සෞදි අරාබිය ඔය කියන තරමට ම ගහලයෙක්‌ ද?

තුන් කෝටියක ජනගහනයක්‌ වෙසෙන, ලංකාව මෙන් තිස්‌ ගුණයකටත් වඩා භූමි ප්‍රමාණයක්‌ තිබෙන සෞදි අරාබිය තුළ සිටින විදේශික සේවකයන් ගණන හත්ලක්‍ෂ පනස්‌ දහස ඉක්‌මවයි. විදේශික සේවකයන් මෙතරම් විශාල ප්‍රමාණයක්‌ සිටින වෙන කිසිදු මැද පෙරදිග රටක්‌ ලොව කොතැනකවත් නැත. මේනිසා වෙනත් මැදපෙරදිග රටක සිටින විදේශ සේවකයන් අපහරණයට පත් වීමේ ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක්‌ සෞදි අරාබිය තුළ අපහරණයට ලක්‌වීමේ ප්‍රවණතාවක්‌ තිබේ. උදාහරණයක්‌ ලෙස ලක්‍ෂ දහයක ජනගහනයක්‌ සිටින මැදපෙරදිග රටක මාසික අපහරණ ප්‍රමාණය, 1 නම් ලක්‍ෂ 300 ක්‌ සිටින සෞදියේ සිදු වන අපහරණ ප්‍රමාණය සෑම දස ලක්‍ෂයකටම 1 බැගින් 30 කි. මෙය 12 න් හෙවත් අවුරුද්දේ මාස 12 න් වැඩි කළ විට වසරකට විය හැකි අපහරණ ගණන 360 කි. මෙසේ ප්‍රමාණය විශාල වී පෙනීම නිසාම සෞදි අරාබිය යනු පිටරටවලින් පැමිණ එහි වළං, පිඟන් සෝදන දුප්පත් අසරණයන්ට ඉතා පහත් ලෙස සලකන රටක්‌ ලෙස අපේ ජන මනස තුළ රෙජිස්‌ටර් වී තිබේ. අප මෙසේ කරුණු ගෙන හැර දක්‌වන්නේ සෞදි අරාබියට ගොට්‌ට ඇල්ලීමට නොවන බව අපගේ පාඨකයන් තේරුම් ගත යුතුය. අපේ අරමුණ යථාර්ථය තේරුම් කර දීමයි. එසේ නැතිව සෞදි රජ පෙළපතට නෑකම් ඇති බාප්පලා හෝ මාමලා අපට නැත.

සෞදි අරාබියේ රැකියාවට ගොස්‌ දුක්‌විඳින සිය බිරිය ආපසු ගෙනැවිත් දෙන ලෙස ඉල්ලා විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශය ඉදිරිපිටදී වස පානය කළ පුද්ගලයකු ගැන ඊයේ (10 දා) "දිවයිනේ" මුල් පුවතෙහි සඳහන් විය. මෙතුමාගේ බිරිය සෞදි අරාබියට ගියේ විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශයේ බලහත්කාරකම් නිසාද එසේත් නැත්නම් එහි සභාපති විසින් ඇය සෞදි යවන ලෙසට කරන ලද මරණ තර්ජන නිසාද යන්න අපි මුලින්ම සොයා බැලුවෙමු. එහෙත් එබන්දක්‌ සිදු වී නැත. ඇය අරාබියට ගියේ අනුරාධපුරයේ පිහිටි බලපත්‍රලාභී රැකියා ඒජන්සියක්‌ හරහා ය. සෞදියේ රැකියාවකට යන ලෙසට එකී ඒජන්සිකරු ද ඇයට කිසිදු බලපෑමක්‌ කර නැත. එසේ නම් ඇය සෞදියේ දුක්‌විඳින විට ඇය මෙරටට ගෙන්වා දෙන ලෙසට හඬමින් විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශයට යන ඇගේ සැමියා වස බීම ගැන ද අප විරුද්ධ නැත. (මෙහිදී ඔහු ඇත්ත වශයෙන්ම පානය කළේ zවස්‌ නම් අප එයට විරුද්ධ ය. එහෙත් ඔහු පානය කර ඇත්තේ වස නොව කිසියම් බෙහෙත් පෙත්තක්‌ සහ භූමිතෙල් ය. මෙය වස කාණ්‌ඩයට වැටෙන්නේ නැත.) මන්ද , ලංකාවේ රටවැසියකු වන ඔහුට අවසාන පලයේදී අම්මා, තාත්තා මෙන් සිටින්නේ ආණ්‌ඩුව ය. විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශය යනු ආණ්‌ඩුවේ කැබැල්ලකි. ඉතින්, ඔහු දුක කියාගෙන එන්නේ ආණ්‌ඩුව වෙත ය.

මෙතැනදී වරදකාරයා කවුද? ආණ්‌ඩුවද? එසේත් නැත්නම් රැකියා ඒජන්සිකාරයාද? සෞදි අරාබියට ගිය කාන්තාවද? ඇයට වද දෙමින් වහල් සේවයට යොදවා තිබෙන ගෙදර උදවිය මේ කටයුත්තේ පළමුවැනි වැරදිකාර පාර්ශ්වය බව ඉතා සරල කාරණයකි. කාන්තාව සෞදියට යන්නේ සමාජ සේවය පිණිස නොව සිය දරු පවුල දුකින් ගලවා ගනු පිණිස ය. ඒජන්සිකාරයා ඇය රට යවන්නේ එය ඔහුගේ ජීවන මාර්ගය නිසා ය. මේ සෑම කෙනකුටම ඇගේ රට යැම සාධාරණීකරණය කළ හැකි හේතු තිබේ.

සිවුදරු පියකු වූ සැමියා ප්‍රශ්න විසඳීමට අනුගමනය කරන ක්‍රියාමාර්ගය නම් එතරම් සුදුසු වැඩපිළිවෙළක්‌ නොවේ. සිය දිවි නසා ගැනීමට තැත් කිරීමෙන් (ඔහු පානය කළ සංයෝගය වස නොවූව ද ඔහු එය පානය කර ඇත්තේ වස ලෙස සලකාය). උසාවි ගෙනගොස්‌ අත්හිටු වූ සිර දඬුවම් ලබාදිය යුතු වරදක්‌ කර තිබේ. මනෝභාවයන්ට මුල්තැන දී සිදු කරන මෙබඳු දේ නිසා විපක්‍ෂයේ සිටින ඇතැම් ගොනුන්ට තප්පුලෑමට පමණක්‌ අවස්‌ථාව ලැබේ. මෙවැනි කෙළවරක්‌ නැති, තෝරා ගැනීමට බැරි ප්‍රශ්න ඕනෑ තරම් නූතනයෙහි අප ඉදිරිපිට ඇත. මේවා විසඳිය හැක්‌කේ හදවත මගින් නොව බුද්ධිය මගින් ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.