ආර්ථික හා සමාජ නවීකරණයේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නම් කොළඹට නව නීති පද්ධතියක්‌ අවශ්‍යයි
කොළඹ නාගරික මන්ත්‍රී (එ.ජා.ප.) නීතිඥ නදිල් මාලගොඩ

පින්සිරි ආරියරත්න

ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත බඳු කොළඹ කේන්ද්‍ර කරගෙන සිදු කෙරෙන ආර්ථික හා සමාජ නවීකරණයේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නම් කොළඹ නගරයට ආවේණික වූ නව නීති පද්ධතියක්‌ වහා සැකසිය යුතු බව නාගරික මන්ත්‍රී (එ.ජා.ප.) නීතිඥ නදිල් මාලගොඩ මහතා පැවසීය.

මහනුවර, අනුරාධපුරය, සීගිරිය, පොළොන්නරුව, පූජා භූමි කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන නීති කොළඹ නගරයේ ක්‍රියාත්මක කර නවීකරණයක්‌ කරා ගමන් කළ නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි.

කොල්ලුපිටිය ප්‍රදේශයේ එ.ජා.ප. ක්‍රියාකාරීන් පිරිසක්‌ දැනුවත් කිරීම සඳහා පැවැති හමුවකදී මේ බව අනාවරණය කළ කොළඹ නාගරික මන්ත්‍රී නදිල් මාලගොඩ මහතා තවදුරටත් මෙසේද කීය.

එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව එදා 1977 මේ රටට හඳුන්වාදී ක්‍රියාත්මක කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මේ ආණ්‌ඩුව අද ඒ ආකාරයටම ක්‍රියාත්මක කරනවා. රටට හා ජනතාවට යහපතක්‌ හොඳක්‌ වෙනවා නම් අපිට ඒ ගැන කිසිදු ප්‍රශ්නයක්‌ නැහැ.

ලෝක ආර්ථිකය හඹා යන දිසාව එදා ඡේ. ආර්. ජයවර්ධන, රනිල් වික්‍රමසිංහ, රණසිංහ ප්‍රේමදාස වැනි නායකයෝ අවබෝධ කර ගත් නිසා මේ රටේ පෙරළිකාර සංවර්ධනයක්‌ ඇති කිරීමට ඔවුන්ට හැකි වුණා.

පසුගියදා අවසන් වූ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවත්a සමග රටේ පෙරළිකාර සංවර්ධන යුගයක්‌ ඇති කළ හැකි බවටත් ඉදිරියේදී ආධාර ගලාගෙන එනු ඇති බවටත් ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු කතා කරනවා. එහෙම වෙනවා නම් එය ඉතාම හොඳයි. පක්‍ෂ භේදයකින් තොරව අපි එය අගය කරනවා.

කොළඹ නගරය නොනිදන නගරයක්‌ බවට පත් කිරීමට ආණ්‌ඩුව උත්සාහ කරනවා. මේ නගරය දියුණු කළ හැකියි. 2001 බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුව ඒ සඳහා අවශ්‍ය සියලු සැලසුම් සකස්‌ කර තිබුණා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා නම් දකුණු ආසියාවේ හොඳම නගරය බවට කොළඹ පත්වීමට තිබුණා.

කොළඹ නගරයේ කැසිනෝ පුවරයක්‌ ඇති කිරීමට මේ ආණ්‌ඩුව කටයුතු කරනවා. එහෙම වෙනවා නම් මා පෞද්ගලිකව එයට කැමැතියි. ඒ වගේම ගණිකා වෘත්තීය නීතිගත කළ යුතුයි. මේ කටයුතු ඔස්‌සේ කොළඹ නවීකරණයක්‌ ඇති කිරීමට නම් ඒ සඳහා නව නීති පද්ධතියක්‌ අවශ්‍යයි.

කොළඹ කුමන නවීකරණයක්‌ කළත් ජනතාවගේ නිවාස අයිතිය, ඉඩම් අයිතිය හා ඔවුන්ගේ අනෙකුත් අයිතිවාසිකම්වලට අබමල් රේණුවකින්වත් හානියක්‌ සිදු නොකළ යුතුයි. ඔවුන්ගේ ඉඩකඩම්, නිවාස අහිමි වෙනවා නම් ඒ සඳහා ඔවුන්ගේ කැමැත්ත පරිදි ඒ දේ ලබාදීමට ආණ්‌ඩුව ක්‍රියා කළ යුතුයි එහෙම නොකරනවා නම්, ඒ අහිංසක අසරණ ජනතාව සමග එක්‌ව ඔවුන්ගේ අයිතීන් සුරක්‍ෂිත කර දීමට අපි කැපවෙනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.