ඔබ යෝජනා කරන විසඳුම කුමක්‌ද?

අපි නැවතත් හණමිටිය කරට ගත යුතුයි. මොකක්‌ද හණ මිටිය කරට ගන්නවා කියන්නෙ? හණමිටියෙ කතාව අපි හැමෝම දන්නව. යාළුවො දෙන්නෙක්‌ හණ කපාගෙන කරතියාගෙන වෙළෙඳ පළට ගෙනියන විට එක යාළුවෙකුට නූල් මිටියක්‌ හම්බ වෙනව. ඔහු හණ මිටිය විසිකරල නූල් මිටිය කරට ගන්නව. අනිත් යාළුව හණමිටිය දිගටම ගෙනයනව. ටික දුරක්‌ යනවිට නූල් මිටිය ගත්ත යාළුවට රෙදි මිටියක්‌ හමුවෙනව. ඔහු නූල් මිටිය විසිකරල රෙදි මිටිය කරට ගන්නව. අනිත් යාළුව දිගටම හණ මිටිය කරේ තියාගෙන යනව. හණමිටිය හැමදාම කරේ තියාගෙන ඉන්න හොඳ නෑ කියල හණ මිටිය කරතියාගත්තු යාළුවට අපි දොස්‌ කිව්වත් හණමිටිය දිගටම ගෙනිච්ච යාළුව හණමිටිය විසිකරල රෙදි මිටිය කරට ගත්තු යාළුවගෙන් වෙනස්‌ වෙන්නෙ කොහොමද කියල හිතුවොත් මේ අර්බුදයට මූණ දෙන්න පුළුවන්.

හණමිටිය කරේ තියාගෙන ආපු යාළුව අදටත් හණ වවාගන්න දන්නවා. කපා ගන්න දන්නව. හණවලින් නූල් හදාගන්න දන්නව. ඒ නූල්වලින් රෙදි වියාගන්න දන්නව. හණමිටි සංස්‌කෘතිය තුළ සාම්ප්‍රදායික දැනුම රැකිල තියෙනවා. අද සාම්ප්‍රදායික දැනුම සමාජයෙන් ඈත් වෙලා ගිහින්. අනෙක්‌ හැම ක්‍ෂේත්‍රයකටම වඩා එය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට දැඩිව බලපාන කාරණයක්‌. මෙය නැවත සමාජගත නොකර මේ අර්බුදයට විසඳුමක්‌ සොයන්න බෑ.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක
ඡායාරූප - සුජාතා ජයරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.