ශ්‍රී ලංකාවට එරෙහිව ජර්මනියේදී " කිං කැකිල්ලේ" නඩු විභාගය

ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුධ අපරාධ චෝදනා එල්ල කරමින් මහජන විනිශ්චය සභාව නමින් හඳුන්වාගත් රාජ්‍ය නොවන සංවිධානයක්‌ පසුගිය 7 දා ජර්මනියේ බී්‍රමන් නගරයේදී නඩු විභාගයක්‌ ආරම්භ කර ඇත.

මෙම නඩුවේ පැමිණිලිකරු මෙයට වසර ගණනාවකට පෙර මෙරටින් අයර්ලන්තයට පැන ගොස්‌ ශ්‍රී ලංකාවේ සාමය සඳහා වූ අයර්ලන්ත සංසදය නමින් රාජ්‍ය නොවන සංවිධානයක්‌ පිහිටුවාගත් ජූඩ් ලාල් ප්‍රනාන්දුය.

සාක්‌කිකරුවන් හිටපු කොටි ක්‍රියාකාරීහු සහ විද්වතුන් ලෙස හඳුන්වා ගත් පිරිසකි. එහෙන් මෙහෙන් අහුලාගත් 11 ක්‌ මෙම හොර විනිශ්චය සභාවේ විනිසුරුවන් ලෙස පත්කර තිබිණි.

2010 අයර්ලන්තයේ ඩබ්ලින් නුවරද මෙවැනිම මහජන විනිශ්චය මණ්‌ඩලය නමින් නඩු විභාගයක්‌ පවත්වා දින තුනක්‌ තුළ තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කෙරුණි.

එම තීන්දුවෙන් ශ්‍රී ලංකා හමුදාව වරදකරු යෑයි ප්‍රකාශ කර කොටි සංවිධානය නිදහස්‌ කෙරුණි. පසුගිය 7 දා ජර්මනියේ බී්‍රමන් නගරයේ ආරම්භ වූයේද එකී මහජන විනිශ්චය සභාව නැමැති සංවිධානයේ දෙවැනි ව්‍යාජ නඩු විභාගයයි.

මෙම රාජ්‍ය නොවන සංවිධාන නඩු විභාගය කෙරේ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කිසිදු ලෙසකින් සම්බන්ධ වූයේ නැත.

එහෙත් අපූරු සාක්‍ෂිකරුවන් තිදෙනකු ඊට සහභාගී වූහ. ද්‍රවිඩ ජනතා ජාතික පක්‍ෂය නැමැති සංවිධානයේ ප්‍රධානී ගඡේන්ද්‍ර කුමාර්, චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සහ මෙරටින් ජර්මනියට පැන ගිය රෝහිත භාෂණ අබේවර්ධන එම තිදෙනායි.

මින් කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් දේ දුන්න පුවත්පත සකස්‌ කළේ අබේවර්ධනයි. ජර්මනියට පැන ගොස්‌ ඡේ. ඩී. එස්‌. නමින් සංවිධානයක්‌ පිහිටුවා ගෙන චැනල් ෆෝ රූපවාහිනියට ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට වීඩියෝ දර්ශන යවනු ලැබුවේද මේ තැනැත්තායි.

චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ අප සමග පැවැත් වූ සාකච්ඡාවකදී ඒ බව හෙළි කළේය.

එහෙත් ගඡේන්ද්‍රකුමාර්, කැලම් මැක්‌රේ සහ අබේවර්ධන වන්නි මෙහෙයුම සියෑසින් දුටුවේ නැත. වන්නි මෙහෙයුම පැවැත්වෙන සමයේ අබේවර්ධන ජර්මනියට පැන ගොස්‌ තිබිණි. කැලම් මැක්‌රේ කිසි දිනක වන්නි මෙහෙයුම පැවැති අවස්‌ථාවේ මෙරටට පැමිණියේ නැත. එසේ නම් යුද්ධය සියෑසින් දුටු බව දක්‌වමින් ඔවුන් සාක්‍ෂි දෙන්නේ කෙසේද?

