අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් ගන්න නව ක්‍රමයක්‌

නිලන්ත මදුරාවල

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවාගැනීමේදී මින් ඉදිරියට දිස්‌ත්‍රික්‌ පදනම සලකා බැලීමේ නව ක්‍රමවේදයක්‌ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.

ඒ අනුව විද්‍යාපීඨ පුහුණුව අවසන් කර ගුරු සේවයට ඇතුළු වන ඔවුන්ට පත්වීම් ලැබෙන්නේ තමන් පදිංචි දිස්‌ත්‍රික්‌කයේම පාසල්වලට වීම විශේෂත්වයකි.

මෙම නව ක්‍රමවේදයට අනුව සිසුන් බඳවා ගැනෙන්නේ ඉදිරි වසර හතරේදී දිස්‌ත්‍රික්‌කයන්හි පාසල්වල ඇති වන ගුරු පුරප්පාඩු පිළිබඳ සලකා බැලීමෙන් පසුවය. උදාහරණයක්‌ ලෙස ඉදිරි වසර හතරෙන් පසු කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පාසල්වලට ප්‍රාථමික ගුරුවරුන්ගේ අවශ්‍යතාව සියයක්‌ නම් පුහුණුව සඳහා බඳවා ගැනෙන්නේ සිසුන් සියදෙනෙකි. එලෙස බඳවා ගැනෙන සිසුන් පුහුණුවෙන් පසුව ගුරුවරුන් ලෙස පත්වීම් ලැබෙන්නේ එම දිස්‌ත්‍රික්‌කයේම පාසල්වලටය. ඉදිරිපත් වන අයෑදුම්පත් අනුව ප්‍රාථමික ගුරු පුහුණුව ඉල්ලා සිටින එම දිස්‌ත්‍රික්‌කයේ වැඩිම ඉසඩ් ලකුණු සහිත සිසුහු ඇතුළත් කර ගැනෙති.

මේ අයුරින් ඒ ඒ දිස්‌ත්‍රික්‌කයන්හි ඒ ඒ විෂයයන්ට ඇතිවන පුරප්පාඩු සලකා බලා බඳවා ගැනීමට නියමිතය.

පසුගිය වසරේ පැවැති උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විද්‍යා පීඨවලට ඇතුළත් කිරීමට අයෑදුම්පත් කැඳවීම ප්‍රමාද වීමට හේතුව මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව යෑයි අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. කෙසේ වුවද නව ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව ද ඒ පිළිබඳ අවසන් තීරණයක්‌ ගත් වහාම සිසුන් ඇතුළත් කිරීමට අයෑදුම්පත් කැඳවන බව ද එම ආරංචි මාර්ග කීවේය.

විද්‍යාපීඨ පුහුණුව සඳහා සිසුහු තුන්දහසක්‌ පමණ බඳවා ගැනෙති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.