අලව්වේ අය වැය දෙවැනි වරටත් පරදී

මහරච්චිමුල්ල - සිසිර සරත් අබේකෝන්, බෝයවලාන - ජයන්ත කුමාර දිසානායක

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ දෙවැනි වරටත් ඊයේ (10 දා) ඉදිරිපත් කළ අය වැය යෝජනා කෙටුම්පත පරාජයට පත්විය.

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මුහන්දිරම් මහතා විසින් සභාවට අය වැය ඉදිරිපත් කරන ලදී. එහිදී ආණ්‌ඩු පක්‍ෂයේ බණ්‌ඩාර වෑත්තෑව (උප සභාපති), චමින්ද වර්ණසූරිය, නාරද සිරිවර්ධන, සුමිත් ප්‍රියන්ත, අබේසුමන, ග්‍රේටන් නිලාන් ජයලත් සහ අරුණ ජයලත් (එජාප) යන මන්ත්‍රීවරු අය වැයට විපක්‍ෂව අදහස්‌ දැක්‌වූ අතර අය වැයට පක්‍ෂව අදහස්‌ දැක්‌වූයේ ධර්මසිරි රත්නායක (එජනිස), මොහාන් සුජීව වික්‍රමනායක (විපක්‍ෂ නායක), සමන්ත යත්තල්ගොඩ (එජාප), ඡේ. ඇම්. පොඩිරත්න (එජාප), සභාපති සන්ධ්‍යා කුමාර මුහන්දිරම් (එජනිස) යන මහත්වරුන්ය.

ඉන් අනතුරුව සභාවේ තීරණය මත රහස්‌ ඡන්දයක්‌ පැවැති අතර එම රහස්‌ ඡන්දයේදී අය වැයට පක්‍ෂව ඡන්ද 04 ක්‌ ද විපක්‍ෂව ඡන්ද 07 ක්‌ ද ප්‍රතික්‍ෂේප ඡන්ද 01 ක්‌ ද බැගින් ප්‍රකාශ වී තිබිණි.

ඒ අනුව 2014 වර්ෂයේ අය වැය වැඩි ඡන්ද 03 කින් පරාජයට පත්විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.