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමනක්‌ ඇත. මහජන විනිශ්චය මණ්‌ඩලය නැමැති රාජ්‍ය නොවන සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව නඩු විභාගයක්‌ පැවැත්වීමට ඇති බලය කුමක්‌ද?

මෙම නඩු විභාගය හමුවේ ඉදිරිපත් වී ඇති චෝදනාවක්‌ නම් විදේශ රටවල් කොටි සංවිධානය විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වූ බවයි.

මේ නඩු විභාගය හඳුන්වන්නේ කිං කැකිල්ලේ නඩු විභාගයක්‌ මෙනි.

වන්නි මෙහෙයුම යටතේ මෙරට නොසිටි පිරිස්‌ විදේශ රටවල සිට සාක්‌ෂිදීමට ඉදිරිපත් වීම මවිතයක්‌ නොවේද?

මෙලෙස ශ්‍රී ලංකාවට හා හමුදාවට එරෙහිව හොර නඩු විභාගයක්‌ පවත්වන ජනතා විනිශ්චය සභාව සිය චෝදනා පත්‍රයේ මෙලෙස දක්‌වා ඇත. 2009 අවසාන සතියේදී ඊළම් ජනතාවට එරෙහිව සිදු කරන ලද යුද අපරාධ ගැන මෙම විනිශ්චය සභාවේ නිරීක්‍ෂණයට ලක්‌ වේ.

එහෙත් වසර 30 ක්‌ තිස්‌සේ ප්‍රභාකරන් කළ යුද අපරාධ ඊට ඇතුළත් වන්නේ නැත. ඉන් සනාථ වන්නේ බටහිර බළල් අතක්‌ මේ ව්‍යාජ විනිශ්චය සභාව හමුවේ ක්‍රියාත්මක වන බව නොවේද?

එසේම එක්‌ එක්‌ කොටි පාර්ශව විසින් සැපයූ වීඩියෝ දර්ශන වලින් චිත්‍රපට නිර්මාණය කළ චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ තමන් වන්නි මෙහෙයුම සියෑසින් දුටු බව කියන්නේ කෙසේද?

මේ සාක්‍ෂිකරුවන් බොරුකාරයන් බව ඉන් සනාථ වන බව පැහැදිලිය. එහෙත් බ්‍රිතාන්‍ය හා ඇමරිකානු හමුදා ඉරාකය ඇµaගනිස්‌ථානය යන රටවල සිදු කළ යුද අපරාධ ගැන මෙතෙක්‌ මහජන විනිශ්චය සභා පත්කර නැත.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහි මහජන විනිශ්චය සභාව නැමැති නඩු විභාගය පසුබිමේ සිටින්නේ ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන ටැග් නැමැති කොටි හිතවාදී සංවිධානයයි.

ඉන් පැහැදිලිවම පෙනීයන්නේ කොටි ඩයස්‌ පෝරාවේ මැදිහත් වීම මත එකී මහජන විනිශ්චය සභාව නඩු විභාගය පවත් වන බවයි.

මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව පුද්ගලයන් 11 ක්‌ යොදවා නඩු විභාගයක්‌ පැවැත්වීමට අති විශාල මුදලක්‌ වැය වේ.

එසේම ජූඩ් ලාල් ප්‍රනාන්දු, කැලම් මැක්‌රේ සහ ගඡේන්ද්‍රකුමාර් ජර්මනියට පැමිණියේ තම මුදල් වැය කරමින්ද?

බටහිර රටවල් සැපයූ අති විශාල අරමුදල් යටතේ ශ්‍රී ලංකාවට එරෙහි පැවැත් වූ නඩු විභාගයේ තීන්දුවද විශ්මය ජනකය.

පසුගිය (10දා) අඟහරුවාදා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී යුරෝපා කොටි වෙබ් අඩවියක්‌ තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඒ ශ්‍රී ලංකාව වරදකරු බවයි.

මේ සියලු ක්‍රියාදාමයන් සිදුවන්නේ ලබන මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන බ්‍රිතාන්‍ය යෝජනාවට සහය වීමක්‌ ලෙසය.

