දෙවැනි වර අය වැය සැකසීම ජ්‍යෙෂ්ඨයකුගේ අධීක්‍ෂණයෙන්
පරදින සභා රැකගන්න සන්ධානය මැදිහත් වෙයි

අනුර බාලසූරිය සහ රනිල් ධර්මසේන

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය පළමුවර පරාජයට පත්වුවහොත් ඉන්පසු එය දෙවැනි වර සකස්‌ කර ඉදිරිපත් කිරීම සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මැදිහත්වීම මත සිදු කිරීමට තීරණය කළ බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ "දිවයින" ට පැවසීය.

අය වැය පරාජයට පත්වන ආසනවල ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීන් කොළඹට ගෙන්වා මේ දිනවල ආණ්‌ඩුව වෙන් වෙන්ව සාකච්ඡා කරමින් පවතී.

සියලු මන්ත්‍රීන්ගේ යෝජනා ඇතුළත් කර අය වැය නැවත සකස්‌ කිරීමට මෙහිදී පියවර ගන්නා බව ද හෙතෙම කීය.

සභාපතිවරුන්ට හිතුමතේ ක්‍රියා කිරීමට මෙහිදී ඉඩ ලබා නොදෙන බවත් අවසානයේ අය වැයට සියලු දෙනාගේ එකඟත්වය ලබාගන්නා බවත් හෙතෙම කීය.

මේ වන විට පළාත් පාලන ආයතන පහළොවකට වැඩි ප්‍රමාණයක අය වැය පළමු වර පරාජයට පත්ව ඇත.

මේ අතර සභාපති ධුර අහෝසි වූ ප්‍රාදේශීය සභාවලට පත්කෙරෙන සභාපතිවරුන් පිළිබඳව අදාළ පළාත් සභා ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක්‌ ගන්නා බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

මේ සම්බන්ධව සන්ධානයේ මහ ලේකම්වරයා විසින් සභාපති ධුර අහෝසි වූ පෑලියගොඩ සහ මීරිගම පළාත් පාලන ආයතන දෙකට සභාපතිවරුන් ලෙස නම් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සියලුම සභිකයන් ඊයේ (10 දා) පක්‍ෂ මූලස්‌ථානයට කැඳවා අදහස්‌ විමසා ඇත.

ඔවුන්ගෙන් අදහස්‌ විමසා ඇතිකරගත් එකඟතා මත මහ ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි දිනවලදී නව සභාපතිවරුන් පත්කිරීමට පියවර ගැනීමට නියමිතය.

සභාපතිධුර අහෝසි වූ රාජාංගණය හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවල සන්ධානයේ සභිකයන් ද අද හෙටම කැඳවා ඔවුන්ගේ අදහස්‌ හා එකඟතා ලබාගැනීමට නියමිතය.

 
Powered By -


       උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.