හිතුවක්‌කාර යකඩ යකා ගැන වාර්තාව දින දහයකදී

චමින්ද සිල්වා

දෙමටගොඩ ධාවනාගාරයේ නතර කර තිබූ දුම්රිය එන්ජිමක්‌ රියෑදුරු නොමැතිව කිලෝමීටර් 15 ක්‌ පමණ දුර ගෙවා රත්මලානට පැමිණීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ වාර්තාව දින දහයක්‌ ඇතුළත ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඊයේ (10 දා) පැවසීය.

දුම්රිය එන්ජිම රියෑදුරකු නොමැතිව ධාවනය වීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව මේ වන විට කිහිපදෙනකුගෙන් සාක්‍ෂි සටහන් කරගෙන ඇතැයි ද ඇමැතිවරයා කීය.

එම එන්ජිම ධාවනය වීම ඇසින් දුටු සාක්‍ෂි හෝ එන්ජිම පණගැන්වීම සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක්‌ සොයාගෙන නැතැයි කී ඇමැතිවරයා මෙය භූත බලවේගයක්‌ මත සිදුවූවක්‌ද යන්න පිළිබඳව තිබෙන සැකය ද බැහැර කළ නොහැකි යෑයි කීය.

එම නිසා ඒ සම්බන්ධයෙන් ද විමර්ශන කණ්‌ඩායම්වල අවධානය යොමුවී ඇතැයි ද කීය. රියෑදුරකු නොමැතිව ධාවනය වූ දුම්රිය එන්ජිම 1963 වර්ෂයේ එංගලන්තයෙන් ගෙන්වූ එකක්‌ බවත් කී ඇමැතිවරයා ඇතැම් විට එහි යාන්ත්‍රික දොaෂ තිබෙන්නට ඇතැයි ද කීය.

ඇමැතිවරයා මෙම අදහස්‌ පළ කළේ කොළඹ නාගරික හා තදාසන්න පෙදෙස්‌වල ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීමේ ඉදිරි ව්‍යාපෘති සැලැස්‌ම පිළිබඳ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.