අතුරුදන්වූවන් පිළිබඳ සංගමයේ උද්ඝෝෂණයට බාධා


අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන සංගමය ඊයේ (10 වැනිදා) ත්‍රිකුණාමලය බස්‌ නැවතුම්පළේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණයකට පැමිණි කිසියම් කණ්‌ඩායමක්‌ උද්ඝෝෂණයට බාධා කර එය නතර කර තිබේ.

සටන් පාඨ හා අත්පත්‍රිකා ද එම පිරිස උදුරාගෙන උද්ඝෝෂණය නොපවත්වන ලෙස දන්වා ඇත.

මේ පිළිබඳව අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන සංගමයේ ලේකම් සුන්දරලිංගම් මහේන්ද්‍රන් ඇතුළු පිරිසක්‌ සිද්ධිය පිළිබඳ ත්‍රිකුණාමල පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ පිළිබඳව ත්‍රිකුණාමල මූලස්‌ථාන පොලිස්‌ පරික්‍ෂක ප්‍රභාත් දයානන්ද මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සිද්ධිය සැළවූ සැනින් පොලිසිය අදාළ ස්‌ථානයේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස්‌ නිලධාරීන් යොදවා දෙපාර්ශ්වය අතර ඇති වූ සිද්ධිය සමථයකට පත්කළ බවයි.

මේ වන විට උද්ඝෝෂණය සංවිධානය කළ පිරිස්‌ පොලිසියට කර ඇති පැමිණිල්ලට අනුව මෙම ස්‌ථානයට පැමිණි පිරිස කවුරුන්දැයි සොයා බලා ඔවුනට එරෙහිව නීතිය තදින්ම ක්‍රියා කරන බවයි.

සිද්ධිය පිළිබඳ සෙවීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා ඇති බව ද මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයා කියා සිටියේය.

ත්‍රිකුණාමලය - සමන් මල්ලවාරච්චි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.