වතුකම්කරුවන්ට හා කාර්ය මණ්‌ඩලයට
අර්ථසාධක හා දීමනා නොගෙව්වයි වැවිලි සමාගම් කිහිපයකින් මානව හිමිකමට පැමිණිල්ලක්‌


සිරිල් විමලසුරේන්ද්‍ර

ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය, රාජ්‍ය වැවිලි සංස්‌ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම වතුකම්කරුවන්ට හා වතු කාර්ය මණ්‌ඩලයට අර්ථසාධක, සේවක භාරකාර සහ විශ්‍රාම පාරිතෝෂික වශයෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 1888 ක්‌ ගෙවීම පැහැර තිබේ යෑයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට 10 දා පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය.

රාජ්‍ය අංශයේ වැවිලි සමාගම් තුනක්‌ මෙලෙස තමන්ට නීතිමය හා මානුෂික වශයෙන් ලැබිය යුතු දීමනාවන් ලබා නොදීමෙන් තම මානව හිමිකමක්‌ කඩකර ඇතැයි කම්කරු සහයෝගිතා වෘත්තීය සමිතිය මාර්ගයෙන් පැමිණිල්ල ඉදිරිපත් කරමින් පෙන්වා දෙන ලදි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර සම්බන්ධිකාරක විරන්ජන් ඩයස්‌ සුමනසේකර මහතාට වතු සේවක පිරිසක්‌ පැමිණිල්ල ඉදිරිපත් කළහ. ජගත් මානව හිමිකම් දිනයේදීම තම පැමිණිල්ල ඉදිරිපත් කළේ සාර්ථක ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් බව පැමිණිලිකරුවෝ පැවැසූහ.

වතු ක්‍ෂේත්‍රයේ ප්‍රාදේශීය වතු 22 ක්‌ මහා පරිමාණයේ වතු 450 ක්‌ දිගුකාලීන බදු ක්‍රමය යටතේ පාලනය වන අතර එයින් වතු 31 ක්‌ රජයට අයත් ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය රාජ්‍ය වැවිලි සංස්‌ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම මගින් පාලනය වන බව වතුකම්කරු හා කාර්ය මණ්‌ඩලය වෙනුවෙන් කරුණු දක්‌වමින් කම්කරු සහයෝගිතා වෘත්තීය සමිතිය විරන්ජන් ඩයස්‌ සුමනසේකර මහතාට පෙන්වා දුනි.

මෙම වතුවල සේවය කරන කම්කරු හා කාර්ය මණ්‌ඩල 12,000 කින් පමණ සමන්විත බව පෙන්වා දුන් වෘත්තීය සමිති නියෝජිතයෝ වසර ගණනාවක්‌ම තමන්ට හිමිවිය යුතු සේවක අර්ථ සාධක අරමුදල සේවක භාරකාර අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික දීමනාව අහිමිවී තිබෙන බවද කීහ.

ඒ අනුව ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය රුපියල් මිලියන 885 ක්‌, රාජ්‍ය වැවිලි සංස්‌ථාව රුපියල් මිලියන 664 ක්‌ සහ ඇල්කඩුව වැවිලි සමාගම රුපියල් මිලියන 339 ක්‌ වශයෙන් රුපියල් මිලියන 1,888 ක්‌ ගෙවීම මේ වන විට පැහැර හැර තිබෙන බව පෙන්වා දෙන ලදි.

කම්කරු සහයෝගිතා වෘත්තීය සමිතිය වෙනුවෙන් එහි මහ ලේකම් පී. පී. සිවප්‍රකාශ් සහ ජාතික සංවිධායක ආර්. නඩරාජා යන මහත්වරු කරුණු ඉදිරිපත් කළහ.

වතු සේවක පිරිස විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා සහ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ නීතිඥ ප්‍රතිභා මහානාමහේවා යන මහත්වරු ප්‍රමුඛ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට ඉදිරිපත් කර අප්‍රමාදව විසඳුමක්‌ ලබාදීමට පියවර ගන්නා බව කොමිෂන් සභාවේ මහනුවර සම්බන්ධීකාරක විරන්ජන් ඩයස්‌ සුමනසේකර මහතා පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.