1948න් පසු නිපුණතා සංවර්ධනය සහ යෞවනයන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදලක්‌ වෙන් කළේ මෙවර අයවැයෙන්
- ඇමැති ඩලස්‌ අලහප්පෙරුම

ප්‍රභාත් විතාන

නිපුණතා සංවර්ධනය සහ යෞවනයන් වෙනුවෙන් 1948 වසරෙන් පසු ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් තම අමාත්‍යාංශයට වෙන්කර තිබෙන බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය.

වර්ෂ 2000දී රු. බිලියන 2 වශයෙන් වෙන් කළ මෙම මුදල වර්ෂ 2010දී රු. බිලියන 5.8ක්‌ දක්‌වාත් වර්ෂ 2011දී රු. බිලියන 7.2 දක්‌වාත් වර්ෂ 2012දී රු. බිලියන 7.04 දක්‌වා නිපුණතා සංවර්ධනය සහ යෞවනයන් වෙනුවෙන් වෙන් කළ මුදල් ප්‍රමාණය මෙවර (2013) අයවයෙන් රු. බිලියන 12ක්‌ දක්‌වා වැඩිකර තිබෙන බවද ඇමැති අලහප්පෙරුම මහතා කියා සිටියේය.

නිපුණතා සංවර්ධනය සහ යෞවනයන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අපේ අමාත්‍යාංශයේ සහ සමස්‌ත යෞවනයේ ගරුත්වය ප්‍රකාශ කරන බවද ඇමැතිවරය ප්‍රකාශ කළේය.

යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය අද (11 වැනිදා) පෙරවරුවේ ගැනීමට නියමිත අතර ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා නාරාහේන්පිට රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති අලහප්පෙරුම මහතාá

නිපුණතා සංවර්ධනය ජාතික අවශ්‍යතාවන්ගේ ශ්‍රේණිය තුළ මුලට ගැනීම නිපුණතා සංවර්ධනය නූතන ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ මහා භාරදූර කටයුත්තේදී කොතරම් වැදගත්කමක්‌ තියෙනවද කියන රාජ්‍ය මුද්‍රවා මේ අයවැය හරහා ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබෙනවා. යෞවන සංවර්ධනය මොනතරම් ජාතියට වැදගත්ද කියන සංඥාව මේ අයවැය තුළින් ඔබට දැන ගන්නට ලැබෙයි.

මේ වාර්තාව මම ගන්නේ ශ්‍රී ලංකා මානව සංවර්ධන වාර්තාවෙන්. ඒ 2012 යූඑන්ඩීපී වාර්තාවයි. මේ වාර්තාව පිටවුණේ දැනට සති 3කට හෝ 4කට ඉහතදී. මේ වාර්තාවේ 61 වැනි පිටුවේ සඳහන් කරනවා, 2000, 2005, 2010 වසර තුළදී අපේ රටේ ද්විතීය, තෘතිය හා ප්‍රාථමික අධ්‍යාපනයන් තුළ සිදුවූ සංවර්ධන ලක්‍ෂණ පිළිබඳව. ඉන් මම බලාපොරොත්තු වෙන්නේ කාර්මික අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු පිළිබඳව ඔබට කරුණු ඉදිරිපත් කරන්නයි. 2002 වසරේ කාර්මික අධ්‍යාපන හා වෘත්තීය පුහුණුව යටතේ මේ රටේ ලියාපදිංචි ආයතන සංඛ්‍යාව තිබුණේ 556යි. ඒ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන ලෙස. එය වසර 2010 ඉක්‌මවන විට 939ක්‌ දක්‌වා වර්ධනයවී තිබෙනවා.. මේ වර්ධනය ප්‍රතිශතයක්‌ ලෙස සියයට 68.88ක්‌. වසර 10ක්‌ තුළදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය පුහුණු ආයතන පමණක්‌ සියයට 68.88කින් වර්ධනය වෙලා තියෙනවා. වෘත්තීය පුහුණුව සහ කාර්මික ආයතනවල පුද්ගලික අංශයෙන් ගත්තොත් 898ක්‌ දක්‌වා වර්ධනය වෙලා තියෙනවා. ප්‍රතිශතයක්‌ ලෙස සියයට 256.35ක්‌. රාජ්‍ය වසර 2002දී නොවන ආයතන 112ක්‌ තිබුණා. ඒවා අද 240ක්‌ බවට පත්වී තිබෙනවා. ප්‍රතිශතයක්‌ ලෙස සියයට 114.29ක්‌. ඒ වගේම මේ ලියාපදිංචිවූ ආයතන සංඛ්‍යාවට ඇතුළත්වූ සිසුන් ප්‍රමාණය වසර 2002දී 67612 ක්‌. වසර 2005දී ලියාපදිංචිවූ ප්‍රමාණය 63040යි. වර්තමානයේදී 108125ක්‌ බවට එය පත්වී තිබෙනවා. ප්‍රතිශතයක්‌ ලෙස සියයට 59.92ක වර්ධනයක්‌වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනය සම්බන්ධයෙන් ඇතිවූ පිබිදීම පිළිබඳව මේක ඉතාම ප්‍රබල දර්ශකයක්‌ කියා මං හිතනවා. ඒ පිබිදීම මෙවර අයවැය තුළදී රාජ්‍ය නායකයා ලබාදුන් ප්‍රතිපාදන, සම්පත් ඔස්‌සේ අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළු කර ගන්නාවූ දරුවන් සංඛ්‍යාවට අමතරව සුදුසුකම් ලබලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරිවූ දරුවෝ, නැත්නම් අපොස සාමාන්‍ය පෙළ අසමත්වුණා කියා ලේබල් ඇලවූ දරුවෝ, සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස්‌ පෙළ නොලියපු දරුවෝ, සාමාන්‍ය පෙළ දක්‌වා ඉගෙන දරුවෝ ආදී වශයෙන් විවිධ රාමු කීපයක්‌ ගත්තොත්, දරුවන් රාශියකට අලුත් වැඩපිළිවෙළ ඇතුළේ විශාල දියුණුවකට අලුත් ඉමකට යන්න පුළුවන් වෙයි කියා අපි විශ්වාස කරනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.