මවගේ අවවාද නොරිස්‌සූ
පාසල් ශිෂ්‍යාව ටයි පටියෙන් ගෙල වැලලාගෙන මියයයි


වරකාපොල විශේෂ - සරත් ආනන්ද ලියනගේ

වසර 15 ක්‌ වයසැති පාසල් ශිෂ්‍යාවක්‌ තම නිවස තුළදී ටයි පටියක්‌ උපයෝගි කරගෙන ගෙල වැලලාගෙන මියයැමේ ශෝකජනක පුවතක්‌ වරකාපොල පොලිස්‌ වසමට අයත් දොරවක උඩබාගේ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙසේ ගෙල වැලලාගෙන මියගොස්‌ ඇත්තේ එච්. පී. නදීශානි තාරකා නම් ශිෂ්‍යාවකි. ඇය දොරවක සිරිනිවාස විදුහලේ ඉගෙනුම ලබන සිසුවියක්‌ බව වරකාපොල පොලිසිය පවසයි. පසුගිය දිනක උදෑසන පෞද්ගලික පංතියකට සහභාගි වී නිවසට පැමිණි ඇයට ඇයගේ මව යම් කරුණකට අවවාද කළ බවත් ඉන් පසුව මව දිය නෑම සඳහා නිවසින් බැහැරව ගිය අවස්‌ථාවේ මෙසේ සිය දිවි හානිකරගෙන ඇති බවත් ඇගේ මව වන සන්ධ්‍යා පුෂ්පකුමාරි පොලිසිය හමුවේ පවසා ඇත.

ගමේ අසල්වැසියන් හා එක්‌ව එම අවස්‌ථාවේදීම වරකාපොල මූලික රෝහලට දියණිය ගෙන ආවත් රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස්‌ තිබී ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්වී ඇත්තේ පවුලේ එකම දරුවායි. මියගිය ඇයගේ මෘතදේහය වැඩිදුර පරීක්‍ෂණය සඳහා වරකාපොල මූලික රෝහලෙන් කුරුණෑගල මහරෝහලට යවා තිබේ. වරකාපොල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.