කරන්දෙණිය හිත හොඳ දොස්‌තර ඝාතන නඩුවේ 4 වැනි සැකකරුට ඇප
සෙසු තිදෙනා යළි රක්‍ෂිතයට

අහුන්ගල්ල - කමල් ශ්‍රී ලියනගේ

කරන්දෙණිය හිත හොඳ දොස්‌තර ඝාතන නඩුව (9 දා) බලපිටිය උසාවිය හමුවේ විභාගයට ගත් අවස්‌ථාවේදී මෙම නඩුවේ සිවුවැනි සැකකාර හමුදා කෝප්‍රල්වරයා රුපියල් පනස්‌ දහසක මුදල් ඇපත් රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප දෙකක්‌ මතත් මුදාහැරීමට බලපිටිය මහෙස්‌ත්‍රාත් අසංග ශ්‍යාම්ලාල් බෝදරගම මහතා නියෝග කළේය.

සෙසු සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මස 20 වැනි දින දක්‌වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කළ මහෙස්‌ත්‍රාත්වරයා නඩු විභාගය එදිනට කැඳවීමට ද නියෝග කළේය.

කරන්දෙණිය බොරකන්ද රෝහලේ වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතා ඝාතන නඩුවේ සිවුවැනි සැකකරු වන යුද හමුදාවේ අයියනගර්කච්චි හමුදා කඳවුරේ කෝප්‍රල් සොබනාහන්දි ජයලත් ද සිල්වා යන අයට ඇප නියම විය.

මෙම නඩුවේ සෙසු සැකකරුවන් වන කරන්දෙණිය මොරකන්දේ රසායනාගාර පරීක්‍ෂක කොස්‌ගල්ලනදුරගේ චින්තක රුවන් ජයසේන, යුද හමුදා කෝප්‍රල් සොබනාහන්දි සනත් ද සිල්වා, බේකරි හිමියකු වන මීටියාගොඩ මහවෙල පදිංචි විජිත් ආනන්ද ද සොයිසා යන අය දෙසැම්බර් 20 තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මීට ඉහතදී ඇප ලැබූ යුද හමුදාවේ කපිතාන්වරයකු වන ඇල්පිටිය කුරුඳුගහහැතැප්මේ බටපොල පාරේ යක්‌ගහහේවගේ චන්දන වික්‍රමසිංහ නමැති අය ද පෙරේදා (9 දා) අධිකරණයට පැමිණ සිටියේය.

මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සැරයන් අනුර රත්නප්‍රිය මහතා අධිකරණයට කරුණු දක්‌වමින් මෙම නඩුව සම්බන්ධව නීතිපති උපදෙස්‌ ලබාගැනීමට දෙවරක්‌ සාකච්ඡා කළ බවත් ඉදිරියේදී නීති උපදෙස්‌ ලැබෙන බවත් කියා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥ මහතකු පෙනී නොසිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ලෙස්‌ලි ජයසිංහ මහතා පෙනී සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.