දික්‌ඔය රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා අපට එපා

රෝහල් සේවකයෝ උද්ඝෝෂණයක

වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය නිසා මට රාජකාරි කළ නොහැකියි

- වෛද්‍ය ජානක ජයසිංහ


මස්‌කෙළිය - ගාමිණි බණ්‌ඩාර ඉලංගන්තිලක

හැටන් දික්‌ඔය මූලික රෝහලේ සේවයේ නිරතව සිටින නාරි හා ප්‍රසවවේදී විශේෂඥ වෛද්‍යවරයාගේ අවිධිමත් ක්‍රියා කලාපයට විරෝධය දක්‌වමින් එම රෝහලේ කනිෂ්ඨ සේවකයන් ඉකුත් 06 දා දහවල් දික්‌ඔය මූලික රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම විශේෂඥ වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඉකුත් මාස කීපය තුළ ගැබිණි මව්වරුන් හා දරුවන් කීප දෙනෙක්‌ මියගොස්‌ ඇති බවත්, ඉදිරියටත් මෙම වෛද්‍යවරයා දික්‌ඔය මූලික රෝහලේ සේවයේ රැඳී සිටියහොත් මාතෘ හා ළමා මරණ සංඛ්‍යාව ඉහළ යැම වැළැක්‌විය නොහැකි බවත් උද්ඝෝෂකයෝ පවසති. තවද මෙම රෝහලට අලුතින් සේවයට පැමිණි නාරි හා ප්‍රසවවේදී විශේෂඥ වෛද්‍යවරයාට එම රෝහල තුළ සේවයේ යෙදීමට මෙකී විශේෂඥ වෛද්‍යවරයා විසින් ඉඩ ලබා නොදීම නිසා රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ගැබිනි මව්වරුන් හා කුඩා ළමයින් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව උද්ඝෝෂකයෝ පෙන්වා දෙති.

මෙම වෛද්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හමුවේ රෝගීන් මෙන්ම රෝහල් කාර්ය මණ්‌ඩලයද දැඩි අසීරුතාවකට පත්ව සිටින බව රෝහල් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

දික්‌ඔය මූලික රෝහලට අලුතින් පැමිණි නාරි හා ප්‍රසවවේදී විශේෂඥ වෛද්‍ය ජානක ජයසිංහ මහතාගෙන් අප කරන ලද විමසුමකදී හෙතෙම පැවසුවේ, තමන් මාසයක පමණ කාලයක්‌ අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ ක්‍රියා කළාපය හේතුවෙන් කිසිදු රාජකාරියක්‌ සිදු කිරීමට නොහැකිව ඉතා අසරණව සිටින බවයි. මෙම චෝදනාව සම්බන්ධයෙන් සිද්ධියට සම්බන්ධ විශේෂඥ වෛද්‍ය දර්ශික ජයසේකර මහතාගෙන් අප කළ විමසුමක දී ඔහු පැවසුවේ දික්‌ඔය මූලික රෝහලේ නාරි හා ප්‍රසවවේදී විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුට සේවය කිරීමට තරම් පහසුකම් නොමැති බවය. රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය හා වතු කම්කරුවන් නගන චෝදනාවල කිසිදු සත්‍යතාවක්‌ නොමැති බවත් හෙතෙම පැවසීය.

රෝහලට නව පත්වීමක්‌ ලැබ පැමිණි විශේෂඥ වෛද්‍ය ජානක ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ මීට වඩා අඩු පහසුකම් සහිත රෝහල් රැසක නාරි හා ප්‍රසවවේදී වෛද්‍යවරුන් පවතින සම්පත් බෙදාගෙන රෝගීන්ට ප්‍රතිකාර කරන බවත් තමන් මෙම රෝහලේ රාජකාරි කටයුතු සිදු කිරීම වෛද්‍ය දර්ශික ජයසේකර මහතාගේ පෞද්ගලික වෛද්‍ය සේවයට අභියෝගයක්‌ වන බව සිතා තමන්ට සේවය කිරීමට ඉඩ නොදෙන බවත්ය. තවද මේ වන විට නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ වතුකරය ආශ්‍රිත රෝහල්වල මාතෘ මරණ සිදුවීම ඉහළ ගොස්‌ ඇති බවත් පවතින තත්ත්වය හමුවේ සෑම රෝහලකටම නාරි හා ප්‍රසවවේදී විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ සේවය ලබා දෙන්නේ නම් එම අවාසනාවන්ත මරණ සංඛ්‍යාව අවම කළ හැකි බවත් වෛද්‍ය ජානක ජයසිංහ මහතා පවසයි.

මේ පිළිබඳව ප්‍රදේශයේ වතු ප්‍රජාව පවසන්නේ මෙකී වෛද්‍යවරයා තවදුරටත් දික්‌ඔය රෝහලේ සේවය කරන්නේ නම් තමන් රෝහල තුළදී සිරුරට ගිනිතබා ගැනීමට පවා සූදානම් බවත්ය. මේ පිළිබඳව දික්‌ඔය මූලික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පවසන්නේ සිද්ධියට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගේ ප්‍රශ්නය හේතුවෙන් රෝහල් පරිපාලනය කරගෙන යැමට බාධා පැමිණ ඇති නිසා අසරණ රෝගීන් ගැන සිතා මධ්‍යම පළාත් සෞඛ්‍ය ලේකම් වරයාගේ මැදිහත්වීමෙන් ප්‍රශ්නය නිරාකරණය කර විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගේම සේවය රෝහලට ලබා දීමට කටයුතු කරන ලෙසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.