රනිල්ගෙන් රජයට ණය චෝදනාවක්‌?

අකිත පෙරේරා

රුපියල් ටි්‍රලියන 1.8 ක්‌ වූ මෙරට ජාතික ණය ප්‍රමාණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ රුපියල් ටි්‍රලියන 6.6 දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව රාජපක්‍ෂ මහතා ජනාධිපති වූ පසුව ඔහු විසින් ටි්‍රලියන 4.8 ක මුදලක්‌ ණය වශයෙන් ලබාගෙන ඇති බව ද ජාතික සේවක සංගම් කාර්යාලයේදී 2014 අය වැය සම්බන්ධයෙන් ඊයේ (10 දා) පැවැති සම්මන්ත්‍රණයේදී විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

එම ප්‍රමාණයෙනුත් ටි්‍රලියන තුනකට වඩා වැඩි ප්‍රමාණයක්‌ ණය වශයෙන් ලබාගෙන ඇත්තේ යුද්ධය අවසන් වීමෙන් පසුව බව ද ඒ අනුව වත්මන් ආණ්‌ඩුව රටට ණය ලබාගෙන විශාල වශයෙන් එම ණයවලින් ගසාකන තත්ත්වයක්‌ ඇති කර ඇති බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

නිදහස ලබාගැනීමෙන් අනතුරුව මෙරටට ලබාගත් ණය මගින් නිදහස්‌ අධ්‍යාපනය, සෞඛ්‍යය, විවිධ සංවර්ධන ව්‍යාපෘති ඇතුළු සහන ලබාදීම් සිදු කළ ද වත්මන් පාලකයන් සිදුකරනුයේ එම සියලු සහන කප්පාදු කිරීම බව ද හෙතෙම පැවසීය.

මෙරට දූෂණය ද ඉතා ඉහළ තත්ත්වයක පවතින බව මෙරට ණය ලබාදෙනු ලබන චීන රජයේ ප්‍රවෘත්ති ආයතනයකින් පවසා ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.