එහෙත් මහජන විනිශ්චය සභාව ප්‍රභාකරන්ගේ යුද අපරාධ යුද අපරාධ විමර්ශනය කිරීමට ඉදිරිපත් වී නැත.

ජර්මනියේ බී්‍රමන් නුවර පැවැත් වූ ශ්‍රී ලංකාවට එරෙහි එන්. ජී. ඕ. නඩු විභාගයේ සාක්‍ෂිකරුවන් කව්දැයි කොටි වෙබ් අඩවි හෙළි නොකළත් සාක්‍ෂි කරුවන්ගේ ඡායාරූපවලින් එකී පිරිසගේ වෙස්‌ මුහුණු ගැලවුණි.

කැලම් මැක්‌රේ සාක්‍ෂිදෙන අවස්‌ථාවේ ඊට සමීපයේ අසුන් ගෙන සිටියේ ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ය.

මේ නිසා එකම ජාලයක්‌ යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර කුමන්ත්‍රණයක්‌ දියත් වී ඇති බව සනාථ වේ.

ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට සාක්‍ෂි ඇත්නම් ඇමරිකාව නිහඩව සිටින්නේ නැත. ඇමරිකානු බලධාරීන්ට ඇති එකම සාක්‍ෂිය දරුස්‌මාන් වාර්තාවයි.

එම වාර්තාවට සම්බන්ධ සාක්‍ෂිකරුවන්ගේ නම් ගම් හෙළි වන්නේ වසර 20 කට පසුවය. එකී සාක්‍ෂිකරුවන් දැන් හෙළිකළහොත් ඔවුන් බොරු සාක්‍ෂි කරුවන් යෑයි අනාවරණය වනු නියතය.

ශ්‍රී ලංකාවේ සාමය සඳහා වූ අයිරිෂ් සංසදය නැමැති රාජ්‍ය නොවන සංවිධානය මෙහෙය වන්නේ එක්‌ පුද්ගලයෙකි. ඊට වෙනත් පිරිසක්‌ නැත. එහෙත් විශාල ලෙස අරමුදල් ලැබේ.

30 වසරක්‌ තිස්‌සේ ප්‍රභාකරන් යුද අපරාධ සිදු කරන විට මේ සංවිධානය නිහඬව සිටියේය. අයි. ආර්. ඒ. සංවිධානයේ මාටින් මැග්ගිනස්‌ සහ ඡේරි ඇඩ්ම්ස්‌ ඝාතන ක්‍රියා රැසකට සම්බන්ධ වී ඇත. මෙතෙක්‌ මහජන විනිශ්චය සභාව ඔවුන් ගැන නඩු විභාගයක්‌ පවත්වා නැත.

2010 ජනවාරි මස 14 සිට 16 දක්‌වා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැති මහජන විනිශ්චය මණ්‌ඩලයේ වාර්තාවෙන් අප ශ්‍රී ලංකා රජය සිදු කළ යුධ අපරාධ මිස කොටි කළ අපරාධ ගැන විමර්ශනය නොකරන්නෙමු යෑයි සඳහන් කර තිබේ. මින් පැහැදිලි වන්නේ එක්‌ එක්‌ රාජ්‍ය නොවන සංවිධාන නඩු විභාග ඒකපාක්‍ෂිකව පවත්වන බවයි.

මේ අන්දමට රාජ්‍ය නොවන සංවිධානවලට ශ්‍රී ලංකාවට එරෙහිව නඩු විභාග පැවැත්වීය හැකිද? මේ හොර නඩු විභාගවල විශේෂ ලක්‍ෂණය නම් තෙදිනක්‌ තුළ නඩු විභාගය පවත්වා තීන්දුව ප්‍රකාශ කිරීමයි.

මෙවන් අරුම පුදුම නඩු විභාග ගැන අසන්නට ලැබෙන්නේ මෑතක සිටය. එය හාස්‍ය ජනක ක්‍රියාවක්‌ නොවේද?

එහෙත් මේ ක්‍රියාදාමයේ පසුපස ඇත්තේ විදේශ අරමුදල්ය.



කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.